විදෙස් රටක බැංකුවකට ඇතුළු වූ කොල්ලකරුවෙක් එහි සේවක පිරිසට ඇසෙන සේ, මෙසේ කෑගැසුවේය.
කලබල කරන්න එපා. මේ බැංකුවෙ තියෙන සල්ලි අයිති ආණ්ඩුවට. ඒත්, ඔබේ ජීවිත අයිති ඔබටයි.
ඒ ඇසූ සියල්ලෝ නිහඬව බලා සිටින්නට වූහ.
මෙය, ආර්ථික විද්‍යාවට හෝ මනෝ විද්‍යාවට අනුව නම් කිසිවකු සිතන ආකාරයට වෙනස් කිරීමේ ක්‍රමයක් හෝ උපාය මාර්ගයකි. එහි සිටි රූමත් තරුණියක්, දෙපා දෙපසට විහිදුවා මේසය යට වැතිර සිටියාය. ඒ දුටු කොල්ලකරු යළිත් කෑ ගැසීය.
නෝනා, ශීලාචාර විදිහට හැසිරෙනවා නම් තමයි හොඳ. මං ආවේ බැංකු කොල්ලයකට මිසක්, ස්ත්‍රී දූෂණයකට නෙවෙයි.
ව්‍යාපාර කළමනාකරණයේදී නම්, මෙය (වෘත්තීයවේදිත්වය) (Being Professional) ලෙසින් දැක්වෙනු ඇත. තම අරමුණ සාර්ථක කරගත්, බැංකු කොල්ලකරු නිරුපද්‍රිතව නිවසට ගියේය. ඔහුට වඩා වයසින් අඩු, නුපුහුණු කොල්ලකරුවෙක් එහි පැමිණ සිටියේය.
යාළුවා, බැංකුවෙ කොච්චර විතර සල්ලි තිබුණද? නවකයා වෘත්තීය කොල්ලකරුගෙන් ඇසීය.
ඒක ගැන අපි කරදර වෙන්නෙ මොකටද? මම සල්ලි ගණන් කරන්ඩ මහන්සි වුණේ නෑ. ඒක අද රෑ ටී.වී. නිව්ස්වලින් බලාගන්න බැරියැ.
ඕනෑම වෘත්තියකදී, පළපුරුද්ද හා අත්දැකීම වැදගත් වන්නේදැයි මෙයින් වටහාගත හැකිය. මෙම කොල්ලකරුවා ප්‍රායෝගික පුද්ගලයෙකි.
කොල්ලකෑමෙන් පසු, බැංකු කළමනාකරුවා තම නියෝජ්‍ය කළමනාකරු අමතා, වහාම පොලිසිය කැඳවන මෙන් පැවසීය. එහෙත් ඊට එකඟ නොවූ නියෝජ්‍ය කළමනාකරු වටපිට බලා මෙසේ කීය.
දැන්ම එපා. ඊට කලින් රහස් සේප්පුවෙ ඉතිරි වුණු සල්ලි ටික අපි දෙන්න බෙදාගමු. ඒ සල්ලියි, ඊට ඉස්සෙල්ල අපි යටිමඩි ගහපු සල්ලියි සේරම කොල්ලකාරයාගේ ගිණුමටනෙ වැටෙන්නෙ.
කළමනාකරු තම සහායකයාගේ උපදෙස් අනුමත කළේ, (කල දුටු කළ වළ ඉස ගතයුතු) යැයි සිතමිනි.
පසුදින, රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රචාරයේදී මෙසේ කියැවුණි.
.... නගරයේ පෞද්ගලික බැංකුවකට කඩාවැදුණු කොල්ලකරුවෙක් එහි තිබූ මිලියන පනහක මුදලක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
ඒ ඇසූ කොල්ලකරු වහාම තම මිතුරාද සමඟ එක්ව මුදල් ගණින්නට විය. එය නිමකළ ඔහුගේ මුහුණ බෙරි විය.
යකෝ මුන් මාර බඩුනෙ. මෙතන තියෙන්නෙ මිලියන විසිපහයි. අනික් විසිපහ උන්ගෙ සාක්කුවට දාගෙන වගෙයි.
