මේ දිනවල හාංකවිසිපත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පෙර කිසිදාක නොතිබූ තරම් වැඩ කන්දරාවක් කරන්නට සිදු වී ඇති බව එහි සිටින අපේ මිතුරකුගෙන් දැනගන්නට ලැබුණි. මෙවර (හීසරය) විදින්නේ ඔහුගෙන් අසන්නට ලැබුණු රසවත් කතා කීපයක් ඇසුරිනි.
ඊයේ පෙරේදා එහි ගොඩවැදුණු ගබන් ආතා විමසීම් කවුන්ටරය වෙත ගොස්, තම අවශ්‍යතාව කියා සිටියේය.
මේ පාර්සලේ තියෙන්නෙ අපේ උන්දැගෙයි මගෙයි සිල් රෙදි දෙක. මේව ආපහු තමුන්නැහේලටම බාරදෙන්ඩ ඕනෙ.
අපිට නං එහෙම නියමයක් ලැබිලා නෑ. ආතට මොකද මේ කලබලේ ඕවා බාරදෙන්ඩ?
පන්සලේ මරණාධාර සමිතියෙදි කට්ටිය කතා වුණා, ඒ කාලෙ ලැබිච්ච සිල්රෙදි ගෙවල්වල තියාගෙන ඉන්න එකත් කිරිමේල් වැඩක්ය කියලා.
මොන බොරුද ආතේ. ආතව බොරුවට බය කරලා. ඕවා බෙදපු මහත්තයා, දැන් ඒකේ වගකීම බාරගත්තනෙ. දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ. ඕවා ආපහු බාරදෙන්ඩ කරදර වෙන්ඩ ඕනෙ නෑ.
අනේ අපිට ඕනෙ නෑ අනුන්ගෙ කරදර.
ගබන් ආතා, සිල් රෙදි දෙක පිටතට ගත්තේය. ඉන් එකක පහත වාටියෙ තුත්තිරිය. ඔහු, කවුන්ටරය උඩම එය තබාගෙන තුත්තිරි ගලවන්නට වූයේ, වත්තෙ නැන්දගෙ රෙද්දෙ තුත්තිරි, සිද්ද පත්තිනි දෙයියනේ යැයි මුමුණමිනි.
පිළිගැනීමේ නිලධාරිනිය මේ කරදරයෙන් බේරීම සඳහා ආතාව, වෙනත් තැනකට යැවීමට කල්පනා කළාය.
ආතේ, දෙකේ කාමරේ ඉන්න මහත්තයව හම්බවෙලා බලන්ඩකො. එතන්ට පුළුවන් වෙයි සිල් රෙදි බාරදෙන්ඩ.
ඉතින්, ගබන් ආතා දෙකේ කාමරයට ගියේය. එතන නිදිකිරමින් සිටි නිලධාරි මහතා, ගබන්ගේ කැස්සෙන් ගැස්සී අවදි වුණේය.
අපෙ මහත්තුරු නිදි වගේ.
මං ඊයෙ මළගේක නිදිමැරුවා. ඒකයි මොකක්ද උවමනාව.
අපෙ සිල් රෙදි ආපහු බාරදෙන්ඩ කියලා.
මෙහෙ ඒවා බාරගන්නෙ නෑ.
එහෙනං කොහෙටද?
තුනේ කාමරේට ගිහිං බලන්ඩ.
ඉතින්, ගබන් ආතා තුනේ කාමරයට ගියේය. එහි සිටි තරැණ නිලධාරියා දිග දුරකතන ඇමතුමකය. ඔහු අතක් දිගුකොට ගබන් ආතාට අසුනක් පෙන්වූයේය. නිලධාරියා (බායි) කියා දුරකතනය පසෙක තබන තුරු විනාඩි දහයක් පමණ බලා සිටීමට ගබන් ආතාට සිදු වූ අතර, ඉන් ප්‍රයෝජන ගත් ඔහු ඉතිරි තුත්තිරි ටික ද ගලවා, කුණු කූඩයට දැමුවේය.
මොකද?
නිලධාරියා සිනාමුසුව ඇසුවේය.
සිල් රෙදි බාරදෙන්ඩ.
කාටද?
නිලධාරියාගේ සිනාව තවත් පුළුල් විය.
මුන්නැහේලට
අපිට. අපිට මොකටද?
එහෙනං කාටද මෙව්වා දෙන්නෙ.
ඉහළින් කිව්වොත් විතරයි බාරගන්ඩ පුළුවන්. ඕවා බෙදුවෙත් ඉහළින් නියෝග කරපු නිසානෙ.
