හැත්තෑව දශකයේ අන්තිම කාලෙදි ලංකාවට ත්‍රීවිල් ආවම අපේ අයියලා බයෙන් තැති අරන් හිටියේ රෝද තුනක් උඩ වාහනයක් බැලන්ස් කරගන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරිවයි. ඒ වෙනකොටත් රෝද දෙකේ මෝටර් සයිකල් රට පුරා තිබුණත් රෝද තුනේ වෙනස අපේ අයට අමුතු එකක් වුණා.
මේ “අමුතු” ඇහැ ත්‍රීවීල් වලට විතරක් නෙමෙයි සමාජෙ තියෙන හැමදේකටම එල්ල වෙලා තියෙනවා. කොටින්ම අපි සංස්කෘතියක් විදිහට වෙනස් දෙයක්, ‘අමුතු’ දෙයක් විදිහට දකින සමාජයක්. සමලිංගිකත්වයට පහරගහන සංස්කෘතියක් අපේ රටේ ඇතිවෙලා තියෙන්නෙත් ඒ හින්දමයි.
සමලිංගිකත්වය... ලංකාවෙ විෂම ලිංගික කුහක බහුතරයකට අනුව සමලිංගිකත්වය කියන්නේ මහා පරිමාණ විකෘතියක්. මේ අය ඒකට විකෘතිය කියලා කියන්නේ, විෂම ලිංගිකත්වය එහෙමත් නැත්නම් සරලව කිව්වොත්, ගෑනියෙකුයි පිරිමියෙකුයි ලිංගිකව එක්වන කටයුත්තක් විතරයි ප්‍රකෘතිය කියලා විශ්වාස කරන හින්දයි.
හැබැයි ඔය අදහසට වතුර කොම්පෝස්ට් දාලා දලු දාලා වැඩෙන්න ඉඩදෙන්නේ අපේ මේ දෙදාස් පන්සියක් වටින සාරධර්මවලින්ම තමයි. මිනිසත්කමට වඩා සාරධර්ම රකින්න ඕන නිසා, සමලිංගිකයන් ගැන කතාකරද්දි එක්කො සමහරු රෙද්ද උස්සගෙන එනවා. සමහරු මඟ හරිනවා. තවත් සමහරු ඉකේයියා ගානවා. ඔය මොක කළත් ඒකෙන් පේන්නෙ සමලිංගිකත්වය කියන්නෙ මොකක්ද කියලා හරියට කියවගන්න බැරිවෙච්ච සමාජයක අපි ජීවත්වෙනවා කියන එකයි.
ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි කොල්ලෙක් සහ කොල්ලෙක් අතර එහෙමත් නැත්නම් කෙල්ලක් හා කෙල්ලක් අතර ඇතිවන මේ විදිහෙ සම්බන්ධෙක එකම දේ සෙක්ස් කියන එක. එහෙම හිතනවා කියන එකෙන්ම කියවෙන්නෙ සමලිංගිකත්වය ගැන හෝ සමලිංගිකයන් ගැන හාන්කවිසියක ඥානයක් නැහැ කියන එකයි. ඕක තේරුම්ගන්න පුළුවන් වෙන්නෙ සමලිංගිකත්වය කියන දේ විෂම ලිංගිකත්වය එක්ක පොඩ්ඩකට සංසන්දනය කරලා බැලුවමයි.
අපි සමලිංගිකත්වය ගැන කතාකරන්නෙ සෙක්ස් පැත්තට විතරක්ම බර දීලා නම් විෂම ලිංගිකත්වය ගැනත් ඒ විදිහටම කතාකළ යුතුයි. එහෙනම් අපි කසාද බඳින්නෙත් සෙක්ස් හින්දා විතරයි. හැබැයි කසාද බැඳලා හොඳ ජීවිතයක් ගෙවන අය වගේම කසාද ජීවිතයක් ගැන සුබ සිහින දකින ඕන කෙනෙක් දන්නවා, දෙන්නෙක් එකට එකතුවෙලා ජීවිත කාලයක් ගත කරන එකේ ප්‍රධාන අරමුණ සෙක්ස් නොවන බව. සෙක්ස්වලට එහා ගිය අපූරු බැඳීමක් එතන තියෙනවා. එකිනෙකා වෙනුවෙන් දුකේදී සැපේදී එකට ඉන්න එක, විශ්වාසය, අන්‍යෝන්‍ය ගෞරවය වගේ ගොඩක් කාරණා කසාදයක් ඇතුළෙ තියෙනවා.
සමලිංගික සම්බන්ධතාවයක් ඇතුළෙදිත් ඒක එහෙම්මමයි. (මෙතැනදි සමලිංගිකයින් විදිහට අදහස් කරන්නෙ සමහර විට විෂම ලිංගිකයන් විදිහට ඉන්න ගමන් විනෝදයට සමලිංගික ඇසුරක් පවත්වන අය ගැන නම් නෙමෙයි). සමලිංගික කොල්ලෙක් තමන්ගේ කොල්ලා එක්ක පවත්වන සම්බන්ධය සෙක්ස් සම්බන්ධයක් විතරක් කියලා පටු විදිහට දකින්න නරකයි. කෙල්ලෙක් සහ කොල්ලෙක් අතර තියෙන සම්බන්ධයම ඊට සමානව එතැන තියෙනවා. ඒකත් ආදර සම්බන්ධයක්. එහෙම නැත්නම් සමලිංගික කොල්ලෙක් තමන්ගෙ කොල්ලව බෝයි ෆ්‍රෙන්ඩ් කියලා හඳුන්වන්න ඕන නෑ. කෙල්ලෙක් තමන්ගෙ කෙල්ලව ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා හඳුන්වන්න ඕන නෑ. ඒ වෙනුවට සෙක්ස් පාට්නර් කියන්න තිබුණනෙ. තමන්ගෙ සහකරුවා/ සහකාරිය එක්ක Growing old together සිහිනය එයාලටත් තියෙනවා.
ජීවිතයේ කවරදාකවත් දෙමළ මනුස්සයෙක් එක්ක වචනයක්වත් කතාකරලා නැති සිංහල මිනිස්සු දෙමළුන්ට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා අහනවා. සමලිංගිකයන්ට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නෙත් ඒකම තමා. මෙතැනදි වෙන්නෙ සමලිංගිකත්වය කියන්නෙ මොකක්ද සමලිංගික පිරිමින් කාන්තාවන් හිතන පතන විදිහ මොකක්ද කියලා අබමල් රේණුවක දැනීමක් නැති අය සමලිංගිකයෝ කියන්නෙ විකෘතියක් කියලා කෑ ගහන එකයි.