2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

වස්කවිය කිව්වා විතරයි හතරදෙනා ගියා ගියාමයි

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 452

වරමන්ද දාන්ඩ දඩයක් එක්ක එක මිනිහෙක් ගියත්, තව දෙතුන් දෙනෙක් අවට ඉන්නවා. කුලා නතර වුණාම ඒ මිනිස්සුත් ඇවිත් වරමන්ද ගහක ගැටගහලා එනවා. දවසක් හමාරක් යනකම් කුලාට වතුර ටිකක්වත් දෙන්නෙ නෑ. ඕං එතකොට කුලාගේ බල බිඳෙනවා. ඊළඟට අර දඩයාම අරන් කුලා ළඟට ගිහින් ඌගේ කරට, අං දෙකට කඹ දාලා ගැට ගහලා දඩයාගේ කරේ ඇඳා ගෙන ගමට ගේනවා.

පයට තියලා කුළු හරක් අල්ලන අයට කීවේ මරි කාරයා කියලා. ඉතිං මාත් එදා මරිකාරයෙක් තමයි. කුළු හරක් තිහ හතළිහක් ඔය විදිහට අල්ලලා තියෙනවා.

කුළු හරක් ඇල්ලීම හරි අනතුරුදායක කටයුත්තක් නේද? මම ඇසුවෙමි.

ඔව්. කුළු හරක් අල්ලන්න කැලේට ගිහින් ආපහු ගෙදර එනකම් විශ්වාසයක් නෑ. හරක් අනිනවා. වෙනත් අනතුරු වෙනවා. හරිම භයානකයි. කුළු හරක් අල්ලන්න ගිය දවසක මට එහෙම අනතුරක් වුණා. 1971 අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමයි ඒක වුණේ. එදා අපි දෙන්නෙක් කුළු හරක්ට  මදු ගහන්න මුදියන්නෑගම, අන්දර යාය කැලේට ගියා. ටෝරොජ් කම්බි එහෙම නැත්නම් කේබල් කම්බි කියලා අපි කියන කම්බි තමයි මදු ගහන්න අරන් ගියේ. කුළු හරක් යන එන මංවල හරකාගේ කරට (ගෙලට) හිරවෙන්න හැකි විදිහට තමයි මන්ද හදන්නේ. රවුමට මන්ද හදලා ගස් දෙබල් අතර රඳවලා කම්බියේ අනිත් කෙලවර ගහක ගැට ගහනවා. ඔය විදිහට මදු පහක් විතර හදලා කුළු හරක් හිටපු ඉසව්වට ගිහින් මදු ගහලා තියෙන පැත්තට හරක් ටික එලෙව්වා.

එක මීදෙනෙක් මද්දකට අහුවුණා. මී දෙන පැන්න පැනිල්ලට කේබල් එක ගැටගහලා තිබුණ ගහ ගැලවුණා. ගහත් ඇරගෙන මී දෙන කැලේට ගියා. රෑ වෙන්නත් ළඟයි. අපි දෙන්නා ආපහු ගෙවල්වලට ආවා. පහුවදා උදේ නමයට විතර අපි දෙන්නා ආයි අර කැලේට ගියා. ගහ ඇදගෙන ගිය පාර තියෙනවා. ඒ ඔස්සේ යද්දි මේං මීදෙන තවත් ගහක පැටලිලා ඉන්නවා. අපි යද්දි කඹත් අරන් ගියේ. මම කඹයක් අරන් මීදෙන ගාවට හෙමිහිට කිට්ටු වුණා. අර ගහත් ගලවාගෙන මී දෙන පැන්නා. අපිත් මීදෙන පස්සේ දිව්වා. සැතැප්ම භාගයකට වඩා දුරක් දිව්වා.

