2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

වෙලාවට නොකෑවොත් ගෑස් - ලුණු කැඳ නියම බෙහෙතක්

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 3754

 

පපුවෙ දැවිල්ල හරියට බඩේ ගින්දර පත්තුවෙනවා වගේ. තේ කහට හරි කෝපි එකක් හරි බිව්වොත් පපුවෙ දැවිල්ල තවත් වැඩිවෙනවා. උගුරත් දැවිල්ලයි. ඇඹුල් රසක් එක්ක උගුරට ඔක්කාරය එනවා. වෙලාවකට වමනෙ යනවා. සමහර වෙලාවට ගොඩක් බඩගිනි ඇවිල්ලා කෑම කෑවත් ඒ කෑව ගමන් ආයෙත් බඩගිනි එනවා. බඩගිනි එන්නෙම නැති වෙලාවලුත් තියෙනවා. බඩ පිරිලා හරියට මළපහ වෙන්නෙත් නෑ. හිස කැරකිල්ලයි. හුස්ම ගන්න ආමරුයි. ඉවසන්න බැරි තරම් බඩත් රිදෙනවා. මේක නම් මහ කරුම ලෙඩක්. අනේ දොස්තර මහත්තයෝ මට නම් දැන් ජීවිතෙත් එපාවෙලයි තියෙන්නේ.

දේශීය වේවා බටහිර වේවා මේ ඕනෑම වෛද්‍යවරයකු වෙත පැමිණෙන රෝගීන්ගෙන් බහුතරයක් මෙලෙස මැසිවිලි නඟන්නේ තමන් නිතර දෙවේලේ පීඩා විඳින වඩාත් අසහනකාරී රෝගයක් සම්බන්ධයෙනි. ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇසූ පමණින්ම තවදුරටත් එය නුහුරු නුපුරුදු එකක් නොවන්නේ එය ඒ තරමටම සමාජයේ සුලභ රෝගී තත්ත්වයක් වන නිසාය.

අම්ල පිත්ත රෝගය නොහොත් බොහෝ දෙනකු දන්නා පරිදි ගැස්ට්‍රික් යනු අපගේ වැරදි ජීවන රටාව හේතු කරගෙන අප විසින්ම උරුමකර ගන්නා වූ රෝගයකි. ප්‍රධාන වශයෙන්ම ආමාශය ආශ්‍රය කරගනිමින් ඇතිවන්නාවූ මෙම රෝගී තත්ත්වයේදී යම් යම් හේතු මත ආමාශයෙහි ඉදිමීමක්ද සිදුවිය හැකි අතර මේ සඳහා අවස්ථානුකූලව ප්‍රතිකාර නොකළහොත් ජීවිතයට අන්තරාකාරී වූ අතුරු ආබාධයන් රැසකට මුහුණපාන්නට සිදුවනු ඇති අතර අවසානයේ දී එය මහා ඛේදවාචකයක් දක්වාම ගමන් කළ හැක.

මට මුලින්ම තිබුණේ පපුවේ දැවිල්ලක්. වෙලාවකට හොඳටම බඩ රිදෙනවා. තවත් වෙලාවකට කලන්තෙ වගේ. බෙහෙත් ගන්න ගියාම දොස්තර මහත්තයා කිව්වේ ගැස්ට්‍රික් කියලා. බෙහෙත් දුන්නා. වෙලාවට කන බොන හැටිත් කියලා දුන්නා. ඒත් ඉතින් මම ඒ ලෙඩේ එච්චර ගණන් ගත්තෙ නෑ. මම හිතුවේ ඒක හරි සාමාන්‍ය ලෙඩක් කියලා. අනික අපේ රස්සාවේ හැටියට වෙලාවට කන්න වෙන්නෙම නෑ. ඔය විදිහට කාලයක් යද්දි තමයි දැනගත්තේ මගේ බඩ ඇතුළේ පිළිකාවක් කියලා. ඒක දැනගත්ත දවසෙ මට මගේ ජීවිතේම එපාවුණා. දොස්තර මහත්තුරු කියන හැටියට ගැස්ට්‍රික් වැඩිවෙලා බඩවැල තුවාල වුණ එකලු පිළිකාවක් වෙලා තියෙන්නේ. දැන් ඉතින් මොනවා කරන්නද? මැරෙනකම් ජීවත් වෙනවා ඇරෙන්න.

