යහපාලන ආණ්ඩුව පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනතාවට සහන පැකේජයක් පිරිනමා තිබිණි. ආණ්ඩුව වසර දෙකක් සම්පූර්ණ වීමේ ප්‍රීතිය නිමිත්තෙන් මෙම සහන පිරිනැමූ බව අලුත් මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පවසයි. මෙම සහන ලබාදීම සඳහා ආණ්ඩුව රුපියල් කෝටි 440ක මුදල් වෙන්කර තිබෙන බවද ඇමැතිවරයා අනාවරණය කළේය. අන්තර්ජාල භාවිතය සඳහා අයකළ සියයට 10ක් වු විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් මස 01දා සිට ඉවත් කර ඇති අතර යතුරු පැදි සහ කැබ්ර්ථ සහ ලොරි රථවලද බදු අඩුකර තිබේ. මෙම සහන මල්ලට අමතර වශයෙන් විශේෂිත ණය යෝජනා ක්‍රම කිහිපයක්ම ක්‍රියාවට නගා ඇති බව ඇමැතිවරයා පවසයි.
හිටපු මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය කාලයේ අත්තනෝමතික ලෙස ජංගම දුරකථන ගාස්තු වැඩිකළ අතර අන්තර්ජාල භාවිතය සඳහාද විශාල බද්දක් නියම කර තිබුණි. මෙයින් අසහනයට පත් වූයේ ජාතියේ ජීවනාලිය වන තරුණ පරපුරයි.
අන්තර්ජාල භාවිතය සහ ජංගම දුරකතන පාවිච්චියට වඩාත් නැඹුරු වූයේ තරුණ පරපුර වන අතර මෙරට ජනගහණය මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකතන මෙරට පාවිච්චි වෙන බව පසුගියදා වාර්තා විය. ඒ නිසා යොවුන් පරපුර ගැන සිතා බලාගත් මෙම තීරණය පිළිබඳ මුදල් ඇමැතිවරයාට ඔවුහු කෘතඥතාව පළ කරති. එසේම අන්තර්ජාල පහසුකම වර්තමානයේ විනෝදාංශයක් ලෙස පමණක් නොව අධ්‍යාපනය සඳහා පාවිච්චි කරන මෙවලමක් වන නිසා මෙම සහනය අපේ සිසු සිසුවියන්ට වැදගත්වේ.
එසේම අචිචාරවත් ලෙස පසුගිය සමයේ විවිධ අවස්ථාවල වාහන බදු ඉහළ නැංවීම නිසා විශේෂයෙන් කුඩා වාහන පාවිච්චි කරන අයට සහ ත්‍රිවිලර්, යතුරු පැදි පාවිච්චි කරන තරුණ තරුණියන්ටද සිදුව තිබුණේ විශාල අසාධාරණයකි. තවද ස්වයං රැකියා සහ කර්මාන්ත ආදියට පාවිච්චි කරන වාහනවල බදු ඉහළ නැංවීම නිසා තම ජීවනෝපාය ස්වාධීනව සලසා ගැනීමට උනන්දුවන අය හිරිහැරයට ලක්ව සිටියහ.
තවද මෙලෙස විටින් විට වාහන මිල උච්ඡාවචනය වීම නිසා ඒවා ගෙන්වන ව්‍යාපාරිකයන්ටද, දේශීය වාහන ව්‍යාපාරවල යෙදෙන අයටද වාහන වලින් රැකියාවලට යොමුවන දහස් සංඛ්‍යාත කුඩා කාර්මිකයන්ට සහ ව්‍යාපාරිකයන්ටද සිදුවූ හානිය සුළුපටු නොවේ. ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටීමකට ලක්වී දරුපවුල්වල සාමාජිකයන් ලක්ෂ ගණනක් අසාධාරණයට ලක්ව තිබුණි.
මෙම සහන පැකේජය අනුව එන්ජින් ධාරිතාව 50ට අඩු යතුරු පැදියක මිල රුපියල් 50,000කින් අඩුවේ. ධාරිතාව 50 සිට 150 අතර යතුරු පැදියක මිල රුපියල් ලක්ෂයකට වඩා පහළ යන බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි. එසේම දැනට රුපියල් ලක්ෂ 21ක් පමණ මිල වන සිංගල් කැබ් රියක මිල ලක්ෂ 18 දක්වා ලක්ෂ 3කින් පහළ යනු ඇත. එසේම කුඩා බට්ටා ලොරියක මිල රුපියල් ලක්ෂ 3කින් අඩුවන අතර ඒ අනුව ලක්ෂ 16ක මිල වූ එහි මිල රුපියල් ලක්ෂ 13ක් වෙයි. මෙම තත්ත්වය කුඩා ප්‍රමාණයේ ව්‍යවසායකයන්ට හා කෘෂිකර්මාන්තයේ නියැලෙන අයට වාසි සහගත වේ.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ ආණ්ඩුවේ තීරණය පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කතා කරයි.
