මම අධ්‍යාපනයට වගේම නෙට්බෝල් ක්‍රීඩාවටත් කඳු නැගීමටත් කැමැතියි. ඒ වගේම දියඇලි තරණයටත් ආසයි. මට නම් බාහිර වැඩවලට ගියා කියලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට බාධාවක්වෙලා නැහැ. අපි සතියේ දවස්වල අධ්‍යාපන වැඩ කරනවා. සති අන්තයේ දවස් තමයි විශ්වවිද්‍යාලයේ ගවේෂණ සංගමයේ චාරිකාවලට යොදාගන්නේ. අපට එලෙස පැවසුවේ පසුගිය දා හිමාලය කඳුවැටියේ මවුන්ට් පීක් තරණය කරමින් හිමාලය තරණය කළ ළාබාලම ශ්‍රී ලාංකික සරසවි ශිෂ්‍යාව වෙමින් වාර්තාවක් තැබූ ඔමේෂා ජයමිණි සිල්වායි. 23 හැවිරිදි ඔමේෂා පේරාදෙණිය සරසවියේ ගවේෂක සංගමයේ උද්යෝගිමත් සාමාජිකාවකි.
ඒ අතරම ඇය එහි විද්‍යා පීඨයේ තෙවැනි වසර ශිෂ්‍යාවකි. මොරටුව වේල්ස් කුමරි විදුහලෙන් සරසවි වරම් ලබා පේරාදෙණියට එන ඇය එහි සොඳුරු පරිසරයෙන් මුසපත් වන්නීය. නගරයේ හැදුණු මට පේරාදෙණිය පරිසරය හරිම ආස්වාදයක් වුණා. මම ගවේෂණ සංගමයට සම්බන්ධ වූණේ මේ පරිසර අත්දැකීම් තවත් වැඩි කරගෙන වින්දනයක් ලබන්නයි. අපි සෑම සති අන්තෙකම කඳු නගිනවා. දියඇලි සොයාගෙන යනවා. ඇය අපට පැවසුවාය.
ඇවිදීමය ජීවිතය (Walking is Living) යන තේමාව කරපින්නාගත් පේරාදෙණිය සරසවියේ ගවේෂණ සංගමය ආරම්භ වූයේ 1971 දීය. මේ වනවිට එය වසර 45ක් සම්පූර්ණ කර තිබේ. හන්තානෙන් පටන් ගන්නා ඔවුන්ගේ කඳු චාරිකා නමුණුකුල, කිරිගල්පොත්ත, බතලේගල, පිදුරැතලාගල වැනි කඳුවැටි හරහා හිමාලය දක්වා ඈත නිම්වළල්ල තෙක් ඇදී යයි.
ගවේෂණ සංගමයේ සභාපති ශෙහාන් නානායක්කාර හිමාලය ගවේෂණය ගැන අපට පැවසුවේ මෙලෙසයි.
මේ වනවිට අප සංගමයේ සාමාජිකයන් 12 වරක් හිමාලය කන්දේ විවිධ කඳු මුදුන් තරණය කර තිබෙනවා. මෙවර ගවේෂණයට අපේ සාමාජිකයන් හතර දෙනෙක් එකතු වුණා. ප්රණාම මතඟවීර (1 වසර ඉංජිනේරු ශිෂ්‍ය), සකුන් කල්හාර (අවසන් වසර ඉංජිනේරු ශිෂ්‍ය), නිමේෂ ඩිලාන් (ඉංජිනේරු පීඨය), ඔමේෂා සිල්වා (විද්‍යා පීඨ තෙවැනි වසර) ඒ පිරිසයි. මොවුන් සියලු දෙනාම පළමුවරටයි හිමාලය කඳුවැටියේ පරිසරයට මුහුණ දුන්නේ. මේ නිසා ඔවුන් අවුරුද්දක පමණ කඳු තරණයට උචිත ශාරීරික යෝග්‍යතාවය ගැන පුහුණුව ලැබුවා.
හිමාලය තරණය අද ලෝකය පුරා ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව ඇත. අප රටේද ආනන්ද, නාලන්දා, ධර්මරාජ වැනි විද්‍යාලවලින් මෙන්ම පෞද්ගලිකවත් හිමාලය තරණයට කණ්ඩායම් පිටත්වේ. පසුගිය මැයි මාසයේදී ජයන්ති කුරුඋතුම්පාල එවරස්ට් කඳු මුදුන (මීටර් 8850) තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වූවාය. එම වසරේදීම පේරාදෙණියේ ශිෂ්‍ය කණ්ඩායමටද සාර්ථක හිමාලය ගවේෂණයක් කිරීමට ඉඩ ලැබීම විශේෂත්වයකි.
ජයන්ති මේ ශිෂ්‍ය කණ්ඩායම සමඟ තම අත්දැකීම් බෙදාගත් බවද අපට දැනගැනීමට ලැබුණි.
