පුතා දැන් මොකද කරන්නෙ?
මම නැන්දෙ අහවල් කොම්පැණියෙ වැඩ කරන්නෙ...
ඇයි ආණ්ඩුවෙ රස්සාවක් ගන්න බැරි වුණාද?
සද්දයක් නැත.
ඔව් ඉතිං හැමෝටම ආණ්ඩුවේ රස්සා ලැබෙන්නෙ නෑනෙ...
අවුරුදු විසි පහත් තිහත් අතරේ වයසේ ඉන්නා කොල්ලෙකුට කෙල්ලකට මේ වාක්‍ය කිහිපය පන්සිල් පද මෙන් හොඳට හුරුය. අලුත් අවුරුද්දට නෑ ගම් යද්දීත් පවුලේ මඟුලක තුලාවකදීත් කොටින්ම මළ ගෙදරකදීත් එය අනිවාර්ය තැටියකි. එකම වෙනස අසන තැනැත්තා විතරය. ඔබ ද ලක්ෂපති ප්‍රශ්නයක් වාගේ මේ ප්‍රශ්න ටික බර කර තාලයට අසන විට සිතට එන්නේ එකම දෙයකි. ඒ අසල බිත්තියක එල්ලා ඇති කැලැන්ඩරයට ඇඟිල්ල දික් කිරීමට ය. අප මේ ඉන්නේ එකදාස් නමසිය තිහේ නොව 2017 යැයි කෑගසන්නට සිතේ.
තිස් ගණන්වලදී ආණ්ඩුවේ රස්සාවක් තරම් දෙයක් අපේ අයට තිබුණේ නැත. එදා ක්ලාක්ට අද පොලිසියේ ලොක්කෙකුට වඩා “පවර්ස්” තිබුණි. හැබැයි ඔරලෝසුවේ කටු වේගයෙන් කැරකී ඇති බව බොහෝමයක් වැඩිහිටයන්ට තාමත් තේරුම් ගොස් නැත.
වැඩිහිටියන් උත්සාහ කරන්නේ තමන්ගේ හීන තුළට බාල පරපුර දක්කාගෙන යෑමට ය. අනෙක් අතට තරුණ පරපුර හැදී ඇත්තේ ද ඊටම ගැළපෙන තාලයකට ය. සියල්ල අනිකා විසින් කරදෙන තෙක් බකන්නිලා සිටීමේ පුරුද්දක් ඔවුන්ට තිබේ. ත්‍රිපෝෂ පැකට්ටුවේ සිට මරණාධාරය දක්වා පිටින් ගන්න හදන්නේ එනිසා ය.
මෑතක් වනතුරුම අපේ ආණ්ඩු තරුණ පරම්පරාව රැවටූයේ ආණ්ඩු රස්සා හීනයක් මවාපාමිනි. උපාධියක් ගත්තවුන්ටත් රස්සා නැති කොට ආණ්ඩු රස්සා හීනය ටිකෙන් ටික දියාරු වෙන්න ගත්තේය. පහුගිය අවුරුදු කිහිපය තුළ අපේ තරුණයින්ට මැවූ සිහිනය කොරියානු රැකියා සිහිනයයි. අවුරුදු පතා කොරියාවට තරුණයින් දහස් ගණනක් පටවන රටක් බවට අපි පත්වූයේ ඉතා වේගයෙන්. හතු පිපෙන්නාක් මෙන් කොරියානු පන්ති පටන්ගෙන ඇත්තේත් ඒ නිසාය.
ටිකක් දුරට ඉගෙන ගත් තරුණ පිරිසේ ඉලක්කය කෙසේ හෝ ‘ඔසී’ යෑම ය. ඔස්ට්‍රේලියාව කොයිතරම් ලොකු ගැලවුම්කරුවෙකුදැයි සිතෙන්නට ගත්තාදැයි කියතොත් අනේ බෝට්ටුවෙන් එන්න එපා යැයි ටීවී ඇඩ් දමමින් අපේ උන්දලාගෙන් පින්සෙන්ඩු වෙන්නත් ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුවට සිදුවිය.
රටක තරුණ පරම්පරාවට අනාගතය සොයා රට හැර යන්නට සිදුවෙනවා කියන්නේ සුළු පටු දෙයක් යැයි කෙනෙක් හිතනවා නම් ඒ අම්බරුවෙකි. තරුණ තරුණියන් රට හැර ගියහොත් ඉතිරිවෙන්නේ බිළින්දන් හා මහල්ලන් විතර ය. දැනටමත් අපේ ආර්ථිකයේ කඩාවැටෙන්න පවා මේ විදිහට තරුණ පිරිස ටිකෙන් ටික අතුරුදන් වීම ලොකු හේතුවකි.
අපේ අයට ඕනෑ කරන්නේ බිස්නස් මනසකි. තම දක්ෂතා ඉස්මතු කරගනිමින් වැර වෑයමෙන් ඉස්සරහට එන්නට ඔවුන්ට අවස්ථා තිබිය යුතුය. ඒත් අපේ රටේ ව්‍යාපාරිකයින් ගැන තිබෙන ඍණ හැඟීම ඊට බාධාවකි. කාලය කළමනාකරණය කරමින් ගොඩයන්නට වෙර දරන තැනැත්තා නිකම්ම නිකම් බිස්නස් කාරයෙකුත් උදේ නමයේ සිට හවස පහ වනතෙක් කන්තෝරැවේ පුටුවක් උඩට වී ඉන්න තැනැත්තා පොරක් වෙන්නේත් ඒ හින්දාය.
හැබැයි කාලය වෙනස් වෙමින් තිබේ. අද බොහෝ කොල්ලන්ට කෙල්ලන්ට ආණ්ඩුවේ රස්සා වහ කදුරු ගාණ ය. මේ කියන්නේ ආණ්ඩුවේ රස්සා හොඳ නැති බව නෙමේ. නමුත් අලුත් පරම්පරාව හිතන විදිහ වෙනස් ය.
මාකටින් විෂයේදී අලුත් පරම්පරාව හඳුන්වන්නේ ජෙනරේෂන් Z යනුවෙනි. මේ අය උදේ නමයත් හවස පහත් අතර හිරවෙන්නට කැමැති නැත. ඔවුන් සමහරුන්ට ඕනෑ නිවසටම වී වැඩ කළ හැකි ජොබ් එකක් ය. සමහරු අපි අහවල් කොම්පැණියේ මෙච්චර කාලයක් වැඩ කළා යැයි කියනු අසද්දි පොඩි එවුන්ට ඒවා අරාබි නිසොල්ලාසයේ කතා වාගේ ය.
අද කොල්ලන් කෙල්ලන් වෙනස් ය. ෆේස්බුක්, යූ ට්යුබ් සමඟින් ලෝකයේ වෙනත් රටවල තරුණ තරුණියන් කරන කියන දෑ ඔවුහු දනිති. ඉතින් තවදුරටත් වැඩිහිටියන්ගේ හීනවල තරුණ බලාපොරොත්තු හිරකර දමන්නට ඉඩක් නැත.