මෙව්වා ළඟ තියං ඉන්න එකත් කිරිමේල් කියල මිනිස්සු කියනවා. අපි මොකටද අනුන්ගෙ පව්වලට කරගහන්නෙ. මෙව්වා ඇඳන් බණක් භාවනාවක්වත් කරන්ඩ පුළුවනැ, හොඳ සිහියෙන්.
ගබන් ආතා සිල් රෙදි දෙකත් රැගෙන, ලේකම් කාර්යාලයෙන් පිට විය. ඔහු ගෙදර යන අතරතුර, කනතු පිටියට රෙදි පාර්සලය විසිකර දැමුවේ කාට හෝ මතක වස්ත්‍රයකටවත් ගත හැකිවේය යන යහපත් චේතනාවෙනි.
එදිනම පැමිණි, පණාමුරේ ජේම්ස් ද විමසීම් කවුන්ටරය වෙත ගොස් තම උවමනාව කියා සිටියේය.
නෝනා මං ආවෙ, අලි වෙන්දේසියට ඉදිරිපත් වෙන්නෙ කොහොමද කියල දැනගන්න.
නිලධාරිනියගේ ඇස් උඩ ගියේය.
අලි වෙන්දේසියක්? අපි නං එහෙම දෙයක් අහල නෑ.
ඇයි පත්තරෙත් තිබුණෙ, ලංකාවෙ ඉන්න අලි අල්ලලා පිටරටවලට විකුණන්ඩ යනව කියලා?
අයියෝ, ඔයගොල්ලොත් මාධ්‍යකාරයො වගේ. අලියගෙ වල්ගෙන්නෙ අල්ලගෙන තියෙන්නෙ.
දැන් අපේ ගම්රටවලටත් අලි රංචු කඩා වදිනවා. වල්ගෙන් හරි හොඬෙන් හරි අල්ලන්ඩ තමයි වෙලා තියෙන්නෙ.
නිලධාරිනියට මේ අලි කරදරයෙන් ගැලවීමට අවශ්‍ය විණි. ඇය, ජේම්ස්ව ද දෙකේ කාමරයට පිටත් කළාය. ඔරලෝසු සාදන්නෙකු මෙන් හිස බිමට නැඹුරු කරගෙන නිදිකිරා වැටෙමින් සිටි නිලධාරියා, ජේම්ස්ගේ පැමිණීමෙන් අවදි වුණේය.
මොකද..? ඔහු ලොකු ඈනුමක් හරිමින් ඇසුවේය.
සර්... අපිත් අලියෙක් ඇල්ලුවොත්, වෙන්දේසියට දාගන්ඩ පුළුවන් වෙයිද?
වෙන්දේසියක් ගැන නම් මම දන්නෙ නෑ. පෙරහරකට නං දාල දෙන්ඩ පුළුවන් වෙයි. දැන් පෙරහරේ යවන්ඩ අලි මදිවෙලා ඉන්නෙ. හැබැයි හොඳට හීලෑ කරල දෙන්ඩ වෙයි.
මොනව කරන්ඩත් ලයිසන් එකක් දෙන්ඩ එපායැ සර්. අලි අල්ලන එක සෙල්ලං වැඩක්යැ. අනික, අපේ වතුවලට කවුරු හරි අලි පැටව් නිකම් ගෙනත් දාලා යන එකක්යැ.
එසේ කියූ පණාමුරේ ජේම්ස්, ආපසු යන්නට ගියේය.
ගබන් ආතාගෙන් කතාව පටන් ගත් නිසා, ඔහුගේ ඇඹේණිය මැගි නෝනාට වූ අකරතැබ්බයකින්ම මෙය අවසන් කිරීමට සිතෙයි.
මැගි නෝනාගේ (ලැසී) මෙවර පැටවුන් හතර දෙනෙකුම වැදූ හෙයින්, උන් කොහේ හෝ ගෙන ගොස් දැමීමට ඇයට අවශ්‍ය විය. එය කෑම බීම අඩු නැති තැනක් විය යුතු නිසා, ගමේ පන්සලම තෝරාගත් මැගි, එක් උදෑසනක බලු පැටවුන් ටික රැගෙන ගොස් පන්සල් වත්තේ කෙළවරකට දැමුවාය. ඒ මොහොතේ, ලොකු හාමුදුරුවෝ ද කිසියම් දෙයකට එතැනට වැඩියහ.
මැගි නෝනා... ඔය බලු පැටව් වගයක් නේද?
එහෙමයි හාමුදුරුවනේ. නැතුව ඉතින් අපි අලි ඇතුන් දන් දෙන්ටයැ... ඇඟට පතට නොදැනී එසේ පිළිතුරු දුන් මැගි නෝනා, අඩියකට දෙකට එතැනින් නික්මුණාය.
♦ කපිල කුමාර කාලිංග