2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

දැක්මේ දැනුෙම් සදාචාරයේ අර්බුදය

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 223

 

වත්මන් ආණ්ඩුව නොයෙකුත් නීති අණ පනත් පනවා සම්මත කර හෝ නොකර නොයෙකුත් වෘත්තිකයන්ගේ හෝ සංවිධානවල තර්ජන ගර්ජන හමුවේ නැවත ඒවා හකුලා ගනී. බැලූ බැල්මට යහපත් අණ පනත් ක්‍රියාත්මක කරවන්නට (විහාර දේවාලගම් පනත) මේ රජයට අවශ්‍ය ශක්තිය නැත. විශේෂ වශයෙන් වත්මන් පාලකයෝ ආගමික ප්‍රභූවරුන් ඉදිරියේ බයාදු වෙති. රටේ නොයෙකුත් වෘත්තිකයන්ට, සංවිධානවලට පොදුවේ මිනිසුන්ට තම තමන්ගේ ක්ෂේත්‍රවල නොවිසඳුණු ගැටලුය. බොහෝ තැන්වල වසර ගණනක් ඇදීගිය ගැටලුය. තමන්ගේ ගැටලු වෘත්තීය ප්‍රශ්න වෙනුවෙන් දැන් දැන් දිනපතා මිනිසුන් උද්ඝෝෂණ සමඟ මහමඟය. 

වර්ජන වැඩබිම්වලය. පෙළපාළි මඟදිගේය. මගී ජනයාද, රෝගීහුද, පාසල් සිසුහුද, දහසකුත් හුදී ජනයාද මහමඟ පීඩාවට පත්වෙති. රෝහලට ගොස් බෙහෙත් නැතිවිට මහමඟට බැස බස්රිය දුම්රිය නැතිවිට පාරේ යන්නට නොහැකිව මඟ අවහිර වූ බහුතරය වර්ජකයන්ගේ උද්ඝෝෂකයන්ගේ සදාචාරය ප්‍රශ්න කරති. එහෙත් බහුතරයක් ප්‍රශ්න සමාජයට උරැම කර දී තවමත් යෙහෙන් වැජඹෙන දේශපාලන මගෝඩිස්තුමන්ලාගේ සදාචාරය මොවුහු ප්‍රශ්න නොකරති.

දශක ගණනාවක් තිස්සේ උතුරේද, දකුණේද ලේ ගංඟා ගලාගිය, දහස් ගණනින් තම සහෝදර රටවැසියන් මියගිය නිසාම දහස් ගණනක් පවුල් අනාථ වූ මියගිය පීඩාවට පත් මිනිසුන් දැක ගැටුම්වලට මැදි වී තමන් ශාරිරිකව මිය නොගියද අධ්‍යාත්මිකව මියගිය සහ මරණ බයෙන් සිටි මිනිසුන් ජීවත් වූ සමාජයක අප ජීවත් වෙමු. ඇතිවූ ගැටුම්වලින් සිදුවූ විනාශය අතිවිශාල වුවත්, ඒවා සිදුවූයේ ඇයිදැයි පසු විපරමක් නොකරන ලද අනාගත ගැටුම්වලට අත වනමින් පිස්සන් සේ හැසිරෙන කණ්ඩායම්ද සමගින් අප සමාජයක් ලෙස අගාධය කරාම ඇදී යමින් සිටිමු. යුද්ධය සහ  සිවිල් අරගල නිසා බිහිවූ අශීලාචාර පාදඩ සංස්කෘතිය දේශපාලනය දහ සියලු දේ හා බැඳුණු පාතාලය සහ ඔඩුදුවා ඇති මැර සංස්කෘතිය සියලු අංශයන්ගේ පැතිර ඇති මාපියාව සහ ජීවත්වීමට අසීරු තරගයක දුවන මිනිසුන්ගේ අශීලාචාර ආත්මාර්ථය ඉහළම දේශපාලකයාගේ සිට අන්ත අසරණ දුගියා දක්වාද ආයතන ක්‍රමයේ ඉහළ සිට පහළටද දූෂණය කොට ජරාජීර්ණ කර හමාරය.

රටේ නොවිසඳුණු ප්‍රශ්න ගැටලු කප්පරක් තිබියදී මුළු සමාජ දේහයම රෝගීව මරණාසන්නව තිබියදී මැති ඇමැතිතුමන්ලා තම වැටුප් දීමනා වරප්‍රසාද වැඩකර ගනිති. ඔවුන්ට දහසකුත් එකක් දීමනාය. සිය ගණන් වරප්‍රසාදය. තීරුබදු රහිත රථවාහන බලපත්, රට බීමහල් බලපත්, ඉන්ධන පිරවුම්හල් බලපත් මෙකී නොකී වරප්‍රසාදය. මේවා ඔවුන් තම සිතැඟි ලෙස මෙහෙයවන්නට රටේ නායකයන් දෙන අල්ලස්ය. මේ සියලු වරප්‍රසාද විඳිමින් මොවුහු කතා සාප්පුව කුණුහරුප මඩුවක් සහ නාඩගම් මඩුවක් කරති. අද මැතිසබයේ විවාදයක ජෝගි කතා, අවලම් කතා මිස හරවත් යමක් නැත. උගත්යැයි සම්මත පරිණත නායකයන් පවා අද විහිළුකාරයන් වී ඇත. මහජන මුදලින් සියල්ල ලබාගනිමින් තමන්ට ඡන්දය දී බැතිසබයට එවූ ඡන්ද දායකයන්ට මොවුහු කොකා පෙන්වති. එවන් මැති ඇමති උතුමන්ගේ සදාචාරය පිළිබඳව ප්‍රශ්න කළ යුත්තේ ඡන්දය දුන් මිනිසුන්ය.

