2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

සම්මාන ලැබෙන පොත් විකුණන්න අපට බැහැ

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 183

රාජ්‍ය සහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන්ත හේරත්

රාජ්‍ය සාහිත්‍ය උත්සවය සැප්තැම්බර් 8 දා සවස 4.30ට කොළඹ  නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය. ක්ෂේත්‍ර 19 කට අයත් සිංහල, ඉංග්‍රීසි හා දෙමළ බසින් රචිත ග්‍රන්ථවලට මෙහිදී සම්මාන පිරිනැමේ. එය සංවිධානය කරන්නේ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය සංස්කෘතික කටයුතු හා වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යංශය විසිනි. උපදේශක මණ්ඩල සභාපති මහාචාර්ය සමන්ත හේරත් අප සමඟ සංවාදයට එක්වූයේ මෙලෙසය.

රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය කියන්නේ මොකක්ද?

කලින් තිබුණේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සංස්කෘතික අමාත්‍යංශය හා කලා මණ්ඩලය යන ආයතනවලට අයත්ව සාහිත්‍ය අනුමණ්ඩලය ලෙසටයි. පසුගිය කාලයේ ඒ ව්‍යුහය වෙනස් වෙනවා අමාත්‍යංශවලට අදාළ ආයතන බෙදීමත් සමඟ. ඒ නිසා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව රාජ්‍ය සාහිත්‍ය, සංගීත, නාට්‍ය වගේ උත්සව පැවැත්වීමට විධිමත් ව්‍යුහයක් සකස් කරගෙන තිබෙනවා. ඒ යටතේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවැත්වීම බාරවෙලා තිබෙන්නේ සාහිත්‍ය උපදේශක මණ්ඩලයටයි.

මෙම උපදේශක මණ්ඩලයේ කාර්යභාරය ගැන කිව්වොත්?

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මූල්කරගත් ඇගැයීම් කටයුතු මෙහෙයවීම, උත්සවය සංවිධානය කිරීම හා සාහිත්‍ය සම්බන්ධ වෙනත් ප්‍රවර්ධන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙහෙයවීම ආදියයි.

රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයක් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තිබෙනවා නේද?

එහෙම තියනවා කියලා කියනවා.

සංස්කෘතික අමාත්‍යංශයට තමයි කලා මණ්ඩලය හා සාහිත්‍ය අනුමණ්ඩලය කලින් අයත්ව තිබුණේ. නමුත් කලා මණ්ඩලය දැන් වෙනත් අමාත්‍යංශයකට පවරලා?

ඔව්. දීර්ඝ කාලයක් තිස්සේ සංස්කෘතික අමාත්‍යංශය සතුව තමයි ශ්‍රී ලංකා කලා මණ්ඩලය පැවතුණේ. සාහිත්‍ය අනුමණ්ඩලය පැවතුණේ කලා මණ්ඩලය යටතේ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තමයි කලා මණ්ඩලය හා අනුමණ්ඩල සමඟ එක්වරාජ්‍ය සාහිත්‍ය, සංගීත, නාට්‍ය වගේ උත්සව සංවිධානය කළේ.

පසුගිය කාලයේ කලා මණ්ඩලය සංස්කෘතික අමාත්‍යංශයෙන් බැහැරව අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත් කළා. මේ නිසා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට කලා මණ්ඩලය සමඟ තිබුණු ඓන්ද්‍රිය සම්බන්ධය ගිලිහිලා ගියා. මේ නිසා මෙම ආයතන ව්‍යාකුලත්වයකට පත්වෙලා තිබෙනවා.

මේ අවුල ගැන බලධාරීන්ටපෙන්වා දුන්නද?

අප වරින් වර පෙන්වා දී තිබෙනවා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ තිබුණු ආයතන අධ්‍යාපන අමාත්‍යංශයට පැවරීම එතරම් ප්‍රඥාගෝචර නොවන බව.

මෙලෙස කලා මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යංශයට පැවරීම සාහිත්‍ය කලා කටයුතුවලට බාධා කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගයක් බවට සමහරු චෝදනා කරනවා? 

රජයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන විදිහ ගැන විශේෂ ප්‍රකාශ නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බව මම හිතන්නෙ නැහැ. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මම අපට කළ හැකි සහ පැවරිලා තිබෙන කාර්යභාරය ඉටුකරදීමට මහන්සි වෙනවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා කලා මණ්ඩලය ඇතුළු අනුමණ්ඩල සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් විය යුතු බව.

පත් කර තිබෙන උපදේශකමණ්ඩලවලින් අනුමණ්ඩලවලින් වූ සේවය වෙනවද?

මේවා සක්‍රිය මණ්ඩල. අපි ඒවායෙහි නියුක්ත වෙනවා. එම කටයුත්ත අපේ වැඩක් ලෙස සලකා ඉටු කරනවා.

නුදුරේදී පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය උත්සවයට දැන් සූදානම්ද?