අම්ල පිත්ත රෝගය උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස පිළිකා රෝගයට ගොදුරු පුද්ගලයකුගේ අත්දැකීම් එලෙස දිගහැරෙද්දී මොකක්ද මේ අම්ල පිත්ත රෝගය, එය සෑදෙන්නේ කුමන හේතු කාරණා මතද යන්න පැහැදිලි කිරීමට අප හා එක්වූයේ බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන් මහතා හා එම රෝහලේ පංචකර්ම අංශයේ විශේෂඥ වෛද්‍ය තිලකා මාලනී රෑපසිංහ මහත්මියයි.

සාමාන්‍යයෙන් අපගේ ශරීරයේ රෝගයක් හටගන්නේ වාත, පිත, කප කියන දෝෂයන්හි සමබරතාවය නැතිවීමෙන්. 
ඒ අතරිනුත් පිත් දෝෂය හා කඵ (සෙම) දෝෂයෙහි දූෂණයක් වූ විට තමයි අම්ල පිත්ත රෝගය කියන එක ඇතිවෙන්නේ. ආහාර ජීර්ණයේදී සුවිශේෂීම කාර්යභාරය ඉටුකරන්නේ පිත මගින්. ඉතින් මේ පිතේ කාර්යභාරය හරි හැටි සිද්ධ නොවුණාම ඒ මගින් රෝගයට මූලික අඩිතාලම වැටෙනවා.  ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙය හඳුන්වන්නේ විදග්ධ පිත ලෙසයි. ඉතින් මේ විදග්ධ පිත, කප දෝෂ, වාත යන මේ ත්‍රිත්වයම එක්වීමෙනුත් මෙම රෝගය සඳහා පසුබිම සකසනවා.

ඌර්ධවගත අම්ල පිත්තය හා අ‍ධෝගත අම්ල පිත්තය අම්ල පිත්ත රෝගය ඌර්ධව ගත අම්ල පිත්තය හා අධෝගත අම්ල පිත්තය ලෙසින් ආයුර්වේදයේ දෙයාකාරයකින් හඳුන්වයි. තවද දෝෂ ලක්ෂණවලට අනුව වාතජ අම්ල පිත්තය, පිත්තජ අම්ල පිත්තය හා කළුජ අම්ල පිත්තය යන ප්‍රභේද තුනකටද වෙන්කොට දැක්විය හැක. මේ මගින් ඒ ඒ රෝගියාගේ ලක්ෂණ පෙන්නුම් කෙරෙන අතර රෝගියාට ප්‍රතිකාර කිරීමේදී ඒ ඒ දෝෂ අනුව ප්‍රතිකාර කටයුතු සිදුකෙරේ.

අම්ල පිත්තය හැදෙන්නේ මෙහෙමයි අම්ල පිත්ත රෝගය හට ගැනීම සඳහා බලපාන හේතු වශයෙන් ආහාර පාන හේතු, ඖෂධමය හේතු, විහරණමය හේතු හා මානසික හේතු ආදිය ගෙනහැර දැක්විය හැකිවේ.

ආහාර පාන හේතු

ශ්‍රී ලාංකිකයකු ප්‍රධාන වශයෙන්ම ආහාර වේල් තුනක් ලබාගනී. ඒ උදෑසන, දහවල් හා රාත්‍රී ලෙසය. මෙම කාලයන් තුළදී නියමිත වේලාවට ආහාර නොගැනීම මෙම රෝගය සඳහා බලපාන ප්‍රධානතම හේතුවයි. කලට වේලාවට ආහාර නොගැනීමෙන් සිදුවන්නේ ආමාශය තුළ අම්ල ස්‍රාවය ඉහළ යාමයි.