අපේ කණ්ඩායම හිමාලය ගවේෂණයට පිටත් වුණේ පසුගිය ඔක්තෝබර් 25දායි. ඔවුන් ලංකාවට පැමිණියේ දෙසැම්බර් 13දා. එක් අයකුට ලක්ෂ දෙකක් පමණ වියදම් වුණා. සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගෙන්, අනුග්‍රාහක ආධාරවලින්, ටිකට්පත් අලෙවියෙන් මුදල් සොයාගත්තා. ගමනට යන අය පෞද්ගලික මුදල්ද යෙදවූවා. සභාපති ෂෙහාන් පැවසුවේය.
මේ කණ්ඩායම තරණය කළ නැගෙනහිර නේපාලයේ හිමාලය කඳුවැටියට අයත් කඳුමුදුනක් වන අයිලන්ඩ් පීක් උසින් මීටර් 6189 (අඩි 20305) කි. එයට අයිලන්ඩ් පීක් යන නම ලැබුණේ 1951දීය. වාරිස් ෂිප්ටන් නම් පුද්ගලයාගේ කණ්ඩායම හිම සාගරයක් මතු වූ දිවයිනක් ලෙස එම කන්ද දුටු නිසා අයිලන්ඩ් පීක් නම ලබාදී තිබේ. ඊටපසු 1983 දී Imja Tse යන දේශීය නම නේපාල රජය ලබාදුන්නද තවමත් ජනප්‍රිය පැරැණි නාමයමය.
මුලින්ම මේ කන්ද තරණය කළේ 1953 දී ස්විට්සර්ලන්ත ගවේෂණ කණ්ඩායමකි. ඊට පසු අයිලන්ඩ් පීක් කඳු තරණය කරන්නත් අතර ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්විය. අද ඒ සඳහාම චාරිකා සංවිධානය කරන ආයතන පවා නේපාලයේ තිබේ.
මෙම කඳු මුදුන දක්වා පිවිසීම ආරම්භ කරන්නේ අයිලන්ඩ් පීක් පාමුල් කඳවුරිනි. එය පිහිටා ඇත්තේ මීටර් 5087ක් උසකිනි. තම අත්දැකීම අපට විස්තර කළ ඉමේෂා මෙසේද කීවාය.
අපි හිමවල ඇවිදපු පළමුවැනි වතාව නිසා ඒක අභියෝගයක් වුණා. සීතලට සුදුසු ඇඳුම් අපි අරගෙන ගිහින් තිබුණේ. නේපාලයේදී ශ්‍රී ලංකා තානාපතිවරියත් අපට අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. කඳු මුදුනට යාම ආරම්භ කරන්නේ චුක්කුං කියන ගම අසලින්. එතැන හිමවලට ගැළපෙන සපත්තු කුලියට ගත්තා. කඳු තරණයට අවශ්‍ය උපකරණ භාවිත කරන අන්දම ගැන පුහුණුවකුත් එහිදීත් ලැබුණා. අපි මඟ පෙන්වන්නන් සමඟ ඉදිරියට ගියා. ටිකෙන් ටික ඉහළට යනවිට සීතල වැඩි වුණා. අත් පා ගල් ගැහුණා. නමුත් අපේ එකම අධිෂ්ඨානය වුණේ කඳු මුදුනට යාමටයි. අපේ කණ්ඩායම හිම අතරින් ගමන් කරමින් කඳු මුදුනට යාමට වාසනාවන්ත වුණා. මුලින්ම කඳු මුදුනට ගියේ ප්රණාම මතඟවීරයි. ඊට විනාඩි කිහිපයකට පසු අපි මුදුනට පය තැබුවා.
ලබන වසරේදීද සාර්ථක හිමාලය ගවේෂණයක් කිරීමට තමන් අදහස් කරන බව ගවේෂණ සංගමයේ සභාපතිවරයා කීවේය.
අපි කඳු තරණයෙන් පමණක් සෑහීමකට පත් නොවෙමු. නවමු අදහස් සොයාබලා ඒවා අත්හදා බලන්නෙමු. විටෙක බයිසිකල් සවාරි යන්නෙමු. බාල පරම්පරාවට අත්දැකීම් ලබාදීමට ගවේෂණ තරග සංවිධානය කරන්නෙමු. ඔවුන්ගේ පාසල් ගොඩනගන්නෙමු. ඒ ගවේෂණ සංගමයේ ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනකි. සරසවියේ තරගකාරී අධ්‍යාපනයක යෙදෙන අතරේ සොබාදහමට සංවේදී වෙමින් ඔවුන් කරනා මෙහෙවර අනෙක් සරසවිවලටද පාසල්වලට ආදර්ශයකි.
♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ - සකුන් කල්හාර උපේක්ෂණ, පේරාදෙණිය ගවේෂණ සංගමය.