සිගරට් මිල වැඩිවීම නිසා විකල්ප දුම්පානයන් සඳහා ජනතාව යොමු වී ඇති බව සමහරුන්ගේ මතයයි. එයින් වැඩිදෙනා දේශිය බීඩි පානයටද හුරුවී ඇති බව මතයක් සමාජයේ පවතී. සිගරට් එකක් රුපියල් 50ක් වන නිසා දේශීයව පවතින බීඩි කර්මාන්තය දියුණු වෙයිද? එම නිසා දුම්පානය කරන ජනතාව වැඩි වශයෙන් බීඩි බොන්න පෙළඹෙයිද? නැතිනම් විකල්ප දුම්පානයන් සඳහා යොමු වෙයිද? 2020 දි දුම්පානය සහ මුලින්ම නවතා දමන්නට රජය බලාපොරොත්තු වෙන්නේ නම් එය කිරීමට හැකි වෙයිද? මෙවැනි කාරණා කිහිපයක් ගැන සොයා බැලීම සඳහා බීඩි කර්මාන්තය සිය ජීවනෝපාය කරගනිමින් ජීවත්වන ප‍්‍රදේශ ගණනාවක ජනතාවගෙන් අපි කරුණු සොයා බැලුවෙමු.
අපි මුලින්ම කතා කළේ සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයින් හා බීඩි කොළ දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති උපුල් චන්ද්‍රකුමාර ධර්මසේන මහතා සමඟයි. ඔහු මේ සම්බන්ධයෙන් මෙසේ තම අදහස අප සමඟ පැවසීය.
බීඩි ඔතන්න ගන්නේ කුඩුම්බෙරිය කියන ශාඛයේ කොළ. මේක ලංකාවේත් සමහර ප‍්‍රදේශවල කැලෑවල වැවෙනවා. (බිබිල හා මොණරාගල) නමුත් ඒ කොළ තත්ත්වයෙන් බාල නිසාත් නියමිත දේශගුණයට වැවෙන්නේ නැති නිසාත් රට තුළ වගාකර ප‍්‍රයෝජනයට ගන්න අමාරුයි. තියෙන ඉල්ලුම සපයාගන්න ප‍්‍රමාණවත් කොළ ප‍්‍රමාණයක් ඇත්තේ නැහැ. මේ හේතුව නිසා බීඩි අමුද්‍රව්‍ය වන මේ කොළ අපි දැනට ගෙන්වන්නේ ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රාන්තයෙන්.
සාමාන්‍යයෙන් ලංකාවට වසරකදි අපි කිලෝ ලක්ෂ 14 ක් පමණ බීඩි ඔතන කොළ ගෙන්වනවා. නමුත් මෑතක ඉඳන් මේ එක කිලෝවකට රජය අලුතෙන් බදු වශයෙන් රුපියල් 2000 ක මුදලක් පැනවීමත් සමඟ එම ගෙන්වන ප‍්‍රමාණය වසරකදි ලක්ෂ 8 ක් දක්වා අඩු වුණා. ඒ වාගේම මේ කරුණු දෙස බලද්දි බීඩි කොළ මෙරටට ගෙන්වීමට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවෙලා තියෙනවා. ඒ වාගේම මෙය රටින් ගෙන්වීම නිත්‍යනුකූලව සිදුවෙන්න ඕනෑ නිසා ගෙන්වන ව්‍යාපාරිකයාට ලක්ෂ 50 ක ලයිසන් එකක් ගන්න ඕනෑ. ඒ ලයිසන් එක තියෙන ව්‍යාපාරිකයා ගෙනල්ලා අනෙකුත් අයට මෙය බෙදාහැරීම සිදු කරනවා. ඒ අනුව ලංකාවට බීඩි කොළ ගෙන්වන ප‍්‍රධාන ගැනුම්කරුවන් පස්හය දෙනෙක් තමයි වර්තමානයේ ඉන්නේ.