මැති ඇමතිවරුන්ට වසර 5කට වරක් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලැබෙන විට විද්වත් වෘත්තිකයන්ට වසර දහයකට (10) එකකි. 100%ක් තීරුබදු සහන මැති ඇමතින්ට ලැබෙන විට වෘත්තිකයන්ට 35% කි. වෘත්තිකයන්ගේ ඒකාබද්ධ වැටුපට (දීමනා සහිත වැටුපට) බදු පැනවෙන විට මැති ඇමතිවරුන්ට බදු නැත. එහෙත් තමන්ව තලා පෙලා මැති ඇමැතිවරු තනිව තමන්ටම බෙදාගන්නා විට වෘත්තිකයෝ තමන්ට සිදුවූ කෙනෙහිළිකම්වලට එරෙහිව සටන් වදින්නේ වෘත්තියක් ලෙස වෙනමය. එකම ආයතනයේ වෘත්තිකයෝ තම සහෝදර වෘත්තිකයාට එරෙහිව සටනට පිවිසෙති. එකම ආයතනයේ වෘත්තිකයන් විරසක වී සිටින විට සේවාදායකයන් අනාථයෝ වී අසරණ වෙති. ජනතා බදු මුදලින් යැපෙන ආයතනයේ සදාචාරය තිරිසන් සතාගේ පාමුලය. තම වෘත්තීය ගැටලු ගැන උද්ඝෝෂණ කරන, වැඩ මරන, පා ගමන් යන වෘත්තිකයෝ තම වෘත්තීය ප්‍රශ්නවලට මඟ පෑදූ සමස්ත රටේ ඇති මූලික අර්බුදය ගැන සංවේදී නැත. නැත්නම් ඔවුහු හේතුවට නොව ඵලයට පිළියම් ඉල්ලති.

රටේ සියලුම වගකිවයුතු වෘත්තිකයන් එක්ව එක්සත්ව නීතියේ ආධිපත්‍ය කෙලෙසීමට එරෙහිව කෝටි ගණන් වංචා දූෂණවලට එරෙහිව දේශපාලන හොර පත්වීම් දීමට එරෙහිව පිරිසිදු රාජ්‍ය සේවයත්, අධිකරණයත්, සුව සේවයත්, විද්‍යාත්මක අධ්‍යාපනයත් ඉල්ලා සටන් නොකරති. එකට එක්වී බලපෑමක් නොකරති. එසේ බලන විට අද ඇති කිසිම වෘත්තීය අරගලයකට සදාචාරයක් නැත. ඒවා පොදු ජනයා ඉලක්ක කරගත් අසාර්ථක සහ අශීලාචාර වෘත්තීය සටන්ය.
වාහන තදබදය, මාර්ග අනතුරු, පරිසර දූෂණය සහ ඩෙංගු උවදුර මේ සියලු ව්‍යවසනයන්ගෙන් පීඩා විඳින්නෝ පොදු ජනතාවය. වැඩි පිරිසක් සමාජයේ අන්ත අසරණ මිනිසුන්ය. ඉතිරිය පහළ මධ්‍යම පාන්තික හැම පැත්තෙන්ම තැලෙන පුරවැසි කණ්ඩායමය. ප්‍රභූවරුන්ට ඉහත කී උවදුරු කිසිවක් දැනෙන්නේ නැත. දේශපාලන ප්‍රභූවරු මහමඟ යන්නේ ආරක්ෂක පරිවාර රථ සමඟ කිසිම මාර්ග නීතියක් නැතිවය. ඒවා දකින අනුගමනය කරන අනෙකුත් රියදුරෝද ප්‍රභූවරු අනුව යති. එවිට මාර්ග අනතුරුය. අනෙකාට විපත්ය. නීතිගරුක අනෙකා අහිංසක මගියා ඊට වන්දි ගෙවති. දේශපාලන ආගමික ප්‍රභූවරු වැදිබණ දෙසමින් නීති කඩන විට සදාචාරය කෙළසන විට ඒවා දකින අනුගමනය කරන අනෙකා අශීලාචාර වනවිට සමස්ත සමාජයක් ගමන් කරන්නේ කුමන දිශාවටද, එවිට අපට සිහිවන්නේ එදා විශාලා මහනුවර දුර්භීක්ෂයේදී බුදුගුණ අලංකාරයේ වීදාගම හිමියන් කීදෑය.

රජුන් අදමිටුවත් වෙති මැතිදෝද එපවත්
දැක උන්ගේ පුවත් බමුණු ගහපතියෝද එගනිත්

සංස්කෘතික මිනිසුන්ගෙන් යුත් නවීන සහ දියුණු සමාජයක් ගොඩනැගීම අද සිවිල් සමාජ ව්‍යාපාරවල මූලික අරමුණු විය යුතුය. මිනිසුන්ගේ දැනුම රසඥතාව වැඩසටහන් මගින් සිවිල් සමාජය තුළට යා යුතුය. ඒ සඳහා යොදාගත යුත්තේ නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ය. අවිද්‍යාවට හා මිත්‍යාවට තිබෙන පිළිගැනීම දුරුකොට තාර්කානුකූල ලෙස බුද්ධිගෝචර ලෙස හේතුවාදී ලෙස සිතන පතන ක්‍රියාකරන සමාජයක් බිහිකර ගැනීමට ක්‍රියා කළ යුතු වන්නේ අප ජීවත් වන සමාජයේ සිටින විචාරශීලි සබුද්ධික අතලොස්සක් වූ පිරිස ක්‍රියාශීලිවීමෙනි. වෙනත් කිසිම විකල්පයක් ඉතිරි වී නැත.

අටකලන්පන්නේ කුලරත්න

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00