2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

නිදහස මුහුදටත් වඩා ලොකුයි මිත්‍රයා

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

නිදහස කියන්නෙ මිනිස්සුන්ට හුස්ම වගේම අවශ්‍ය දෙයක්. ඒ නිසා තමයි සුද්දො යටත් කරගත්තට පස්සෙ නිදහස ඉල්ලලා කැරලි ගහන්න පවා ලංකාවෙ මිනිස්සු පෙළඹුණේ. මිනීමරු L.T.T.E නායකයට පරලෝ පවා සැපත්වෙන්න සිද්ධ වුණේ. නිදහස ඉල්ලල කැරලි ගහන්න, හඬ නගන්න වෙන තත්ත්වයට ආවා කියන්නෙ අනිත් කොණේ ඉන්න පුද්ගලයාට හෝ පුද්ගලයන්ට ඒ කොණෙන් සදහටම ඉවත්වෙන්න කාලෙ හරි. ඔය න්‍යාය රටක පාලකයන්ගේ සිට ආදර සම්බන්ධයක් දක්වා විහිදුවන්න පුළුවන්.

පාලකයගෙන් නිදහස ඉල්ලලා කැරලි ගැහුවට ඡන්දයක් නැතුව වියදමක් නැතුව ලොකු ප්‍රොසෙස් එකක් නැතුව උන්ව අයින් කරන්න අමාරුයි. සමහර වෙලාවට ආයුධ පවා අතට ගන්න නිදහස ඉල්ලන පුද්ගලයො උත්සුක වෙනවා. නමුත් පුද්ගලයන් අතර තියන අන්‍යෝන්‍ය සම්බන්ධයකදි කැරලි ගහලා ආයුධ අතට අරන් වැඩේ දුර දිග යන්න කලින්ම අනෙකට තේරුණොත් මේ යකා කියන්නෙ මොකද්ද කියල කතාකරලා විසඳගන්න පුළුවන් අර ඉහත කියපු මොනවත්ම නැතුව.

නමුත්, කොච්චර උත්සාහ කළත් ඔයාගෙ අතින් ඔයාගෙ පාට්නර්ට නිදහසක් ලැබෙන් නැත්තම් එයා ඒක නිතර කියනවනම් ඒ තමයි ඔයාගෙ ඉල්ලා අස්වීම ලබාදෙන්න ඕනෙ කාලෙ. මොකද ආදරේ කියන්නෙ ලබාගැනීමම නෙවෙයි. හරියට ආදරේ කරන එකා සතුටුවෙන්නෙ අනිකගෙ මූණෙ තියන හිනාව දැකලයි. (ඕකට තව තව දේවල් එකතුවෙලා හැදුණ තව තව ආදරවල් තියනවා. ඒව නිමක් නැති අතු බෙදෙන දිගම දිග ගංඟාවල් වගේ.) ඔයා ආදරේදි එයාගෙ නිදහස නැතිකරනවා කියලා එයාට දැනෙනවනම් ඒ කියන්නෙ එයාගෙ හුස්ම හිරකරනවා කියන එක. හුස්ම නැතුව කොහොමද මනුස්සයෙක් ජීවත් වෙන්නෙ?

නිදහස දීම මත හුඟක් සම්බන්ධතා රැකෙන බව මම ළඟදි කීපදෙනෙක් යොදාගෙන කරපු පොඩිම පොඩි සමීක්ෂණයකින් මටම තේරුණා. මේකට සහභාගි කරවගත්තු කපල්ස් සේරම මගෙම යාළුවො. ලිංගභේදය පැත්තකින් තියලා මනුස්සයෙක් මනුස්සයෙකුගෙ ආසාවල්වලට දෙන්න ඕනෙ නිදහස අවිශ්වාසයෙන් තොරව දෙන්නට දෙන්නා ලබා දීපු කපල්ස් අදටත් සාර්ථකව එකට ඉන්නවා වගේමයි. එහෙම එකතු වුණ දෙන්නෙක් පහුගියදා විවාහ ප්‍රාප්තත් වුණා. නමුත් පාට්නර්ට නිදහස දෙන්නෙ නෑ කියලා තේරුම් නොගත්ත, අනිත් කෙනාට නිදහස ඉල්ලලා බැරිම තැන කළු ගැහුණ මූණු අරගෙන සණ්ඩු සරුවල් වුණ තවත් කීපදෙනෙක් ඉන්නවා ආදරෙන් බැඳිලා ඉතා අඩු කාලෙකින් වෙන්වෙලා මේ ලියන මොහොතෙත් හූල්ලන.