ඔව්. රාජ්‍ය සාහිත්‍ය උත්සවයට වර්ෂයකට භාෂා තුනෙන්ම පළවන පොත් 1600 – 1700 ක් වගේ ප්‍රමාණයක් ඇතුළත් කර ගන්නවා. රාජ්‍ය සාහිත්‍ය සම්මානවලදී නිර්මාණ සාහිත්‍ය වගේම ශාස්ත්‍රිය අංශවලටත් භාෂා තුනෙන්ම සම්මාන පිරිනමනවා. මෙය ඉතා පුළුල් එකක්. විනිශ්චය කිරීමේදී ඉතා විධිමත් නිර්ණායක සහිත ක්‍රමවේදයක් යොදා ගන්නවා. අපි එය සකස් කළේ 2010 දී. මෙවර විනිශ්චය මණ්ඩලවලට සාමාජිකයන් 160 ක් පමණ සහභාගි කර ගත්තා. කතුවරයා නොව කෘතිය පමණක් සලකා බලන ලෙසඔවුන්ට උපදෙස් දී තිබෙනවා.

2010 – 2014 දක්වා සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මම සිටි නිසාත් ඒ කාලයේ සම්මාන ගැන වගකීම ගැනීමට පුළුවන්. 2016 අවුරුද්දේ පොත්වලට මෙවර ලබාදෙන සම්මාන ගැනත් මම වගකීම ගන්නවා. අපි අනුගමනය කරපු විධිමත් ඇගැයීම් නිසා ඒ කාලයේ චෝදනා එල්ල වුණේ නැහැ.

කිසිම චෝදනාවක් ආවේ නැද්ද?

පුවත්පත්වලට ලිපි ලියන ඇතැම් උදවිය විවේචන එල්ල කළා. නමුත් සාධනීය මට්ටමේ කරුණු සහිතව සම්මානවල වැරදි ගැන කිසිම අවස්ථාවක විවේචන එල්ල වුණේ නැහැ. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සෞම්‍ය සඳරුවන් ලියනගේ වගේ තරුණ කවීන් ඉදිරියට ආවේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිසයි.

විනිශ්චය මණ්ඩලවලට කිසිම බලපෑමක් එල්ල වන්නේනැද්ද?

මොන විදිහකටවත් බලපෑමක් නැති බවට 100% ක් විශ්වාසයි.

සම්මාන උත්සව අතරින් හොඳම විනිශ්චය ලැබෙන්නේ රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ දී බවද ඔබ කියන්නෙ?

අනෙක් සාහිත්‍ය උත්සවවල එහෙම නොකරන බව පවසනවා නොවේ. නමුත් රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ සම්මාන ගැන වගකීමෙන් පැවසිය හැකියි. එය 100% ක් අපක්ෂපාතී තීරණයක් බව. අදාළ වර්ෂයේ කිසියම් කෙනෙක් ඕනෑම ක්ෂේත්‍රයක කෘතියක් පළ කර තිබේ නම් ඔවුන් පවා අප කිසිම විනිශ්චය මණ්ඩලයකට සම්බන්ධ කරගන්නෙ නැහැ. ඉතා කලාතුරකින් තම කෘතිය විනිශ්චයෙන් ඉවත් කර ගන්නා බව සාහිත්‍යවේදියා පැවසූ අවස්ථාවේ ඔවුන් ඇතුළත් කර ගැනීම සිදුවෙනවා.

සාහිත්‍යයේ විවිධ කල්ලි ගුරුකුල දක්නට ලැබෙනවා?

ඔව්. එවැනි කිසිම කල්ලියකට අයත් කෙනෙක් අප විනිශ්චය මණ්ඩලයට පත් කරන්නේ නැහැ.

ක්ෂේත්‍ර රාශියකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබෙනවා. නමුත් මේ උසස් කෘති ජනතාව අතරට යාම අඩුයි නේද?

වෙනත් සාහිත්‍ය උත්සවවල සම්මාන ලැබෙන පොත් ජනගත කිරීම, ඒවාට ප්‍රචාරණයක් ලබාදීම, පොත් අලෙවි කිරීම බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයට ප්‍රශස්ත පොත් තෝරා සම්මාන දෙනවා මිස ඒ පොත් විකිණීමේ ක්‍රමවේදයක් හදන්න බෑ. ලේඛකයන් සහ ප්‍රකාශකයන් මේ සම්මාන උපයෝගී කරගෙන එම පොත් විකිණීමේ ක්‍රමවේද අනුගමනය කරන බව පේනවා. ඒවා ජනතාව අතරට යනවාද නැද්ද කියන එක වෙනම කාරණයක්. නමුත් වාණිජ පරමාර්ථයෙන් තොරව මේ ගැන ජනතාව දැනුවත් කළ හැකි නම් ප්‍රශ්නයක් නැහැ. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය කියන්නේ වාණිජ පරමාර්ථ තියන ආයතනයක් නොවෙයි. ඒ නිසා පොත් විකිණීමේ අරමුණින් ඒවා ජනතාව අතරට ගෙන යාමට අපට බැහැ.

 කුසුම්සිරි