කුළු මී දෙන හුඹහක් ළඟ නැවතිලා ඉඳලා තියෙනවා. ඒත් මම දැක්කේ නෑ. මම හුඹහ ළඟට ගියපු ගමන්ම මීදෙන පැනලා මට ඇන්නා. වම් කකුලට තමයි ඇන්නේ. මේ තියෙන්නේ ඒ තුවාල කැළල තමයි. (පෙන්වයි). මම ගිලිබලියට (උඩු බැලි අතට) වැටුණා. හැබැයි අතේ තිබුණ කඹය මීදෙනගේ අං දෙකට අසිරෙව්වා. (හිර කළ) මම වැටිලා ඉද්දිම තමයි ඒක කළේ. මීදෙන පස්සෙන් පස්සට ගියා. ආපහු හැරිලා මගෙත් එක්ක ගිය දිසානායක පැත්තට පැන්නුවා. මිනිහා පොඩි ගහකට නැගලා බේරුණා.

මගේ කකුලේ ලේ වැක්කෙරෙනවා. තුවාලේ කට ඇරිලා. ඉණේ තිබුණ රෙදි කෑල්ල අරන් තුවාලය බැඳගෙන පාරට එන්ඩ එනකොට හේන්වලට කෑම අරන් යන ළමයි දෙන්නෙක් හම්බ වුණා. උන්ට කීවා ඉක්මණට ගිහින් වතුර ටිකක් අරන් එන්ඩ කියලා. අනිත් ළමයා ගමට යවලා බයිසිකලයක් හොයාගෙන එන්ඩ කියලා. දවස් හතක් ඇහැටුවැව ඉස්පිරිතාලේ නතර වෙලා ඉඳලා තමයි තුවාලය සනීප කරගත්තේ.

ඉතිං ඔය වාගේ ඇබැද්දිත් සිද්ධ වෙනවා. කුළු හරක් අල්ලන්න ගහන මදු කඩන්න, මදු ගලවන්න, මදු පූට්ටු කරන්න, වර මන්දෙනම් අඟ (ගෝණ අඟ) පො‍ළොවේ අල්ලන්න මන්තර තියෙනවා. ඒ වාගේම පයට තියෙන මිනිහට අන්නවන්න, කොඳු කුදු කරන්නත් මන්තර තියෙනවා. ඒ නිසා මදු තියන්න යන අය තමන්ගේ ආරක්ෂාවට ගම්මිරිස් ඇට හතක් අරන් ඒවා එකසිය අට වාරයක් ජප කරලා සුරයක දාගෙන අතේ බැඳගෙන තමයි ඒ කටයුතුවලට යන්නේ. ඒ වාගේම තමයි ගෙවල්වල අශුද්ධයක් නම් (කිල්ලට අසුවී) නම් කුළු හරක් .අල්ලන්න යන්නේ නෑ. ඒ වාගේම කිරිබත් කාලා, කුරුම්බා වතුර බීලා යන්නෙත් නෑ.

කුළු හරක් අනින්න එනකොට මන්තර මතුරනවා කීවනේ. මන්තරයක් දෙකක් කියමුද? මම යෝජනා කළෙමි.

ඕං... චන්ද්‍ර විල්ලු, සූරිය විල්ලු, ඉක්කන් විල්ලු, ඌමේ අම්මේ ආජෝ සිඩඩික්...

තල්ලු, විල්ලු, කිඩපල්ලු නාරායනේ දිරි දහඃ

ඕං... ආටුනි, ටාටුනි, වෙසමුනි, අංගුලිමාල ටුනි ඕඩුං අප්සේ ඕඩුං...

ඔය මන්තර තුනම කුළු හරක්ට වගේම වල් අලින්ටත් මතුරනවා. හැබැයි කිරි දෙන හරකුන්ට මතුරන්නේ නෑ. ඔය මන්තර ගුරුකම්, සෙත් කවි - වස්කවි, බලි තොවිල් ඔය වාගේ සෙත්කර්ම කරගෙන තමයි එදා අපි ජීවිත, භවභෝල රැකගත්තේ. තව ඉතිං අදෘශමාන බලවේගයත් අපේ පිහිටට රුකවරණයට හිටියා.

