අතීත දිසාපාමොක් ඇදුරුවරයාගේ ගෞරවනීය අාස්ථානයේ සිට වත්මන් ගුරුවරයා දක්වා විකාශනය වූ ගුරු පරපුර සමස්ත ජනතාවගේම බුහුමනට පත්වූ සමාජ ස්ථරයකි. ගුරුවරයා යනු අලුත් ශිෂ්ටාචාරයක් වෙතට ආලෝකය සපයන්නෙකි. පරපුරකට නව ජීවයක් දෙන්නෙකි. අලුත් යුගයකට අරුණැල්ලක් සපයන්නෙකි. එබැවින්ම ඔහු සමාජ සම්මානයට ලක්ව සිටියි.
වර්තමානයේදී ඇතැම් ගුරුන් සම්බන්ධයෙන් සමාජයට ප්‍රශ්න තිබෙන්නට පුළුවන. තමන්ගේ භූමිකාව පිළිබඳව යථාවබෝධයක් නොමැතිකම හෝ වෙනත් පටු පරමාර්ථ පෙරදැරි කොටගෙන කටයුතු කිරීමෙන් ඇතැම් ගුරුවරුන් ඒ තත්ත්වයන් උදාකරගෙන තිබේ. මීට දශක හය හතකට පමණ පෙරදී අපේ රටේ සිටි ගුරු පරපුර ගැන එවැනි නෝක්කාඩු, අවලාද නොනැගිණ. එකල අද තරම් පහසුකම්ද, සේවාද ඔවුනට නොතිබිණ. මඩකඩිති පැන, අලි, කොටි, වග වළසුන් ගැවසෙන කැලෑ මං දිගේ සැතැපුම් ගණන් පයින් සිය සේවා ස්ථානයට ගොස් කටුසර බෝග ආහාරයට ගෙන වසංගත රෝගවලට ගොදුරු වෙමින් වුවත් ඔවුහු මැසිවිලි නොනඟා සිය සේවය දරුවන්ට මැනවින් ඉටුකළහ.
ගමේ ඇත්තන්ගේ රසකතා අසන්නට මා අද කැඳවාගෙන ආයේ එවැනි පරණ ගුරුවරයෙකි. වර්ෂ 1929 පෙබරවාරි මස පහළොස් වැනි දින උපත ලබා ඇති ඔහු නමින් ජේ.එම්. මුදියාන්සේ ය. ගල්ගමුව, දෙමටෑව ගුරු නිවස ලිපිනයේ පදිංචි හෙතෙම ජීවිතයේ අසූ අට වැනි වියට පා තබන්න ආසන්නයේ සිටියි.
ඔබගේ පාසල් ජීවිතයේ සිටම කථාව පටන් ගනිමු යයි මම මුදියන්සේ ගුරුතුමාට යෝජනා කෙළෙමි.
ගල්ගමුව මඩදොඹේ කනිෂ්ඨ විද්‍යාලයෙන් තමයි මං මූලික අධ්‍යාපනය ලැබුවේ. ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය ලියන්න අනුරාධපුරයේ කරඹෑව විද්‍යාලයට ගියා. අපේ තාත්තාගේ අක්කා පදිංචිවෙලා හිටියා කරඹෑව ගමේ. එහේ ඉඳලා තමයි ඉස්කෝලෙ ගියේ. මං පළමු වැනි සැරේ විභාගය ෆේල් වුණා. මට හරියට පාසල් වැඩ කරන්න බැරිවුණා. ඒකට හේතුව තමයි නැන්දාගේ පුතාගේ වැඩවලට මාව සම්බන්ධ කර ගැනීම. ඒ අයියා ගඩොල් කපලා විකුණන එක තමයි කෙළේ. මටත් කරත්ත බැඳගෙන ගඩොල් අදින්න, දර අදින්න සිද්ධ වුණා. ඒ නිසා විභාගයට පාඩම් කරන්න කාලය නැතිව ගියා.
ඊට පස්සේ තාත්තා ඇවිත් මාව ගමට එක්ක ගිහින් නිකවැව දේවානම්පියතිස්ස මහා විද්‍යාලයට ඇතුළත් කළා. අපේ මුල් ගම කුඩාගාල වැව. ගමේ ඉඳලා නිකවැව ඉස්කෝලයට සැතැපුම් දොළහක් තියෙනවා. මං ඉස්කෝලයට ගියේ පාපැදියෙන්. උදේ හතට ගෙදරින් පිටත් වෙනවා. අට වෙනකොට ඉස්කෝලයට යන්න පුළුවන්. ඒ පාසලේ ඉගෙන ගෙන ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගයට ලීවා. මං පාස් වුණා.