නමුත් රජය මෙහිදී බලාපොරොත්තු වෙනවා. මේ බීඩියක් වෙළෙඳ පොළට රුපියල් 4 කට දාන්න. එහිදි ව්‍යාපාරිකයාට රුපියලක මුදලකුත් රජයට රුපියලක මුදලකුත් ලැබෙන විදිහට. ඒ වුණත් සමහර අවස්ථාවල බීඩි කොළ කැලේ වැවෙන මොණරාගල හා බිබිල ප‍්‍රදේශවලින් හොරපාරෙන් ලංකාවේ බීඩි කොළත් වෙළෙඳපොළට එන නිසා මේ ලැබෙන ලාභය වැඩි කරගන්න සමහර අවස්ථාවල ලංකාවේ බීඩි කොළවලින් එතු බීඩි කලවම් කිරීමක් සිදුවෙනවා. මෙය රජයට විධිමත් ලෙස ක‍්‍රියාත්මක කර ගැනීමට එය විශාල බධාවක්. ඒ නිසා එය නැවත්වීමට නිතීය ක‍්‍රියාත්මක විය යුතුයි.
එත් එක්කම සමහර අය හිතන දෙයක් තමයි සිගරට් මිල වැඩි කරපුවාම බීඩි බොන ප‍්‍රමාණය වැඩි වෙනවා කියලා. නමුත් එහෙම දෙයක් මෙතනදි වෙන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැ එහෙම දෙයක් කිසිම දවසක වෙයි කියලා. ඒ වාගේම බීඩි බොන්නේ වැඩි වශයෙන් ගොවියන් හා වතු ආශ‍්‍රිත වැඩ කරන අය.
ඒ අනුව හොඳට නිරීක්ෂණය කළහොත් කියන්නට තියෙන්නේ සිගරට් වැඩිවීම හරහා බීඩි පානය හෝ විකල්ප දුම්පානය මහා ලොකුවට ඉහළ ගොස් නැති බවයි. නමුත් කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යෑමේදී බීඩි කර්මාන්තය මේ වනවිට අර්බුද ගණනාවක පසුවෙන යුගයක තමයි පසුවෙන්නේ.
මුල් වකවානුවේ ලක්ෂ 5ක් පමණ මේ කර්මාන්තයේ නියලී සිටියත් දැන් දැන් ලක්ෂ 3 ක් දක්වා පිරිසේ අඩුවීමක් තියෙනවා. මේ විදිහට අඩු වුණේ බීඩියක් නිෂ්පාදනය කරන්න යන වියදම වැඩි වුණාට පස්සේ එය පාවිච්චි කරන පාරිභෝගික ප‍්‍රමාණය අඩුවුණා.
මේ කර්මාන්තයේ යෙදෙන්නේ බොහෝවිට දුප්පත් හා වෙනත් ස්වයං රැකියා පුහුණුවක් වීමට කාලය හෝ මැලිකමක් දක්වන අය. තවත් සමහර දෙනා නිවසේ කටයුතු කරන ගමන් අමතර මුදල් උපයන මාධ්‍යයක් ලෙස මේ කර්මාන්තයේ යෙදෙනවා. ඒ වාගේම මේ අමුද්‍රව්‍ය මිල වැඩිවීම හා බීඩියේ මිල වැඩිවීමේ ලාභය රජයට මිසක් එය සිදුකරන ව්‍යාපාරිකයාටවත් ඔතන අයටවත් මහා ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ.
ඒ වාගේම 2020 දී රජය බලාපොරොත්තු වෙනවා දුම්වැටි පානය ඉවත් කරන්න. ඒ වාගේම මේ වනවිටත් මේ සඳහා විවිධ නිතී ගෙනත් මේ කර්මාන්තයට බලපෑම් සිදු කරගෙන යනවා. විවිධ සංවිධාන හරහා මේ ක්ෂෙත‍්‍රයට බලපෑම් සිදුකරනවා.
අපිත් දන්නවා දුම්වැටි සෞඛ්‍යයට අහිතකරයි කියලා. නමුත් 2020 දි එය ඉවත් කරන්නේ නම් මේ කර්මාන්තයෙන් ජීවත් වෙන අයට ජීවන ක‍්‍රමයක් නිර්මාණය විය යුතුයි. මම එහෙම කියන්නේ අපි ළඟ වීඩියෝ තියෙනවා. කකුල් දෙකම නැති ඇවිද යන්න බැරි එක්තැන් වූ අය විවිධ රෝගාබාධ නිසා පැත්තකට වැටුණු දුප්පත් වාගේම අකුරු හැකියාවක් නැති අයත් මේ කර්මාන්තයේ යෙදෙනවා. නමුත් රජයට මේ අයගෙන් බරක් නැත්තේ මේ කර්මාන්තයෙන් ඔවුන් ජීවත්වෙන නිසා. තවත් සමහර අය ගෙවල් හදන්න විවිධ භාණ්ඩ අරන් දරුවන්ගේ පොත් ටික පාසල් කටයුතු කරගන්නේ මේ ලැබෙන මුදලින්. එහෙම නම් ඒ සියලු ක‍්‍රමවේදයම මේ නැවත්වීමෙන් ඇණ හිටිනවා. මේක රජයක් හැටියටත් විශාල ගැටලුවක්.
