2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

ධනය බලය ගලා එයි කෝටියක් දෝෂ භංගවෙයි - ත්‍රීපුෂ්කර විචිත්‍ර මුහුර්තයක්

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 994

 

නෙළුම්මල පුෂ්කර නාමයෙන්ද පෙති රැසකින් යුක්ත වූ බැවින් පොකුරු යන නාමයෙන්ද හැඳින්වෙයි. සිද්ධි පෙළක් නැති පොකුරක් වශයෙන් සිදුවන යෝගය පුෂ්කර යෝගය ලෙස සඳහන් කළ හැක. සීඝ්‍රගාමි ධනය බලය දියුණුව හෝ විනාශය ගෙනදෙන යෝගය ත්‍රී පුෂ්කර යෝගය ලෙසටද එවන් කරුණු කාරණා කොටස් දෙකකින් අනූනවෙනුයේ ද්වි පුෂ්කර යෝගය යනුවෙන් හැඳින්වේ. චන්ද්‍රයාගේ ගමන් මඟ අනුව තිථි, පුර තිථී, පසළොස නන්ද්‍ර-භද්‍රා-ජයා-රික්තා-පූර්ණ යනුවෙන් කොටස් පහකට දක්වා ඇත. දෙක-හත-දොළහ යන තිථි උදාවීම භද්‍රා තිථිය නමින් සලකණු ඇත. පුෂ්කර යෝගය උදාවීමට භද්‍රා තිථියක්ද උදාවිය යුතුය. මෙම යෝගය උදාවීමෙහිලා භද්‍රා තිථියක්ද ශනි-රවි-කුජ යන දිනයක්ද, විසා උත්‍රපල්- පුවපුටුප-පුනාවස-කැති-උතුරුසල නැකතකුත් උදාවූ විට ත්‍රීපුෂ්කර නම් වූ යෝගය උදාවෙන්නේය. දෙනට-සිත-මුවසිරස යන නැකත් වලින් එකක් උදාවීම ද්විපුෂ්කර යෝග බලය යෙදෙනු ඇත. මරණය විනාශය දියුණුව යෙදුනහොත් එකට දෙගුණයක් වී මෙහිලා බලය ගෙනදෙනු ඇත.

මෙකී පුරාණාචාර්ය ක්‍රමවේද අනුව පහත සඳහන් කාර්යභාරයන් සඳහා ත්‍රිපුෂ්කර යෝගය දෙසැ.31 දක්වාම අතිශය ප්‍රශස්ත වන්නේය.

• නිවාස වෙළෙඳ ව්‍යාපාර ආයතන සමාරම්භය
ගොඩමඩ ඉඩකඩම් යානවාහන යන්ත්‍ර සූත්‍ර මිලට ගැනීම

• තුරඟ තරග, විභාග, සම්මුඛ පරීක්ෂණ නඩුහබ  විජයග්‍රහණ සහ අදාළ ගමන් බිමන් කටයුතු

• මැණික් ගැරීම්, පතල් කැණීම්, නිදන් හැරීම්, නව වස්ත්‍රාභරණ පැළඳීම ආදි කටයුතු

• ආගමික, සමාජ සුභසාධක කටයුතු

• කාර්මික සහ කෘෂිකාර්මික සේවා

• නිර්ණාමික/නාමික සොරසතුරන් මර්දනකාරී ගුප්ත කටයුතු 

• පොත්පත් ලිපිලේඛන, තෙල් බෙහෙත්, කල්ක, චූර්ණ, ආරිෂ්ඨ ආශ්‍රිත සේවා

ආදී දෛනික දිවියක සම්භාවනීය කාර්යභාරයන් ධනාත්මක මෙන්ම ගුණාත්මකව ඉටුකර ගැනිමෙහිලා අභිමානනීවය වූද ප්‍රශස්ත වූද ඊ සැර වෙඩි සැර බලැති තෙදැති අතිශය දුර්ලභ වූද ත්‍රිපුෂ්කර සහ සුභ මුහුර්තයකි. එසේම මෙම යෝග බලය අශුභවාදී වුවහොත් අනිෂ්ඨඵල විපාකද තෙගුණයකින් බලපානු ඇත. රෝගාබාධක අලාභහානි නින්දා අපවාද චෝදනා සොරසතුරු බලවේග නඩුහබ ආදී විනාශකාරී බවක් බලපානු ලබන්නේය.

උත්තරායනය - ශිශිර සෘතුවේ ධනු රවි 16 භාග දුරුතුමහේ පුර දියවක නම් තිථිය ලත් දෙසැම්බර් 31 වෙනි ශනි දින පස්වරු 3.00 දක්වා කාලපරාශයතෙක් යෝගබලය විහිදී පවත්නේය. ප්‍රබලතම සුභ මුහුර්ති වේලාව පෙරවරු 6.41, 8.59, 11.05, 11.51 සහ පස්වරු 1.15, 2.41 උතුර බලා උදාවන්නේය. කැති-උතුරුපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිය, දෙට, රේවති, මා, මුල, අස්විද යන නැකැත් හිමි ජන්මලාභින්ට අතිශය සිහුම්බල වන්නේය. අටවිසි මහායෝග චක්‍රයට මාතංග නම්වූ අතිප්‍රබල ශුභවාදී යෝගබලය සෙනසුරාදා දවසද උත්‍රසල නැකතද පුර දියවක තිථියද යෙදී ත්‍රිපුෂ්කර නම් වූ යෝගබලය වැඩිදුරටත් මුවහත් වී ඇත. චිරං ජයතු!

♦ කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00