මේ බදු අඩු කිරීම ආණ්ඩුව ගත් වැදගත් තීරණයක්. මේ මගින් ආණ්ඩුවත්, වාහන ආනයනකරුවන් සහ පාරිභෝගිකයන් යන කොට්ඨාස තුනටම වාසි අත්වෙනවා. යතුරු පැදි සඳහා ආණ්ඩුව අයකළ පැරැණි බදු ක්‍රමය ඉතාම සංකීර්ණයි. එසේම බද්දත් වැඩිවෙනවා. වාහනයේ වටිනාකම මත සියයට 90ක බද්දක් හෝ එන්ජින් ධාරිතාව මත සී.සී. ඒකකයකට රුපියල් 500 සිට 1000 බැගින් බදු ගණනය කිරීමක් තමා තිබුණේ. මේ ක්‍රමය සංකීර්ණයි. පසුගිය 18දා ආණ්ඩුව සංශෝධනය කළ බදු ක්‍රමය අනුව වාහනයේ වටිනාකම මත සියයට 90ක් බදු අයකිරීම ඉවත් කරලා තියෙනවා. එයින් බදු ක්‍රමය පැහැදිලි ලෙසම සරල වෙනවා.
ඔහු පවසන්නේ මේ නිසා වැඩි වටිනාකම් ඇති ජපන් යතුරුපැදි නැවතත් වෙළෙඳපොළට පිවිසීමේ ප්‍රවණතාවක් ඇති වන බවයි. ජපානයෙන් ආනයනය කරන යතුරු පැදිවල මිල ඉහළ නිසා පසුගිය සමයේ වැඩි වශයෙන් වෙළෙඳපොළට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන යතුරු පැදිය. එහෙත් කල් පැවැත්ම හා නඩත්තුව අතින් ජපන් යතුරු පැදි ඉහළ තත්ත්වයක තිබෙන බව ඔහු පෙන්වා දෙයි.
එසේම කිලෝ ග්‍රෑම් 2000ට අඩු කුඩා ලොරි රථ සහ සිංගල් කැබ් වලට අයකළ නිෂ්පාදන බද්ද රුපියල් ලක්ෂ 10 සිට 7 දක්වා අඩුවීම නිසා අවුරුදු 4කට පෙර නිෂ්පාදනය කර මෙරටට ගෙනා කුඩා ලොරි සහ සිංගල් කැබ් මිලදී ගන්න අයට වාසියක් ලැබෙන අතර යතුරු පැදිනම් වසර 3කට පෙර නිෂ්පාදනය කර ආනයනය කළ ඒවා විය යුතුයි. බදු සරල කිරීම නිසා ආණ්ඩුවට බදු අයකර ගැනීමටද පහසුවන බව ඔහු පවසයි. එසේම වාහන ආනයනය කරන අයට බදු ගෙවීමටද පහසු වන බව අවධාරණය කෙරේ. පාරිභෝගිකයාට පහසුවෙන් වාහන මිලට ගන්නට ලැබේ. හොඳ තත්ත්වයේ වාහන මහා මාර්ගවලට එක්වීම මාර්ග තදබදයටද පිළියමකි. එසේම ඔහු පවසන්නේ අනාගතයේදී ලබන අයවැයෙන් සෙසු වාහන බදුවලටද සහනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකි බවයි. පසුගිය සමයේ කඩා වැටි තිබූ වාහන වෙළෙඳපොළට අනාගතයේදී සුබදායි තත්ත්වය ඇතිවනු ඇතැයි ඔහු කියයි.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න පෙන්වා දෙන්නේ පොදු සේවයට යොදා ගන්නා මගී බස් රථවලට බදු පිටබදු ගසන ආණ්ඩුව යතුරු පැදිවලට පමණක් බදු සහන ප්‍රදානය කිරීම හෙලා දකින බවය. දිනකට රිය අනතුරුවලින් 9 දෙනකු පමණ මිය යන අතර එයින් 4-5ක් පමණ යතුරු පැදි සම්බන්ධ බවද ඔහු කියයි. දිනපතා සිදුවන අනතුරුවලින් අඩක්ම සිදුවන්නේ යතුරු පැදි නිසාය. අද රටේ පවතින වාහන තදබදයට ප්‍රධානතම හේතුවක් වන්නේ යතුරු පැදිය. යතුරු පැදිකරුවන් බොහෝ දෙනා මාර්ග නීති තුට්ටුවකටවත් මායිම් නොකර ඉඩ ඇති තැන්වලින් වෙට්ටු දමමින් රිංගා යාමට පෙළඹීම විලාසිතාවක් වී ඇති බව ඔහු කියයි. යතුරුපැදිවලට සහන දීමෙන් බලවත් උත්සහයකින් මංතීරු සකස් කිරීමද විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන අතර බස්මාර්ග ජනතාවට පැය ගණන් මාර්ගවල රැඳී සිටීමට සිදුවීම නිසා ඔවුන් පොදු ප්‍රවාහනයෙන් ඇත්වීමට කටයුතු කිරීමෙන් බස් රථ සේවය කඩා වැටීමකට ලක්වන බව කියයි.