හැම මාසෙම බැංකුව කොල්ලකනවා නම් හොඳයි කියල උන් හිතනව ඇති. නවකයා සිනාසුණේය.
නෑ යාළුවා... අපි නිකම්ම නිකං හොරු. උන් උගත් හොරු. ඒකයි උන් අපිට වඩා දක්ෂ. අපේ හොරකම් අහුවුණත්, උන්ගේ හොරකම් අල්ලන්න බෑ. කොල්ලකරුවා කනස්සලු ස්වරයෙන් කීය.
බැංකු කොල්ලකෑම, ඉක්මණින් පොහොසත් විය හැකි, ලොටෝ ක්‍රීඩාවක් බවට පත්වෙමින් ඇත. පසුගිය දිනෙක බැංකුවකට කඩාවැදුණු කොල්ලකරු එහි සිටි ආරක්ෂක නිලධාරියකුටද වෙඩි තබා මරා දමා මුදල්ද රැගෙන පළාගිය බව වාර්තා වුණි. කොල්ලකරු ෆුල්ෆේස් හෙල්මටයක් පැළඳ සිටි හෙයින් ඔහු කවරෙක්දැයි හඳුනාගැනීමද අපහසුය. පුවත්පත්වල මුල් පිටු හා රූපවාහිනී සේවාවන්හි ප්‍රවෘත්ති දකින, අසන කොල්ලකරු තමාගේ (වීර ක්‍රියාව) ගැන මහත් ආඩම්බරයට පත්වනු නොඅනුමානය. අපරාධකරුවන් (ජනප්‍රිය) පුද්ගලයන් කිරීමේ වගකීමද අද ඇතැම් මාධ්‍ය මගින් සිදුකෙරෙන බව නොරහසකි.
වාසිබෝලන්තයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ සේවය කරන, ඔස්ටෝ මෙට්රිස්ට් (ඔහු මගේ මිතුරෙකි) ඊයේ පෙරේදා දුරකථන ඇමතුමක් දෙමින් මෙසේ කීය.
බොහොම වෙලාවට, අපි දෙගොල්ලන්ගෙ රටවල්වල එකම ජාතියෙ දේවල්නෙ සිද්ද වෙන්නෙ. ඔයගොල්ලන්ගේ විදේශ ඇමති අස්වුණා වගේ අපෙත් මුදල් ඇමැති අස්වුණානෙ.
ඇයි එයත් බැඳුම්කරේකට සම්බන්ධයිද?
අනේ නෑ. එයා අස්වුණේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්ඩ.
ඇයි තිබුණු එක හොඳ නැද්ද?
ඒක තිබුණනං, එයාව විශ්වාස භංගෙකට අහුවෙනවා.
එතකොට, එයා කිසිම වංචාවකට, දූෂණයකට සම්බන්ධයක් නැතිවමයි, ඉල්ලා අස්වෙන්නෙ?
හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුණා. එතුමගේ නෝනට තිබුණේ ලොකු සල්ලිකාරයෙක් සුඛෝපභෝගී මහල් නිවාසයක් තෑගි කෙරුවය කියලා.
ඒක ඇමතිතුමා පිළිගත්තද?
නෑ. එතුමා ඒක දන්නෙ නෑ.
ඒ මොකද?
එතුමා ගෙදරදි දේශපාලනය ගැන කතා කරන්නෙ නැතිලු.
අර තෑග්ග දේශපාලනික එකක්ද?
මොනවද යාළුවා මේ අහන්නෙ? දේශපාලනඥයන් හුස්ම ගන්න වාතය පවා දේශපාලනිකයි.
ඉතින්, ඒ ඇමැතිතුමාගේ දේශපාලන අනාගතේ කොහොම වෙයිද?
කිසි ප්‍රශ්නයක් නෑ. එතුමා හදාපු අලුත් දේශපාලන සංස්කෘතිය, එතුමාව ආයෙත් පත් කර ගන්නවා.
කිව්වත් වාගේ, එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි. කියමින් මම රිසීවරය ආපසු තැබුවෙමි.
♦ කපිල කුමාර කාලිංග