ආහාර පාන හේතු සැලකීමේදී විරුද්ධ ආහාර ගැනීම රෝගය ඇතිවීම කෙරෙහි ඍජුවම බලපායි. විරුද්ධ ආහාර යනුවෙන් හඳුන්වන්නේ එකිනෙකට පටහැනි ගුණ ඇති ආහාරයන්ය. මස්, මාළු වැනි දෑ ආහාරයට ගැනීමෙන් අනතුරුව මී කිරි වැනි ආහාරයක් ලබාගන්නේ නම් එය විරුද්ධ ආහාරයකි. මෙවැනි ආහාර ලබාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ආහාර මාර්ග පද්ධතියේ ආහාර දිරවීමේ අපහසුතාවයක් ඇතිවේ. මෙම ආහාර ජීර්ණය අපහසුවත් සමඟ ආමය ඇතිවන අතර එම ආමය නිසා ශරීරයෙහි විවිධ රෝගී අවස්ථාවන් ඇතිවේ. සන්ධි රෝග, හෘද රෝග, කුෂ්ඨ රෝග කෙරෙහිද එහි බලපෑමක් ඇති කරයි. මේවාට අමතරව ආමය නිසා හටගන්නා මූලිකම රෝග අවස්ථාව නම් අම්ල පිත්ත රෝගයයි.
විදාහි ආහාරයද අම්ල පිත්ත රෝගය හටගැනීම කෙරෙහි බලපායි. විදාහි ආහාර වශයෙන් හඳුන්වන්නේ පිත් කෝප කර පිත් අවුස්සනු ලබන ආහාරයි. තෙල් මිශ්‍ර ආහාර, අධිකව මිරිස් දැමූ ආහාර, සෝස් වර්ග, අච්චාරු, බිලිං ආදියට අමතරව උෂ්ණාධික ආහාර ලෙස සමාජයේ සම්මත වී ඇති බලමාළු, තක්කාලි, ඉස්සන්, දැල්ලන්, දෙල්, කකුළුන් වැනි දේ විදාහි ආහාර යටතට ඇතුළත්ය.

ආයුර්වේදයේ දුෂ්ඨ ආහාර ලෙස හඳුන්වන ආහාර එනම්, නරක් වූ ආහාරද අම්ල පිත්ත රෝගය කෙරෙහි බලපාන අතර තේ, කෝපි, මත්පැන් පානය, සිසිල් බීම වර්ග නිතර නිතර පානය කිරීම, ටින් කළ ආහාර, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර, සුදු පැහැති පිටිවලින් සෑදූ පාන්, බනිස් ආදිය නිතර ආහාරයට ගැනීම, අඩුවෙන් ජලය පානය කිරීම, එක් වේලක් සඳහා අධික ලෙස ආහාර ගැනීම, කුසගින්න පවතින අවස්ථාවේදී ආහාර නොගෙන සිටීම, මෑ, උඳු වැනි බර ආහාර නිතර නිතර ගැනීම යන මේ සියල්ලන්ම අම්ල පිත්ත රෝගය සඳහා හේතු වේ.

ඖෂධමය හේතු

දීර්ඝ කාලීනව යම් යම් රෝග සඳහා වේදනා නාශක ඖෂධ හා ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබාගැනීම, වෛද්‍යවරයකුගේ උපදේශයක් නොමැතිව ඖෂධ භාවිත කිරීම වැනි හේතූන්ද අම්ල පිත්ත රෝගයට බලපායි. මෙවැනි ඖෂධ දීර්ඝ කාලීනව භාවිත කිරීම හරහා අමාශය, ග්‍රහණිය වැනි ඉන්ද්‍රියවල තුවාල ඇතිවිය හැකි අතර කල්ගතවීමේදී එම තුවාල පිළිකා බවටද පත්විය හැක. මේ අවස්ථාව වනවිටදී රෝගය අසාධ්‍ය තත්ත්වයට පත්වී අවසානය.

විහරණමය හේතු

වර්තමාන සමාජ රටාවේ පවතින දැඩි තරගකාරී භාවයද මෙවැනි රෝග කෙරෙහි සෘජුවම බලපායි. ව්‍යායාම නොකිරීම, ඒකාකාරී වූ දිවි පැවැත්මකට හුරුවීම, රැකියාවේ පවතින අවිවේකී භාවය, අධිකව නිදි මැරීම, කාර්ය බහුල වීමත් සමඟ මළ, මුත්‍ර, කුසගින්න හා පිපාසය දරාගෙන සිටීම වැනි හේතූන් නිසාද අමාශගත ස්‍රාවය ඉහළ යාමෙන් මේ රෝගය ඇතිවේ.

මානසික හේතු

ශෝකය, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී පුද්ගලයන්ගේ සිතෙහි පවත්නා මානසික හේතූන් නිසා කුසගින්න වැනි සාමාන්‍ය අවශ්‍යතාවයන් නැති වන අතර ඒ නිසාද රෝගී වියහැක. එසේම බිය, සැක ආදී හේතූන් මෙන්ම රාජකාරී අධික වීම හේතුවෙන් ඇති වන්නාවූ මානසික අසහනයන්ද මෙවැනි රෝග සඳහා ප්‍රධාන සාධකයි.