අන්තර්ජාල භාවිතය සඳහා අයකළ සියයට 10ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් මස 1දා සිට ඉවත් කිරීම නිසා අන්තර්ජාල බදු මෙන්ම ජංගම දුරකතන සඳහාද ගාස්තු අඩුවේ. දුරකතනවල පෙර ගෙවුම් සහ පසුගෙවුම් පැකේජ සඳහාද බදු පහසුකම් සලසා ඇති බව ආණ්ඩුව නිවේදනය කර තිබේ. මුලදි ජනතාව අතර ප්‍රචාරය වූයේ මෙම සහනය පෙර ගෙවුම් කාඩිපත් හිමියන්ට පමණක් වන බවය. එහෙත් එම සැකය දැන් ඉවත් වී තිබේ.
ඊළඟට ගොවියන් උදෙසා නවෝදා නමැති ණය යෝජනා ක්‍රමයක්ද ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබේ. ඒ යටතේ සහන පොලී අනුපාතිකයක් වන සියයට 3.27කට ලක්ෂ 5ක ණය මුදලක් ප්‍රදානය කරන අතර එය ආපසු ගෙවිය යුතු කාලය අවුරුදු පහකි. මේ අනුව ගන්නා ණය ගොවියාට වසරකට රුපියල් ලක්ෂය බැගින් කුඩා පොලියක් සමඟ ගෙවීමට පහසුකම් සලසා ඇත. මේ දක්වා කෘෂිකාර්මික කටයුතු සඳහා විශේෂිත පොලියක් රාජ්‍ය බැංකුවලින් හඳුන්වා දී නොතිබුණි. ඒ නිසා ගොවියාට සෙසු මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ගෙවිය යුතු සියයට 12-14 අතර පොලියක් ගෙවිය යුතුව තිබුණු අතර පාළුවීමෙන් ණය වාරික ගෙවීමට අපොහොසත්වූ අවස්ථාවල සියයට 4ක අඩු පොලියක්ද ගෙවිය යුතුව තිබුණි.
එසේම පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා පෙර ගොවි ණය වලට මෙන් සියයට 3.27 පොලියකට යටත්ව වාහන මිලදී ගැනීම සඳහා ලක්ෂ 40 දක්වා ණය නිකුත් කරන බවද මංගල සමරවීර නිවේදනය කර තිබේ. මෙය රිය ශක්ති යෝජනා ක්‍රමය ලෙස නම්කර ඇත. මේ නිසා පාසල් දරුවන් සඳහා නවීන වාහන යොදාගැනීමට හැකිවීමෙන් කාර්යක්ෂම සේවයක් ලබාගැනීමට හැකිය.
නිවෙස්වල සූර්ය බල ශක්ති ව්‍යාපෘති ජනනය කිරීම සඳහා රිවි බල සවි නමැති ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති අතර එයින් රුපියල් 350000ක උපරිමයට යටත්ව ණය නිකුත් කෙරේ. වසර පහකින් ගෙවිය හැකි මෙම ණය මුදල සඳහා අයකරන පොලිය සියයට 6කි. දැනට අර්බුදයකට ලක්ව ඇති ජල විදුලි නිෂ්පාදනය වෙනුවට ජනතාව යම් විකල්පයකට යොමුකරන මෙම ණය යෝජනා ක්‍රමය ඉතාම වැදගත්වන අතර මෙයට යොමුකිරීම තුළින් අනාගතයේ රටේ ඇතිවිය හැකි විදුලි අර්බුදයට විසඳුමක්ද වෙයි. විදුලිය නිෂ්පාදන පිරිවැය අවම කරගත හැකි බවද මධ්‍යස්ථ විශ්ලේෂකයෝ පවසති. එහෙත් මෙහිදී වැදගත් වන්නේ මෙම ව්‍යාපෘතියට නිකුත් කරන ණය මුදල් අදාළ විෂයට යොමුකරවීම පිළිබඳ පසු විපරම් කර අවශ්‍ය උපදෙස් ලබාදීමේ ක්‍රියාදාමයක් ආරම්භ කිරීම බව ඔවුහු පෙන්වා දෙති.
