2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ක්‍රිකට් වළේ මණ්ඩලේ ගොඩ

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

ඉපනැල්ල ඉස්කෝලේ මහත්තයාගේ බාල පුත්‍රයා වන සංජීව, ඇඳේ වකුටුගැහී නිදා සිටියේය. ඒ දුටු ඉස්කෝලේ මහත්තයා සිය බිරිඳ ඇමතීය.

“මොකද මේ පුතා නිදාගෙන ඉන්න විදිහ... ගැමුණු කුමාරයා වගේ?”

“මැච් එක පැරදුණාටනෙ.”

“මැච් පරදින පරදින ගාණෙ නිදාගන්ඩ ගියොත්, ලංකාවෙ එවුන්ට ජීවිත කාලයෙන් තුනෙන් එකක්ම නිදාගෙනම තමයි ඉන්ඩ වෙන්නෙ.”

ඉස්කෝලේ මහත්තයා, පුතාගේ පිටට තට්ටුවක් දමා ඔහු අවදි කළේය.

“නැගිටිනවා. මේ අවේලාවෙ නිදාගන්න එක මහ මූසලයි.”

සංජීව, අමනාපයෙන් මෙන් ඇඳේ හිඳගත්තේය.

“මොකද්ද පුතේ ප්‍රශ්නෙ. මැච් එක පැරදුණාටද?”

ඉස්කෝලේ මහත්තයා කාරුණික ස්වරයෙන් ඇසුවේය.

“පැරදුනාටනං කමක් නෑ කියමුකො තාත්තෙ. වර්ල්ඩ් කප් එකට, ඔටෝ එන්න තිබ්බ චාන්ස් එකත් නැතිවුණානෙ.”
සංජීව හැඬුම්බරව කීවේය.

“පුතා ඕව ගණන් ගන්ඩ එපා. ක්‍රිකට් බෝඩ් එකේ කට්ටියත් ලස්සනට හිනාවෙවී උත්තර දෙන්නෙ. අපි මොකටද ඕවා ඔළුවට අරන් දුක්වෙන්නෙ.”

“ඒ වුණාට තාත්තෙ, දැන් අපි පොඩි ටීම්ස් එක්ක ගහලා ආයෙත් උඩට එන්න එපායැ. ලංකාවෙ ක්‍රිකට් බින්දුවටම වැටුණා.”

“ඉතින් ඒක හොඳයිනෙ. පොඩි ටීම්ස් එක්ක ගහනකොටවත් දිනන්න බැරියැ.”

“ඒකත් ෂුවර් නෑ තාත්තෙ. ඇෆ්ගනිස්ථානෙටත් පරදින සයිස් එකක් තමයි තියෙන්නෙ.”

සංජීව, යළිත් ඇඳේ වැතිර වකුටු වුණේය.

ඉපනැල්ල මහතාගේ නිවසේ පමණක් නොව ලංකාවේම තත්ත්වය මෙබඳුය. කන්තෝරුවලත් වැඩක් කෙරෙන්නේ නැත. හැමතැනම (ඔටෝ පරාජය) පිළිබඳ නොයෙක් කතාය.

ක්‍රිකට් යනු ක්‍රීඩාවකි. ජය පරාජය යනු ක්‍රීඩාවේ ස්වභාවයයි. එකදිගටම පරාජය වීම නම් එහි සාමාන්‍ය ස්වභාවය නොවේ. එහෙත් තරග කීපයක් හෝ තරගාවලියක් පරාජය වීම පුදුමයට කාරණයක් වන්නේ නැත.

ක්‍රිකට් යනු ජයගත යුතුම ක්‍රීඩාවකි යන අදහස අපේ රටේ තරැණ හා ගැමි ජනකොටස් අතර මුල්බැසගත්තේ, ලෝක කුසලානය දිනාගත් පසුය. ඉන්දියාවත්, ඕස්ට්‍රේලියාවත් හැමදාමත් අපට පරාජය විය යුතු යැයි ඔවුන් කල්පනා කරන්නට පටන් ගත්තේ ඊට පසුවය. අනිත් අතට, ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති ගැනවත් දැන නොසිටි ජනයා පවා, ක්‍රීඩා විචාරකයන් බවට පත්වූයේ රූපවාහිනිය මගින් තරග විකාශන ආරම්භ කළ පසුවය. නිවසේ සිටම තරග නරඹමින්, ක්‍රීඩකයන්ගේ දුර්වලතාවලදී ඔවුනට ගොනා, බූරුවා, මෝඩයා යනුවෙන් බැණවදින ප්‍රේක්ෂක ජනතාවක් බිහිවූයේද ඒ අනුසාරයෙනි.
දැන් ඉතින් සියල්ල අවසානය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අභාවප්‍රාප්තය.