අපි පසුගියදා මුදල් ඇමතිතුමා හා සෞඛ්‍ය ඇමැතිතුමා හම්බවුණ අවස්ථාවේදීත් කීවේ මේ කටයුත්ත නැවත්වීමට අපි එකහෙළා කැමති බවත් නමුත් මේ ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙළක් හෝ ඔවුන්ගේ අනාගතය පෙර පරිදි නිදහසේ ක‍්‍රමවත් අයුරින් සිදු කරන්නට ක‍්‍රමයක් සකස් විය යුතු බවයි.
මුදල් ඇමැතිතුමා කීවා මෙයින් ඉවත්වෙලා වෙනත් කර්මාන්තයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ණය පවා දිය හැකි බව. ඒක හොඳ ක‍්‍රමයක්. ඒ වාගේම වෙනත් රටවලත් ඉන්දියාවේ සමහර ප‍්‍රාන්තවල මේ කර්මාන්තය නවත්වන්න එම රජයන් කටයුතු කළේ ඒ අය වෙනුවෙන් වෘත්තිය අධ්‍යාපනයක් ලබාදීලා භාෂා දැනුම ආදිය ලබාදීලා විවිධ කර්මාන්තවලට යොමු කිරීමෙන් පසුවයි. එහෙම වැඩපිළිවෙළක් අපේ රටේ මේ ලක්ෂ 3ක අය වෙනුවෙන් සකස් වුණොත් ඒක රජයට හෝ ජාතික ආර්ථිකයට බරක් වෙන්නේ නැතිවෙයි.
අද මෙම රැකියාවේ වැඩිම කර්මාන්තකරුවන් ප‍්‍රමාණයක් ඉන්නේ කෑගල්ලේ වරකාපොළ. මීට අමතරව ගාල්ල මාතර වැනි ප‍්‍රදේශවලත් හම්බන්තොට මීගමුව මාතර මහනුවර වැනි ප‍්‍රදේශවලත් සෙසු දිස්ත‍්‍රික්කවලත් සාමාන්‍යයෙන් මෙම කර්මාන්තයෙන් ජීවත් වන අය සිටිනවා. සාමාන්‍යයෙන් සිගරට් පානය කරන හැම ප‍්‍රදේශයකම වාගේම බීඩි පානයත් පවතිනවා.
මේ සම්බන්ධයෙන් අපි මීළඟට කරුණු විමසූයේ කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාගෙනි.
සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයින් හා බීඩි කොළ දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රධාන උපදේශක ලෙසත් ඔහු කටයුතු කරයි.
අමාත්‍යවරයා පසුගියදා කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ වැය ශිර්ෂය දිනයේදි පාර්ලිමේන්තුවේ මේ බීඩි නිෂ්පාදනයේ වර්තමාන අර්බුදය ගැන කතා කළේය. එහිදී ඔහු මෙසේ පැවසීය.
දුම්කොළවලට බදු ගැසුවාට කමක් නැහැ. අපි ඒක ගෙවනවා. නමුත් බිබිල මොණරාගල ප‍්‍රදේශවලින් වෙළෙඳපොළට එන බීඩි කොළ නැවත්විය යුතුයි. ඒවා කිලෝව ඉතා අඩු මිලකට විකිණෙන නිසා ඒවාට බදු වදින්නේ නැති නිසා ගැටලුවක් පවතිනවා. මේ සඳහා පොලිස්පතිතුමාගේ අනුග‍්‍රහයෙන් ක‍්‍රමයක් සකස් කරලා දේශිය බීඩි නිෂ්පාදන කරුවාගේ ගැටලු විසඳිය යුතුයි.
ඔහු විසින් පසුගියදා මේ කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් බීඩි සංගමයේ ව්‍යාපාරිකයන් හා නිලධාරින් සමඟ මුදල් ඇමතිතුමා හා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවීමට ගොස් 2020 දී මෙම බීඩි කර්මාන්තය නැවත්වීමෙන් පසුව එහි නියලෙන අයට කළයුතු වැඩපිළිවල ගැනද සාකච්ඡාවක් සිදු කළේය.
