2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

Viber රහස් ඉවරයි

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 271

 

දැන් ලෝකයේ අංක එක බවට පත්ව ඇත්තේ සන්නිවේදන තාක්ෂණයයි. තොරතුරු හුවමාරුව සුපිරි වේගයෙන් සිදුවෙයි. පොදු දුරකතන කතාබහේ සිට අතිශය රහසිගත තොරතුරුද, පෞද්ගලික තොරතුරුද සන්නිවේදනය වන වේගය තව තවත් ඉහළ දැමීම සඳහා නොයෙකුත් අලුත් උපාංග සහ තාක්ෂණික යෙදුම් හඳුන්වා දීමද මේ කාලයේ ඉතා සුපිරි වේගයකින් සිදුවෙනු දක්නට හැකිය. දත්ත හුවමාරුව සඳහා ලෝකයේ මෑතකදී බහුලවම භාවිත වන සහ විශ්වාසවන්තම තාක්ෂණික යෙදුම බවට පත්ව තිබුණේ Viber උපාංගයයි. එය ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වන්නට හේතුවූයේ එහි ඇති අතිශය රහසිගත බව තොරතුරුවල ආරක්ෂාව පිළිබඳ පැවැති විශ්වාසයයි. ඒත් දැන් ඒ විශ්වාසයද බිඳීගොස් හමාරය.

සුප්‍රකට ලේඛක ජෝර්ජ් ඕවෙල්ගේ 1984 නවකතාව කියවන අයෙකුට තාක්ෂණික දියුණුවේ උපරිමය කරා ගිය ලෝකයක් ගැන අත්දැකීමට හැකිය. එහි ඇති සන්ත්‍රාසමය තත්ත්වය වන්නේ එබඳු අධි තාක්ෂණික ලෝකය තුළ කිසිවෙකුට හෝ පෞද්ගලික භාවයක්, රහසිගත අනන්‍යතාවක්, පෞද්ගලික ජීවිතයක් නොතිබීමය. ලොකු සහෝදරයා Big Brother ලෙස හැඳින්වෙන පාලකයකු ඔබේ නි‍ෙවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම නරඹමින් සිටියි. දැන් මේ තත්ත්වය සැබෑවෙමින් පවතියි. කොටින්ම මේ දියුණු ලෝකය තුළ පුද්ගලයකු හට රහසිගත බවක් පෞද්ගලික අනන්‍යතාවක් ඉතිරිව නැත. දැනට ලෝකයේ සීඝ්‍ර දත්ත හුවමාරුව සඳහා යොදාගන්නා Viber තාක්ෂණික උපාංගයටද මේ අලකලංචියෙන් බේරීමක් ලැබී නැත.

මේ වනවිට ඉතා සුපිරි තොරතුරු හුවමාරු මාධ්‍ය ලෙස යොදාගන්නා Viber සිය ප්‍රමුඛතාව රැකගන ඇත්තේ එමගින් දුරකතන කතාබහ, ඊමේල් පණිවුඩ, ඡායාරූප ගොනු, රූපසටහන්, අත්අකුරු, වීඩියෝ ක්ලිප්, ග්‍රැෆික් නිර්මාණ ආදී නොයෙකුත් මාදිලියේ තොරතුරු ඉතා පැහැදිලි ලෙස හුවමාරුවට හැකියාව ඇති හෙයිනි. Viber යෙදවුම සහිත ස්මාර්ට් දුරකතන ඇන්ඩ්‍රොයිඩ් දුරකතන අතර මේ දත්ත හුවමාරුව මුළුමනින්ම සිදුවෙන්නේ නොමිලයේය. වයිබර් යෙදවුම සඳහා ලියාපදිංචි වූ විට ලැබෙන මේ පහසුකම ලෝකයේ ඕනෑම තැනක් සඳහා වලංගු වන්නකි. ඔබ ලංකාවේ සිටියද ඔබේ Viber ජාලයට එක්ව සිටින ලෝකයේ වෙන කොතැනක හෝ සිටින මිතුරෙකු වෙත නොමිලේ දත්ත යැවීමට මේ පහසුකම උපකාරී වේ. සාමාන්‍යයෙන් මෙතෙක් කවුරුත් විශ්වාස කළේ මේ කියන දත්ත හුවමාරුව අදාළ දෙදෙනාගේ හෝ කණ්ඩායම අතර අතිශය රහසිගතව සිදුකළ හැකි බවය. නමුත් තාක්ෂණික ලෝකයේ මකරුන් බවට පත්ව සිටින හැකරුන්ගේ ඇදහිය නොහැකි දස්කම්වලට පින්සිදුවන්නට දැන් මේ කියන අතිශය පෞද්ගලික දත්තද සෙසු ලෝකයාට අවශ්‍ය නම් එළිදරව් කරගන්නට හැකිය. එක් ක්‍රමයක් වන්නේ ඒ සඳහා දැනටමත් විවෘත වෙළෙඳපොළේ අලෙවි වන සුවිශේෂ මෘදුකාංග යොදා ගැනීමය. නැතිනම් Viber පහසුකම සපයන බටහිර සමාගමේ පිහිට පැතීමය.