මළවුන්ට පණදීම සක්කරයාගේ පුතා වයිමාටවත් කළ නොහැකි දෙයකි. එහෙත් එය කළ යුතුව ඇත.

බලාපොරොත්තු බිඳවැටී, දුක්මුසු ජීවිත ගත කරන ශ්‍රී ලාංකිකය ජනතාව, නොමිලේ සතුටක් ලැබූ මාර්ග දෙකක් තිබුණි. එකක් ටෙලිනාට්‍යය. අනෙක ක්‍රිකට්ය. දැන් දෙකින් එකක් හාන්සිය! ටෙලිවිෂන් යන්ත්‍ර දකින විටත් යකා නගින නිසා, ටෙලිනාට්‍ය නැරඹීමත් කලකට එපාවීමට ඉඩ තිබේ.

අවුරුදු දෙදහස් පන්සීයකටත් වැඩි ෙප්‍රෟඪ ඉතිහාසයක් ඇති රටක ජනතාව, සුද්දා දුන් ක්‍රීඩාවක් නිසා මෙසේ උකටලීව, දුර්මුඛව, දෝමනස්සව සිටීම ඉතා කනගාටුදායකය.

දැන් එළැඹී තිබෙන්නේ, නැති වී ගිය ඔටෝවවත් යළිත් අත්පත් කරගැනීමට උත්සාහ කිරීමය. ඒ සඳහා නව උපාය මාර්ග සැලසුම් කිරීමය.

අපේ පළතේ, ක්‍රිකට් සමාජයක් මගින් කළ සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැවත ගොඩගැනීම සඳහා ජනතාවගෙන් යෝජනා වූ අදහස් කීපයක් පහත දක්වමි.

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්විය යුතු නැත. ඔවුන් තුළින්ම ක්‍රිකට් කණ්ඩායම තෝරාගත යුතුය. එමගින්, තරග නැරුඹීම සඳහා වරින් වර විදේශ සංචාරයෙහි යෙදුණු මහත්වරැනට තම අත්දැකීම් ප්‍රයෝජනයට ගත හැකිය. (මැච් ෆික්සින්) සබඳතා ඇති අය වේ නම්, එයින්ද ප්‍රයෝජන ගෙන තරග දිනවිය හැකිය.

ශ්‍රී ලාංකිකයන් නොවන අයටද, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩදිය යුතුය. (මේ සඳහා, රගර් කණ්ඩායම්වලින් උපදෙස් ගත හැකිය.)

ආපදා අවස්ථාවලදී යොදාගැනීම සඳහා, විශ්‍රාමලත් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ආධාරක කණ්ඩායමක් සූදානමින් තැබිය යුතුය. අරවින්ද ද සිල්වා, මුරලිදරන්, සංගක්කාර, මහේල, සනත්, කළුවිතාරණ, වාස් වැනි අය ඒ සඳහා යොදාගත හැකිය.

එක්දින තරග නායකත්වය සඳහා අර්ජුන රණතුංගත්, ටෙස්ට් තරග සඳහා තිලංග සුමතිපාලත්, විස්සයි විස්සේ තරග සඳහා දයාසිරි ජයසේකරත් පත් කළ යුතුය. (ඔවුන්ගේ නිලබල හා දේශපාලන බල යොදා තරග ජයගැනීම මෙහි අරමුණයි.)

දිගින් දිගටම පරාජය වූ ක්‍රිකට් ක්‍රීඩකයන්ට දඬුවම් වශයෙන් ඔවුන්, ක්‍රීඩාංගණයන්හි වැහි ආවරණ ඇදීම සඳහා යෙදවිය යුතුය. ඔවුන් ලැබූ සියලුම මුදල් දීමනා, සමාජ සේවා කටයුතු සඳහා බාරදිය යුතුය.

විරාට් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනිට, ශ්‍රී ලංකාවේ තරග කිරීම තහනම් කළ යුතුය.

කලක් ගතවන තුරු (තත්ත්වය යහපත් වනතුරැ) ක්‍රිකට් තරග විකාශනය නතර කළ යුතුය. ප්‍රේක්ෂකාගාර, පොලීසියට පමණක් සීමාකළ යුතුය.

♦ කපිල කුමාර කාලිංග

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00