2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

මැතිසබයේ බෙහෙත් නැති බෙහෙත් හල

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුප රුපියල්වලින් ගත් කල පොඩි මුදලකි. ඇතැම් විට පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුගේ ආරම්භක වැටුපට ද වඩා අඩුය. බැලු බැල්මට පෙනෙන්නේ එසේය. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවන මන්ත්‍රී දීමනා සමඟ එම මුදල එක් ලක්ෂ තිස් දහසකට ආසන්න අගයක් ගනී. මන්ත්‍රී වරප්‍රසාද ඇත්තේ ඊට ද බාහිරව ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති වරප්‍රසාදයක් තර්ජනයට ලක්වීමක් ගැන මේ වනවිට අසන්නට ලැබේ. එනම් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ පවතින ඖෂධ හිඟයයි. පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී පවා මේ සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න කෙරිණි.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ පටන් සුළු සේවකයා දක්වා සියලු දෙනාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ ලබාගැනීමට පිහිටුවා ඇති විශේෂ පහසුකමකි. පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ඖෂධ හිඟයක් මතුවීමට මූලිකව බලපා ඇති කාරණය වන්නේ ඊට ඖෂධ ලබාගැනීම වෙනුවෙන් ඉකුත් දෙවසරක කාලය තුළ ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවට ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 13කට අධික මුදලක් නොගෙවා තිබීම ය. මේ හේතුව නිසා තවදුරටත් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට ඖෂධ නිකුත් නොකිරීමට ඖෂධ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී කථානායක කරු ජයසූරිය මහතා දුන් පිළිතුර වූයේ විශේෂ ඖෂධ වර්ගයක් ඖෂධ නීතිගත සංස්ථාව හරහා ලබාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට විගණන විමසුමක් කැඳවා ඇති බැවින් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය වෙත සිදුකරන ගෙවීම් තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

කෙසේ වෙතුදු පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ඖෂධ අර්බුදයක් පැනනැඟීමෙන් සැබෑවටම පීඩාවට පත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොව එක්දහස් දෙසීයකට වැඩි පාර්ලිමේන්තු සේවකයින් බවද සිහිපත් කළ යුතුය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාම අප හා පැවසූ පරිදි හෘද රෝග සම්බන්ධයෙන් ඇතැම් ඖෂධ ලබාගන්නා සෞඛ්‍ය ඇමැතිවරයා කිසි දිනක පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් වෛද්‍ය ප්‍රතිකාර හෝ ඖෂධ ලබාගෙන නොමැත. තවද මෙම සිද්ධිය පිළිබඳ කරුණු විමසීමේ අටියෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනකු සම්බන්ධ කරගත් අවස්ථාවේ ඔවුන්ගේ පිළිතුර වූයේද කිසිදිනෙක මෙම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් නොමැති බවයි. 
මෙහි මතුව ඇති අර්බුදය පිළිබඳ අපි දෙපාර්ශ්වයකින් කරුණු විමසුවෙමු. 

♦ රජිත ජාගොඩ ආරච්චි 

ඖෂධ නැති කතාව බොරුවක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සරත් ලියනගේ

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාදුන් ඖෂධවලට සම්බන්ධව ගෙවීම් පැහැර හැරීමේ තත්ත්වයක් තිබෙන බව ඇත්ත. ඒ හින්දා විගණන විමසුම්වලට මුහුණ දෙන්නත් මට සිද්ධ වෙලා තියෙනවා. 
හැබැයි මේ හින්දා එතැන බෙහෙත් නැහැ කියන කතාව වැරදියි. පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙනුයි. මෙතැන මතුවෙලා තියෙන ප්‍රශ්නය තමයි 2015 මාර්තු මාසෙ සම්මත කරගත්තු ජාතික ඖෂධ නියාමන ප්‍රතිපත්තිය හරහා ඖෂධ වෙළෙඳ නාමයන්ගෙන් සැපයීම නවත්වලා තියෙනවා. හැබැයි සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට පිටින් වෛද්‍යවරුන්ගෙන් චැනල් කරලා අරගෙන එන බෙහෙත් තුණ්ඩුවල සඳහන් වෙන්නෙ බෙහෙත්වල වෙළෙඳ නාමයන්. ඉතින් ඒ වෙළෙඳනාම වලින් ඉල්ලුවම බෙහෙත් එතැන නැහැ. හැබැයි ඖෂධවල වෛද්‍ය විද්‍යාත්මක නාමයෙන් බෙහෙත් තුණ්ඩුව තිබුණා නම් බෙහෙත් දෙන්න පුළුවන්.

පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු පනතක් පාර්ලිමේන්තුව තුළින්ම ක්‍රියාත්මක විය යුතු හින්දයි අපි මේ විදිහට වෛද්‍ය විද්‍යාත්මක නාමයට බෙහෙත් නිකුත් කරන්න පටන් ගත්තෙ. මමත් ඒ ගැන ඇමැතිතුමාව දැනුම්වත් කළා. හැබැයි ඊට පිටින් වෙළෙඳ නාමවලින් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට ලබාදෙන ඖෂධ තමයි අපේ ආයතනයෙන් ලබාදුන්නෙ. ඉතින් නියමිත ගෙවීම් සිදුනොවුණු හින්දා විගණන විමසුම්වලට පවා මුහුණ දෙන්න සිදුවුණා. ඒ හින්දයි ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඖෂධ ලබාදීම නතර කළේ. හැබැයි පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ඖෂධ නැහැයි කියන කතාව වැරදියි.  

බෙහෙත් අලුතින් එන්නෙ නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා

“පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ඖෂධ නැති බව මම පෞද්ගලිකවම දැනගත් දෙයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව අයින් කරන්නකො. පාර්ලිමේන්තුව තුළ සේවය කරන 1200ක සේවක පිරිස මේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් සේවා ලබාගන්නවා. ඒ අය මේකෙන් ලොකු අසීරැවකට වැටිලයි ඉන්නෙ. මම දැනගත් ආකාරයට පැහැදිලිවම 2015 සහ 2016 වර්ෂවල පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට ඖෂධ සැපයීම වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ගෙවිය යුතු කෝටි ගණනක මුදල් නොගෙවීම නිසායි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නෙ. අනික පිටින් වෛද්‍යවරු චැනල් කරගෙන ඇවිත් මෙතැනින් බෙහෙත් ගන්න කතාව වැරදියි. එහෙම කරන්න බැහැ. මොකද වෛද්‍ය මධ්‍යස්ථානයෙන් බෙහෙත් ගන්න නම් එතැන ඉන්න වෛද්‍යවරයාගේ සීල් එක තියෙන්න ඕන. එතකොටයි ඔසුසලෙන් බෙහෙත් ගන්න පුළුවන්. දැනට ගෙනැවිත් තියෙන තොග අනුව බෙහෙත් දේවි. හැබැයි අලුතින් බෙහෙත් මෙතැනට ගේන්නෙ නැහැ. වෙන විදිහකට කිව්වොත් මේ වෙද්දි පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලැබෙන්නෙ වෛද්‍ය උපදෙස් විතරයි. ප්‍රතිකාර නැහැ.