ඒ කාලේ ගුරු පත්වීම් ලබාගන්න ලියාපදිංචි වෙන්න ඕන. මං අනුරාධපුර අධ්‍යාපන කාර්යාලයට ගිහින් ලියාපදිංචි වුණා. 1952 අවුරුද්දේ පෙබරවාරි මාසේ මට වැඩබලන උපගුරු පත්වීමක් ලැබුණා අනුරාධපුරයේ කාගම ජනපද කනිෂ්ඨ විද්‍යාලයට. පඩිය රුපියල් 108 ශත හයයි. කාගම පාසලට මං වගේම ගුරුපත්වීමක් ලබාගෙන ගුරුවරියක් ආවා. එයා ගම්පහ. අපි දෙන්නා ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වුණා. අපි දෙන්නා වැඩ කළේ අවුරුද්දක් විතරයි. අපේ වැඩ නතර කළා. වැඩබලන පත්වීම්නේ දුන්නේ.
ඊට පස්සේ නෝනාත් එක්ක මං අපේ ගමට ආවා. ගමේ කඩයක් දාගෙන වෙළෙඳාම් කළා. 1957 අවුරුද්දේ අපි දෙන්නටම ස්ථීර ගුරුපත්වීම් ලැබුණා. ඩබ්ලිව්. දහනායක මහත්තයා තමයි අධ්‍යාපන ඇමැති. අපි ගුරු පත්වීම් ගන්න ලියාපදිංචි වෙලානේ හිටියේ. ඒ ලියාපදිංචි සහතිකයට අනුව තමයි පත්වීම් දුන්නේ.
මට පත්වීම ලැබුණේ ඇලහැර බකමූණ කනිෂ්ඨ විද්‍යාලයට. නෝනාට පත්වීම ලැබුණේ අනුරාධපුරයේ මාවතවැව සිවලාකුලම පාසලටයි. බකමූණ ටිකක් ලොකු පාසලක්. සාපින් කියලා විදුහල්පතිවරයෙක් තමයි හිටියේ. එයාගේ නෝනත් ගුරුවරියක්. ඒ පාසලේ 11 ශ්‍රේණිය දක්වා පන්ති තිබ්බා. ගුරුවරු අට දෙනයි. බකමූණෙ කඳවුරක් තිබුණා ඒකෙ තමයි උපගුරුවරු නතරවෙලා හිටියෙ.
මම බකමූණ පාසලේ වැඩකළේ අවුරුද්දක් විතර කාලයක්. ඊළඟට මට වැඩබලන විදුහල්පති තනතුරක් ලැබුණා මැදිරිගිරිය මීගස්වැව ඉස්කෝලෙට. නෝනගෙ පත්වීමත් එහාට හදාගෙන අපි දෙන්නා මීගස්වැවට ගියා. 1962 අවුරුද්දේ දෙසැම්බර් මාසේ තිස් එක දක්වා ඒ පාසලේ වැඩ කළා. ඊළඟට මට ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයේ ගල්පිටිය විදුහලට ස්ථාන මාරුවක් ලැබුණා. එතැනින් දිවුල්ගනේ දිඹුලාගල විද්‍යාලයටත්, නිතලව කනිෂ්ඨ විද්‍යාලයටත්, මාරුවීම් ලැබුණා. නිතලව අවුරුදු හයක් වැඩකළා. 1970 අවුරුද්දේ මට ගල්ගමුව, බුල්නෑව කනිෂ්ඨ විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබුණා. එහේ අවුරුදු එකොළහක් වැඩකළා. 1981 අවුරුද්දේ ගල්ගමුව, මාකලානේගම කනිෂ්ඨ විද්‍යාලයට විදුහල්පති පත්වීමක් ලැබුණා. 1989 අවුරැද්දේ මං විශ්‍රාම ගත්තා.
ඔබ සේවය කරලා තියෙන පාසල් බොහොමයක් අදටත් දුෂ්කර ප්‍රදේශවල පිහිටලා තියෙන්නේ. එදා මීටත් වඩා අතිශයින් දුෂ්කර වෙන්ට ඇති නේද?*යි මම මුදියන්සේ මහතාගෙන් විමසුවෙමි.