වයිබර් පහසුව සඳහා හඳුනා ගැනීමේ අංකය ලෙස භාවිතාවන්නේද අදාළ දුරකතන සිම්පතේ අංකයයි. මේ දුරකතන අංකය මගින් වයිබර් පහසුව සඳහා සම්බන්ධ වනවිට එය ලබාදීම සඳහා අදාළ දුරකතනයේ ලිපින පොතට ඇතුළුවීම සඳහා අවසර ඉල්ලා සිටිනු ලැබේ. පහසුකම ලැබෙන්නේ ඒ අවසරය දුන් පසුවය. නමුත් මේ සමඟ අදාළ දුරකතනය තුළ අන්තර්ගත වන සියලුම සබඳතා රහස් තොරතුරු, කොටින්ම දුරකතන කතාබහේ සිට එස්.එම්.එස්. පණිවුඩය දක්වා සියලු කරුණු අදාළ සේවාදායකයාට ලබාගත හැකිය. එපමණක් නොව එම දුරකතනය තුළ අඩංගු ලිපින පොතේ සඳහන් සියලුම අංකවලට අයත් දුරකතනවල එබඳු සියලු රහසිගත තොරතුරුද වාර්තා කරගැනීම සිදුවෙයි. කිසියම් අවස්ථාවක සිදුවන දුරකතන සංවාදයකට සවන් දීමේ සිට දුරකතනය ක්‍රියා විරහිත කර ඇතිවිට විවිධ අංකවලින් ලැබෙන පණිවුඩ, ඇමැතුම්, ආදියද ගබඩාකර ගැනීමේ හැකියාව තිබේ. ඒවා අවශ්‍යවිටක අවශ්‍ය කෙනෙකුට ලබාගැනීමේ හැකියාව දැන් සියල්ලට මිලක් ඇති මේ ලෝකයේ නියම මිල ගෙවූ විට හැකිය.

වයිබර් පහසුකම ලබානොගත් මොබයිල් දුරකතන පමණක් නොව ස්ථාවර දුරකතන වෙතද අඩු මුදලකට ඇමතුම් සහ දත්ත ලබාදීමට වයිබර් Out නමැති පහසුකම මගින් හැකියාව තිබේ. මේ පහසුකම සහිත දුරකතනයකින් එන පණිවුඩයක් නිසා Viber සේවය ලබා නොගන්නා දුරකතන අංකයද එම සේවාදායක ආයතනයේ තොරතුරු ගබඩාව තුළට එක්වන අතරම එතැන් සිට එකී දුරකතනයේ ග්‍රාහකයා නොදැනුවත්වම එයට එන ඇමතුම්, දත්ත, ඡායාරූප, රූ සටහන් ආදී සියල්ල ගබඩාවීමද සිදුවෙයි. තාක්ෂණ ලෝකයේ මකරුන් වන හැකරුන් විසින් දැන් නිපදවා ඇති නව පන්නයේ මෘදුකාංග මගින් රැවටිලිකාර එස්.එම්.එස්. පණිවුඩයක් යැවීම මගින් පමණක්ම වෙනත් ඕනෑම අයකුගේ දත්ත තමන් වෙත ගෙන්වා ගැනීමට අවස්ථාව උදාකර‍ෙගන ඇත්තේ එමගිනි. වයිබර් පහසුකම සහිත දුරකතනයකට සම්බන්ධව වයිබර් පහසුකම නැති එහි ඇති අංකයකට පණිවුඩයක් ලබාදීම පමණි සිදුකළ යුත්තේ.