අම්ල, පිත්ත රෝගයේදී මතුවන ලක්ෂණ

අම්ල පිත්ත රෝගයේදී අප ගන්නා ආහාර නොදිරවීම හේතුවෙන් සිරුරට දැඩි විඩාවක් දැනේ. මෙහිදී වමනය යාමක් සිදුනොවූවත් නිතර ඔක්කාරයට ඒමේ ගතියක් ඇතිවේ. නිතර නිතර උගුරට එන අතර එය ඇඹුල් ස්වභාවයකින් යුක්තවේ. ඇඟපත තලාපෙළා දැමූ ලෙසින් බර ගතියක් ඇතිවේ. පපුවේ දැවිල්ල, බඩේ දැවිල්ල මෙන්ම ආහාර අරුචියක්ද ඇතිවේ. 

එසේම අම්ල පිත්ත රෝගය වැළඳුණු රෝගියකු හට නිතරම අතුල් පතුල් දැවිල්ල ඇතිවේ. ඊට අමතරව උණ, අඟපත කැසීම, සිරුරෙහි තැන්තැන්වල බිබිලි දැමීම සිදුවේ, පිපාසය, ක්ලාන්ත ගතියද මෙවැනි රෝගීන් අතර සුලබය. මළපහ කරන අවස්ථාවන්වලදීද ඇසිඩ් ලෙස දැවිලක් ඇතිවන ආකාරයෙන් එය සිදුවිය හැක. බඩ බුරුල්වීම, ඇඟ සුදුමැලි වීම ආදියද මෙහිදී දක්නට ලැබේ.

විශේෂඥ වෛද්‍ය තිලකා මාලනී රූපසිංහ මහත්මිය පවසන ආකාරයට රෝහල්වලට පැමිණෙන රෝගින්ගෙන් සියයට 75ක්ම සිටියේ අම්ල පිත්ත රෝගීන්ය. මෙම අම්ල පිත්ත රෝගයත් සමඟ වැඩි සම්බන්ධතාවයක් ඇති රෝගී අවස්ථාව වන්නේ සන්ධි රෝගයයි. ආයුර්වේද රෝහල් කරා පැමිණෙන රෝගීන් හට ප්‍රතිකාර කිරීමේදී දැනගන්නට ඇති විශේෂ කාරණාව නම් සන්ධි රෝග සමඟ මෙම අම්ල පිත්ත රෝගය බැඳී පවැතීමයි.

අම්ල පිත්ත රෝග වළක්වා ගන්නට නම්

අප බොහෝවිට ආහාර පාන ලබාගන්නේ වැරදි ආකාරයටය. මේ වැරැදි ආහාර රටාවන්ගෙන් මිදී ක්‍රමවත් ආහාර රටාවකට හුරුවිය හැකිනම් මෙවැනි රෝගයන්ට ගොදුරුවීම බොහෝවිට මඟහැරෙනු ඇත. විශේෂයෙන්ම ආහාර කල්තබාගෙන භාවිත කරවාට වඩා එවෙලෙහිම පිළියෙළ කරගත් ආහාර භාවිත කළ හැකිනම් එය ක්‍රමවත් ආහාර රටාවකි. අම්ල පිත්ත රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුනම් අනිවාර්යයෙන්ම මේ පුරුද්ද ඇතිකරගත යුතුය. එසේම විදාහි ගුණ ඇති ආහාර, කිරි ආහාර ගැනීමෙන්ද අම්ල පිත්ත රෝගියකු වැළකී සිටිය යුතුය. ඔවුන්ට ලුණු කැඳ වැනිදේ වඩාත් සුදුසුවේ.

ලද දෙයින් සැනසීමට පත් නොවන බොහෝමයක් පිරිස් තණ්හාධික භාවය නිසා විශාල ලෙස මානසික පීඩනයට පත්වී ඇති ආකාරයන්ද වර්තමානයේදී දැකගත හැකිය. මෙම මානසික ආතතිය නිසාද පිත දූෂණය වීමත් සිදුවන අතර මානසික ආතතිය හැකිතාක් අවම කරගනිමින් විශේෂයෙන්ම භාවනාව වැනිදේ නිරතුරුවම ජීවිතයට සම්බන්ධ කරගනිමින් ජීවත් විය හැකිනම් මෙවැනි රෝගවලින් බොහෝදුරට වැළකී සිටිය හැක.

♦ හේමමාලා කුමාරී රාජකරුණා