මං සේවය කළ පාසල් අතරින් අති දුෂ්කරම පාසල තමයි මීගස්වැව විද්‍යාලය. ඒ වනවිට මැදිරිගිරිය ගොවිජනපද බිහිවෙලා නෑ. කවුඩුල්ලට විතරයි බස් වැඩකළේ. කවුඩුල්ලේ ඉඳලා සැතැපුම් දාහතක් තියෙනවා මීගස්වැවට. ඔය සැතැපුම් දාහතම පයින් යන්න ඕන. කරත්තයක් හම්බ වුණොත් ඒකේ නැගලා යනවා. ඒවා පාරවල් නෙමෙයි. කරත්ත පාරවල්. පාර දෙපැත්තේ කැලෑව. ඒවායේ වල් අලි, වලස්සු කෑගහනවා. හැබැයි මිනිස්සුන්ට කරදරයක් නෑ.
මුල්ම දවසේ ඉස්කෝලෙට යනකොට රෑ වුණා. නෝනයි මායි තව වැඩට පොඩි ළමයකුත් එක්ක ගියා. පාසලේ නිල නිවාසයක් තිබුණා. අපි ඒකේ නතර වුණා. බෙලෙක් තහඩු ගහපු එකම හෝල් එකක් තමයි පාසලට තිබුණේ. එකේ ඉඳලා අටට යනකම් පංති තිබ්බා. ළමයි පනස් අට දෙනයි. මීගස්වැව හා කුඹුකුනාවල ගම් දෙකේ ළමයි තමයි ඒ ඉස්කෝලෙට ආවේ. මුළු ඉස්කෝලයටම ගුරුවරුන් ලෙස හිටියේ නෝනයි මායි විතරයි. ගුරුවරු ආවත් රැඳෙන්නේ නෑ. එනවා යනවා. නෝනා පොඩි පංතිවලට ඉගැන්නුවා. මං ඉතිරි පංති ටිකට වැඩ කළා. සිංහල, බුද්ධාගම, ගණිතය, චිත්‍ර, ඉතිහාසය, භූගෝලය ඔය හැම විෂයක්ම මං ළමයින්ට ඉගැන්වුවා. හැබැයි ඉංග්‍රීසි විෂය නෑ.
ගෑනු ළමයි ඉස්කෝලයට ඇන්දේ පාට ගවුම්. එහෙම නැත්නම් හැට්ටයක් හා චීත්ත රෙදි කෑල්ලක්. පිරිමි ළමයි සරමයි, කමිසයයි. ගෝන හම්, මුව හම්වලින් හදාගත්ත බෑග්වල තමයි ළමයි ගල්කූරයි, ගල්ලෑල්ලයි දාගෙන එන්නේ. ඉහළ පංතිවල ළමයින් පොත් පාවිච්චි කළා. ගෑනු ළමයි ඉගෙන ගන්නේ වැඩිවියට පත්වෙන තුරු විතරයි. එතැනින් පස්සේ ටික කාලයක් ගෙදර නතර වෙලා ඉඳලා විවාහ වෙනවා. පිරිමි ළමයි කැත්තේ උදැල්ලේ වැඩ කරන්න පුළුවන් වුණාම පාසල් හැර යනවා. ඉහළ අධ්‍යාපනයක් ලබන්න කැමැති නෑ. සමහරවිට දරුවන් හැදෙන පරිසරය අනුව එහෙම වෙන්න ඇති. මව්පියන්ටත් ඒ ගැන උනන්දුවක් නෑ. අපි කොච්චර කීවත් අහන්නේ නෑ.
ජීවිතයේ අමතක නොවන සිදුවීම් පවා ඔය අතර ඇති නේදැයි මා විමසූ පැනයට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි.
මීගස්වැව පාසලේ වැඩකරපු කාලයේ පඩිගන්න හිඟුරක්ගොඩට එන්න ඕන. තැපැල් කන්තෝරුවෙන් තමයි පඩිය ගෙව්වේ. මුද්දරයක් පිට අත්සන් කරලා මගේ පඩියයි, නෝනාගේ පඩියයි දෙකම ගන්නවා. එක්කෙනෙකුට මාසයකට ලැබුණේ රුපියල් 135ක වැටුපක්. මීගස්වැවේ සිට කවුඩුල්ලට පයින් යනවා. ඒ යනකොට කවුඩුල්ල ඔය හම්බවෙනවා. ඔය හරහා පාලමක් නෑ. ඔයෙන් එගොඩවෙලා ඇඳගෙන යන ඇඳුම් මාරැ කරලා වෙන ඇඳුම් ඇඳගෙන කවුඩුල්ලට ඇවිත් බසයක නැගලා හිඟුරක්ගොඩට එනවා. ආපහු යනකොටත් එහෙමයි. හරි දුෂ්කර ජීවිතයක් ගත කළේ.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එනවාත් අඩුයි. පාඨශාලා පරීක්ෂකවරුත් අවුරුද්දකට සැරයක් එනවා. ඒ එනකොට පාසලේ ගොඩනැගිලිවල හුණු එහෙම ගාලා තියන්න ඕන. ඒකට මුදලක් දෙනවා. ගම්මුන් මගින් ඒ කටයුතු කරනවා. ඒ අයට කෑම ටික හොඳට හදලා තියෙනවා. ගමේ අයට කීවාම ඒවා කරලා දෙනවා. පාපැදිවලින් තමයි ඒ නිලධාරිනුත් එන්නේ.