කුකුළුමස් ආශ්‍රිත නිෂ්පාදන දිරිමත් කිරීමේ අපේක්ෂාවෙන් හඳුන්වා දුන් දිරි සවිය ණය යෝජනා ක්‍රමය යටතේ අධිශීතකරණ මිලදී ගැනීම සඳහා වසර පහකින් ගෙවන රුපියල් 50,000ක පොලි රහිත බැංකු ණයක් ලබාදීම නිසා මස් නිෂ්පාදන කටයුතුවල දියුණුවක් මෙන්ම කුකුළුමස් මිල යම් පමණකට හෝ පරිභෝගිකයාට මුහුණදිය හැකිවන පරිදි අඩුවේදැයි බලාපොරොත්තු වේ. ආණ්ඩුව පසුගිය දා කුකුළු ආහාර සඳහා තිරිඟු ඇටවලට අයකළ රුපියල් 9ක් වූ සෙස් බද්ද රුපියල් 6ට අඩු කළ අතර, කුකුළු ආහාර සඳහා වූ බඩ ඉරිඟු ඇට කිලෝවකට අයකළ රු. 70ක බද්ද ඉවත්කර ඒ වෙනුවට කිලෝවට රුපියල් 10ක්වු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දුන්නේ ජනතාව විශාල වශයෙන් පාරිභෝජනය කරන කුකුළු මස්වල මිල යම් පමණකට අඩුවේය යන අපේක්ෂාවෙනි. එහෙත් මේ ලියන මොහොත දක්වා එම සහනයේ ප්‍රතිවිපාක පාරිභෝගිකයාට ලැබී නොමැති බව කිය යුතුය.
ජය ඉසුරු නමින් වූ ණය යෝජනා ක්‍රමයක් මුදල් අමාත්‍යවරයා හඳුන්වා දුන් අතර එමගින් රුපියල් ලක්ෂ 500 උපරිමයකට යටත්ව සියයට 6.54ක සහන පොලියක් මත ණය මුදාහරී. මෙලෙස ණය දෙන්නේ කෘෂිකර්මාන්තය, ඇඟළුම්, මල්වගාව, ධීවර, ගෙවතු වගාව හා මුද්‍රණ කර්මාන්තය ආදි ව්‍යාපෘති සඳහාය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ මෙලෙස සහන පදනමින් ණය නිකුත් කිරීම වැදගත් වන අතර එය නිවැරදිව ක්‍රියාත්මක වුවහොත් ගොවියන්ට සහන සැලසෙන අතර අධික ණය බරෙන් පීඩා විදින ගොවියාට මඳ පමණක හෝ අස්වැසිල්ලක් ලැබෙන බවය. එහෙත් එය නිසිපරිදි නිකුත් කිරීම සහ කළමණාකරණය කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දෙයි.
වර්ග අඩි 750කට නොවැඩි නිවාස සඳහා රුපියල් ලක්ෂ දෙකකට සීමාවකට යටත්ව ණය නිකුත් කරන සොඳුරු පියස නම් ණය යෝජනා ක්‍රමයක්ද මුදල් අමාත්‍යවරයා හඳුන්වා දී තිබේ. එහි සහන ක්‍රමයක්ද මුදල් අමාත්‍යවරයා හඳුන්වා දී තිබේ. එහි සහන පොලිය සියයට 6.2කි. ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය අරුණ නමැති ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ මාධ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීම සඳහා පොලී රහිත වසර හතරකින් ගෙවිය හැකි ණය ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ. මෙහි පොලිය සියයට 3ක් වේ. මෙය මැතිවරණයක් ඉලක්ක කරගෙන සිදු නොකළ අතර ඉදිරි අය වැයේදි තවත් සහන දෙන බව ආණ්ඩුව කියයි.
යසවර්ධන රුද්රිගු