මේ ගැටලු සම්බන්ධයෙන් අපි වරකාපොළ, කෑගල්ල, මාවනැල්ල, මාතර වැනි ප‍්‍රදේශවල මෙම කර්මාන්තකරුවන්ගේ අදහස් විමසීමක් සිදුකළ අතර ඔවුන් බොහෝමයක් මේ කර්මාන්තයේ මේ වනවිට පත්ව ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් අපිට අදහස් පළ කළහ.
අපි බීඩි දාහක් එතුවොත් අපිට හම්බවෙන්නේ රුපියල් 600ක මුදලක්. නමුත් මම බීඩි ඔතන්න අරන් දැන් අවුරුදු 50 කට වැඩියි. මම නම් කියන්නේ රජය අපි වාගේ අය කරන රැකියාවලට තමයි හැම බද්දක්ම ගහන්නේ. ඒ නිසා ජීවත් වෙන්න තියෙන මාර්ගයත් නැති කරන්න හදනවා. දැන් සතියක කාලයක ඉඳන් බීඩි කොළ නැහැ. ඉස්සර වාගේ එක දිගටම කොළ ලැබෙන්නේ නැහැ. නිෂ්පාදන වියදම ඉතා අඩුවෙන් යන්නේ. ඒ නිසා අපිට ලැබෙන මුදල කීයකින් හරි වැඩිවෙනවා නම් ගොඩාක් හොඳයි. මාත් දවසකට බීඩි දාහක් හෝ එක්දාස් පන්සීයක් තමයි ඔතන්නේ.
ආරි බීඩි සමාගමේ වෙළෙඳ ව්‍යාපාරික බී.ඩී. දිනේෂ් චන්දන මහතා.
දැන් ඉස්සර වාගේ නෙවෙයි කර්මාන්තයේ යෙදෙන ප‍්‍රමාණය අඩුවෙලා තියෙන්නේ. රජයෙන් අලුතෙන් ගහපු බද්ද නිසා බීඩි කොළවල මිල වැඩි වුණා. අපි දැන් බීඩි ඔතන්න දෙන්නේ හොඳට ඔතන අයට විතරයි. මිල ඉහළ ගිය නිසා ප‍්‍රමිතිය නියමිත පරිදි තිබුණේ නැත්නම් අපේ බීඩි අපිට අලෙවි කරගන්න අමාරු වෙනවා.
මේ කර්මාන්තය රජය මගින් යම්දිනක නැවත්තුවොත් අපිට පාරට බහින්න තමයි වෙන්නේ. රජයෙන් අපිට මොනවා හරි වැඩපිළිවලක් කරලා රැකියාවන් දෙනවා නම් හොඳයි. නැත්නම් වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුහුණුවක් හෝ ඒ සඳහා උදව් කරනවා නම් හෙට වුණත් මේ කර්මාන්තයෙන් අපි අයින් වෙන්න සුදානම්. ඒ වාගේම මේක පුරාණයේ සිටම කරගෙන ආපු කර්මාන්තයක්. ඒ නිසා මේක නවත්වන්න ටිකක් අමාරු කටයුත්තක් කියලා හිතෙනවා. මොකද නගරබද වැඩි වශයෙන් සිගරට් විකිණුනාට ගම් මට්ටමින් තාමත් විකිණෙන්නේ බීඩි.
කෙසේ වෙතත් සිගරට් අලෙවිය අඩුවීම නිසා විකල්ප දුම්පානයට ජනතාව හුරුවී ඇති බව පසුගියදා මාධ්‍යයට අදහස් දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය පවසා සිටියා.
ඔවුන් පෙන්වා දෙන්නේ සිගරට් බදු පැනවීම හරහා එහි අලෙවිය අඩු වී ඇති නිසා බීඩි හා සුරුට්ටු නීතිවිරෝධී සිගරට් ඇතුළු වෙනත් විකල්ප දුම්පානයක් සඳහා ජනතාව උනන්දු වී ඇති බවයි.
කතාව හා සේයාරූ - මාවනැල්ල සමන් විජය බණ්ඩාර
(බීඩි අශ‍්‍රිත ඡායාරූප අන්තර්ජාලයෙනි)