එක වතාවක් පාඨශාලා පරීක්ෂකවරයෙක් ස්කූටරයකින් ආවා. කරත්ත පාරවල්නේ. වැල්ලේ එරි එරී කොහොම හරි ඇවිත්. ආපහු යනකොට ස්කූටරයයි, පාඨශාලා පරීක්ෂකවරයයි ගොන් කරත්තයක පටවලා කවුඩුල්ලට ගිහින් ඇරලුවා.
ඒ කාලේ ඔය ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවගේ ජීවන රටාවලත් විශේෂතා තියෙන්න ඇති නේද? යි මම විමසුවෙමි.
මිනිස්සු ශීලාචාරකමින් ටිකක් අඩුයි. ඒ වුණාට අහිංසකයි. ඒ අයට ඇඳුම් පැළඳුම් ගැන විශේෂයක් නෑ. සමහර කාන්තාවන් උඩට හැට්ටවත් ඇන්දේ නෑ. රෙදි කෑල්ලක් කරේ දා ගන්නවා. හේන්-කුඹුරු තමයි වගා කළේ. කුඹුරුවලත් නඟුල් දාගෙන හාන්නේ නෑ. හරක් ගෙන මඩවනවා. වී කෙටුවෙත් බිම දාගෙන. බිම්මලේ කොටනවා කියන්නේ ඒකට. මගේ දුවලා දෙන්නම ඉපදුණේ මීගස්වැවේ ඉද්දි. ඒ කාලේ අපේ නෝනාත් බබාලා ලැබෙන්න ඉන්නකොට වී කොටන්න යනවා.
ගම් දෙක වටා තිබුණේ මහා වනාන්තර. ගමේ අය ඒ කැලෑවට දඩයමේ යනවා. මී කඩන්න යනවා. දඩයම් කළාම අපටත් දඩමස් ගෙනත් දෙනවා. වේලපු දඩමස් රාත්තලක් ශත පනහයි. ඒත් කවදාවත් මගෙන් සල්ලි අරන් නෑ. මේ ගම්වල එදා හිටපු අයට බේත් ටිකක් ගන්ඩ ඕන වුණාමත් කවුඩුල්ලට යන්ට ඕන. අමාරුම ලෙඩකට බේත් ගන්න ගියත් පොඩි පොඩි රෝගවලට ඒ අයම බේත් හදාගන්නවා.
එහේ ඉද්දි ගොවිතැන් කටයුතුවලට ඔබ සම්බන්ධ වුණේ නැද්ද?යි මම ඇසුවෙමි.
මොකද නැත්තේ. මම හේන් කළා. කුඹුරු කළා. කන්න තුනක් හේන් කළා. හේන් කපලා පුච්චලා වී වපුරනවා. හේන්වල වැපුරුවේ දික් වී කියන වී වර්ගය. වී බුසලක් වැපුරැවොත් වී බුසල් පනහක, හැටක අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ කාලේ වී බුසලක් විකිණුවේ රුපියල් දොළහට. ගමේ අය මට උදව් කළා. කැලේ කපලා පුච්චලා දෙනවා. මම ඒ අයට කෑමබීම වලින් සංග්‍රහ කරනවා. කුලියක් ගන්නේ නෑ. එහෙම ක්‍රමයක් තිබුණෙත් නෑ. හැබැයි මම පැල් රකින්න ගියේ නෑ. ඒකට කෙනෙක් යොදවනවා. රූකට ශත පනහක් මං එයාට දෙනවා.
මම එහේ කුඹුරු අක්කර දෙක තුනක් සල්ලිවලට අරන් තිබුණා. අක්කර භාගයක් රුපියල් පනහ බැගින් තමයි මිලදී ගත්තේ. මිනිස්සු බැරි අමාරුකම් වුණාම මගේ ළඟට සල්ලි හොයාගෙන එනවා. කුඹුරු උගස් කරනවා. විකුණනවා. ඒ කුඹුරුවල වැඩකරන කාලයට මං අපේ ගමෙන් කට්ටිය අරන් ගිහින් වැඩ කරවනවා. එහෙම අරන් ගිය දෙන්නෙක් ඒ ගමෙන්ම ගෑනු අරන් එහේම බින්න බැස්සා.