නිදහස කියන දේ හුඟක් අය එක එක විදිහට අර්ථ දක්වාවි. අයෙක් ලිංග භේදය මත පදනම්ව අඩු වැඩි කරන නිදහසකුත්, තවත් අයෙක් ඉපයීම් මත පදනම් කර සීමා පනවාගත් නිදහසකුත් ගැන කතාකරාවි. නමුත් මගේ ඇස් ඉස්සරහනම් ගෑනු පිරිමි වෙන්න කලින් අපි හැමෝම මනුස්සයො විතරයි. මනුස්සයෙකුට තවත් මනුස්සයෙක්ගෙන් නිදහස ඉල්ලන්න වෙනවා කියන්නෙ හරිම නීච වැඩක්. මොකද අපි ඉන්නෙ වහල් යුගයෙ නොවන නිසා. ඒ වගේම තමයි නිදහස දීමෙන් පිටට ඇදෙන්න පුළුවන් කියලා තර්ක ගේන ගෑනු පිරිමි දෙගොල්ලන්ටම මම කියන්නෙ එක දෙයයි. අත පත ගාන්න නොදෙන සෙල්ලම් බඩුවක් ඇස් මානෙ තියනවා දකින පොඩි උන් පණ දීලා හරි බලන්නෙ ඒක අතගාන්න. ඒ වගේමයි ලැබූ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නා කෙනෙක්ව බලෙන් බැඳල තියාගන්න එක ඔයාට තරම් නොවෙයි. හික්මීම කියල කියන්නෙ, චරිතවත්කම කියලා කියන්නෙ ගේ ඇතුළෙ දාගෙන, ඉසේ සිට පාදාන්තය දක්වා පොරවලා වහලා බැඳලා ඉද්දි අසරණකම නිසා මොනවත් නොකර සිටීම නෙවෙයි, යන්න උපරිම දොරවල් ඇරලා තිබුණත් යන නොයන මඟ තමා විසින්ම නුවණින් තෝරා බේරා ගැනීමයි. ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තියවත් අයාලේ යන බල්ලො වගේ බැඳලම තියාගෙන ඉන්නවනං, ළාවට හීනියට ගැටේ ලිහල බලන්න. ඔයාට එයාව සුදුසුද නැද්ද කියලා හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය ඒක වේවි.

හැබැයි එකක්, එහෙම ලිහන්න හිතට අවශ්‍ය විශ්වාසය තියෙන්නෙත් හිත හුඟාක් හයිය කෙනෙක්ට විතරයි. වේදනාවට බය පරාජිතයන්ට කවමදාකවත් ඒ අවදානම ගන්න බෑ. එයාලා හැමදාම බැටළුවො බලාගන්න ගොපල්ලො වගේ කෙවිට කරේ තියාගෙන ගාල වටේ කැරකෙනවා මිසක් ඉදිරියට යාමක් නෑ.

නිදහස මුහුදටත් වඩා ලොකුයි මිත්‍රයා. මලකටත් වඩා සුවඳයි. වැස්සකට වඩා සීතලයි. ඔයාගෙ හුස්ම ටික තරම්ම අනිත් කෙනාගෙ නිදහසට වටිනාකමක් දෙන්න. අන්න එතකොට, පණ ඇද ඇද තිබුණ සම්බන්ධෙට අලුත් ජීවිතයක් දෙන්න ඔයාලා දෙන්නටම හැකි වේවි.

I සුහාරා පෙරේර

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00