දවසක් මජ හේනේ පැල් රකිමින් හිටියා. ඒක බිම් පැලක්. කැත්ත හැරෙන්න වෙන ආයුධයක් නෑ. රෑ එකොළහට විතර මට ඇහැ පියවුණා. (නින්ද ගියා). මේං යක්ෂණියක් ළමයෙකුත් වඩාගෙන මගේ දිහා බලාගෙන හිනාවෙනවා. මං බය වුණා. විගහට නැගිටලා වාඩි වුණා. කැත්ත අතට ගත්තා. බලනකොට යක්ෂණී පේනඩ නෑ. මං දැකලා තියෙන්නේ හීනයක්. ඒත් ඒ වෙලාවේ හේනට ඌරෝ පැනලා. බඩ ඉරිඟු ගස් තලනවා. කෑ ගසනවිට උන් පැනලා දිව්වා. ඌරෝ කරන අසානාසිය (විනාශය) කියන්න තමයි අර හීනයක් පෙන්නුවේ. ඔය වාගේ දේවලුත් සිද්ධ වෙනවා.

වස් කවි- සෙත් කවි ගැනත් කියවුණු නිසා කියමුද බලන්න ඒ ලවාගේ කවියක් දෙකක් යි මම ඔහුට යෝජනා කළෙමි.

මේ සිද්ධීපය වෙලා තියෙන්නේ බොහෝම ඉස්සර මාත් දැනකියාගත්තෙ වැඩිහිටියෙකුගෙන්. පුරාණ එක්කෙනෙක් ඒ කවි කියනකොට මට කටපාඩම් වුණා. අපේ දිව්ල්ගනේ පන්සලේ කුකුලෙක් ඉඳලා තියෙනවා. මේ කුකුළා ළඟපාත ගෙදරක ඇති කරන කිකිළියක් ළඟට ගිහිං තියෙනවා. මිනිස්සු හතරදෙනෙක් කුකුළා මරලා මස් කාලා තියෙනවා. පන්සලේ හාමුදුරුවෝ වස් කවි, සෙත් කවි කියන්න දස්සයා. කීවා වස් කවි ටිකක්.

වැඩ සිට මහමෙර සිව්කොන බාරව සතර දිසාවට මුර කරමින්
කඩනුව ලෝකය අවනඩු බලනා කුවේර යක්සෙන්පත් උතුමන්
ඉඩහැර දින දින යතිඳුන් රැක දෙති කළ කාරිය දිවැසින් බලමින්
සැඩ කම්බිලි දෙවි උන්නාන්සේ මිස තෝරන්නට බැරි තිරසාරෙන්

ඇතිකරගෙන මම තනානේ සිටියේ හඬලා ගන්නටමයි තිස්සෙ
යතිගම දැකලා ගොදුරු සොයාගෙන දරා ගන්න බැරි මේ වැස්සේ 
කති ඔහු මරලා සිව්දෙන සැදිලි දරා ගන්න බැරි මේ වැස්සේ

අනේ මහත්තයෝ අනිත් පදේනම් දැන් මගේ සිහියට එන්නේ නෑ. කොහොමහරි ඔය වස් කවි කීවාට පස්සේ අර මනුස්සයන් හතරදෙනා හතර පැත්තට ගියා ගියාමලු. වෙච්ච දෙයක් අදටත් කවුරැත් දන්නේ නෑ.

වැව් ගම්මානවල ඇත්තන්ගේ වගතු, ජන සම්මත, සිරිත් විරිත්, කල්කිරියාවන් ගැන ඇබිත්තක් සටහන් තබන්නට අතීතයට මාව එකතුපහදු කරගෙන ගිය ඇන්. ඇම්. අප්පුහාමි ඇත්තන්ට ආයු - බෝ කියා මම උන්දැගෙන් සමුගත්තෙමි.

 සටහන හා පින්තූර - ගල්ගමුව නිහාල් ජයවීර

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00