සිය සැමියා හෝ බිරිය ගැන සැකයෙන් පසුවන අයට මෙන්ම සිය දියණිය හෝ පුත්‍රයාගේ නොමනා සබඳතා සොයන දෙමාපියන්ට පමණක් නොව රාජ්‍ය රහස් දඩයම් කරන දේශපාලන තොරතුරු කොල්ලකරුවන්ටද මේ උපාංගය දැන් මහත් උපකාරයක් බවට පත්ව හමාරය. හැකරුන් විසින් වෙබ් අඩවිවල දක්වා ඇති වෙළඳ දැන්වීම්වලට අනුව තමන්ට අවශ්‍ය කරන ඕනෑම දුරකතනයක කතාබහට සවන්දීමට මෙන්ම එය වෙත එන සියලු දත්ත ලබාගැනීමටද, අදාළ දුරකතනයට යොදා ඇති සිම්පත මගින් එය තිබෙන ස්ථානය නිවැරදිව GPS තාක්ෂණයන් මගින් හඳුනා ගැනීමටද වීඩියෝ සංවාද ක්‍රියාත්මක වනවිට ඒ අවට සිදුවන දෑ අදාළ දුරකතනයේ කැමරා ඔස්සේම බලා කියා ගන්නටද එකී දුරතනයේ හිමිකරු කිසිසේත්ම නොදන්නා වෙනත් පාර්ශ්වයකට හැකිය. බැංකු ගනුදෙනු, රහස් කතා, රහස් සබඳතා, කුමන්ත්‍රණ සැලසුම් බඳු නොයෙකුත් අතිශය පෞද්ගලික සතර කන් මන්ත්‍රණ යැයි සිතා කෙරෙන ගනුදෙනු තමන්ටත් නොදැනී මුළු ලෝකයාම අසා සිටින ප්‍රසිද්ධ රහස් බවට මේ නිසා පත්වීමට අවස්ථාව තිබේ.

වයිබර් පමණක් නොව දැනට බහුලව භාවිතා වන සමාජ වෙබ් අඩවි ජාල හරහා කෙරෙන සංවාද ද මේ නිසා අදාළ සමාජ කණ්ඩායමට නොව හැක් කිරීමේ මෘදුකාංගය සහිත ලෝකයේ ඕනෑම අයකුට දැනගන්නට හැකිය. මේ නිසා දැන් ලෝකය වැසුණු කාමරයක රහසිගතව කෙරෙන ගනුදෙනු සඳහා තවදුරටත් ආරක්ෂිතව නැත. ජෝර්ජ් ඕවේල්ගේ 1984 කතාවේ මෙන්ම ඕනෑම තැනක ඕනෑම වෙලාවක සිදුවෙන ගනුදෙනුවක් දෙස ඇස ගසා සිටීමේ හැකියාව මේ කියන තාක්ෂණික පහසුකම් සපයන සමාගම්වලට ලැබී තිබේ. මෙහි ඇති සැඟවුණු ඇත්ත වන්නේ ඒ හැකියාව ලැබී ඇත්තේ අදාළ සමාගම අටවා ඇති එයට මුවා වී ඇති එහි අයිතිකාර රාජ්‍යයට බවය.

මෙහි ඇති ඵලදායී පැත්ත වන්නේ, කිසිවෙකුටත් සැඟවී සිටීමට නොහැකිවීමය. අදාළ සමාගම්වල දත්ත සුපරික්ෂාව මගින් කිසියම් දත්තයක් මුලින්ම ඇතුළත් කළ තැනැත්තා දක්වා හඹායාමට හැකියාව තිබේ. මේ නිසා අසාමාන්‍ය දුරකතන ඇමැතුම් දෙන්නන්ගේ සිට ෆේස්බුක් වැනි සමාජ ජාල මගින් මඩ ප්‍රචාරවල හෝ අසභ්‍ය ප්‍රචාරවල යෙදෙන්නන්ද හඳුනාගැනීමේ හැකියාව දැන් පවතියි. මේ නිසා අද ලෝකයේ පෞද්ගලික රහස් කිසිවක් ඉතිරිව නැත.

♦ සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00