මීගස්වැවේ ඉද්දි මම කරත්තයක් මිලදී ගත්තා. ගොන් බානටයි, කරත්තයටයි දෙකටම රුපියල් 500යි දුන්නේ. මං ආපහු එනකොට ගොන් බාන රුපියල් 500කට හා කරත්තය රුපියල් 250කට විකුණලා ආවා. ඒ කාලේ කරත්තයක් තියෙනවා කියන්නේ අද හැටියට කාරයක් තියෙනවා වගෙයි.
ගුරු ජීවිතයේ මම ගොඩක් අත්දැකීම් ලැබුවේ මීගස්වැව පාසලේ සේවය කරද්දි. 1959 අවුරුද්දේ විතර හර්තාලයක් ආවා. සතියක් විතර පාසල් වැහුවා. මහවැලි ගඟ ගලා යන්නෙත් මීගස්වැවට ටිකක් දුරින්. අපි ළමයි සමඟ (ඔහුගේ දරුවන්) මහවැලි ගඟ කිට්ටුවට ගිහින් දවස් කිහිපයක් ගත කළා. ඒ ගඟ කිට්ටුව හරක් පට්ටි තියෙනවා. ඒවායේ වාඩියක තමයි නතර වුණේ. කරත්තයෙන් තමයි ගියේ. එළහරක් පට්ටි තමයි තිබුණෙ. අපට ඒ අය හොඳට සංග්‍රහ කරනවා. කිරි බොන්ඩ දෙනවා. මුදවපු කිරි ගේන්ඩ දෙනවා.
ඔය මහවැලි ගඟ අයිනේ දුම්කොළ වගාකරන්න මඩකලපුවෙන් මිනිස්සු එනවා. මඩකලපුවේ සිට එන්නේ කරත්තවලින්. ඒ අය වගාවට ගඟෙන් වතුර ගත්තේ හරි අමුතු ආකාරයකට. සවල ගහනවා කියලා තමයි ඒකට කියන්නේ. මයින හමක් වගේ එකක්. ඒකට ලණුවක් දාලා උඩ රෝදයක් වගේ එකකට සම්බන්ධ කරලා තියෙනවා. ගොන් දෙන්නෙක් බැඳගෙන අර ලණුව අදින කොට වතුර පිරුණ මයින හම වගේ එක උඩට ගිහින් වතුර ඇළට වැටෙනවා. ආපහු ගොන් දෙන්නා පස්සට දක්කන විට මයිනහම වගේ එකට වතුර පිරෙනවා. ඉස්සරහට දක්කන කොට ගඟේ ගිලුන සවල උඩට එනවා. ඔය විදිහට තමයි ඒ අය වතුර ගත්තේ. අද වාගේ වතුර මැෂින් නෑනේ.
මීගස්වැව පාසලේ වැඩකරපු කාලය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මං එහෙන් එනකොට ඒ ගමේ මිනිස්සු මට කිරි එළදෙනෙක් තෑගි දුන්නා. මෙහාට ගේන්න බෑනේ. මම ඒ එළදෙන ඒ අයටම දීලා ආවා. මම සල්ලිවලට ගත්ත කුඹුරුත් ඒ අයිතිකාරයන්ටම දුන්නා. සල්ලි ගත්තේ නෑ. අදටත් මීගස්වැවේ මිනිස්සු මාව බලන්න මෙහාට එනවා.
මීගස්වැව පාසලේ සේවය කරද්දි මගේ නෝනා රෝගාතුර වුණා. එයාට නැවත සේවය කරන්න බැරිව ගියා. අන්තිමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව එයාගේ සේවය අත්හිටවූවා. අවුරුදු තිස් දෙකක්ම එයා රෝගාතුර වී ඉඳලා මියගියා.
ගුණ නැණ බෙලෙන් සපිරි දරු පරපුරක් දැයට දායාද කිරීමට අනේක විඳ දුක්කම්කටොලු විඳිමින් කටයුතු කොට, ඒවා අද දින මෙනෙහි කරමින් ආත්ම සතුටක් විඳින මේ විශ්‍රාමලත් ඇදුරුතුමාට චිර ජීවනය පතා මම ඔහුගෙන් සමුගත්තෙමි.
ගල්ගමුව නිහාල් ජයවීර