ගොඩක් හේතු නිසා මට එක පළාතක වැඩිම කාලයක් සේවය කරන්න පුළුවන් වුණා කියලා තමයි මම හිතන්නේ. මාව එක සැරයක් අකරගල්ල පළාතට මාරුකළා. ඒත් කිරිමැටියාව පළාතේ අටසීයක් විතර දෙනා මාව මාරු කරන්න එපා කියලා දිසාපතිතුමාට පෙත්සමක් බාරදුන්නා. මගේ මාරුව අවලංගු කළා. ඒ විතරක් නෙමෙයි මම විශ්‍රාම ගත්තු දවසේ කිරිමැටියාව පළාතේ මිනිස්සු මාව ගෙදරට ඇරලවන්න පෙරහරකින් වාගේ ආවා. වාහන කීපයකුත් ආවා. ඒ ඇවිත් අපේ ගෙදර උත්සවයක් වාගේ සභාවකුත් තිබ්බා. පොඩි පොඩි තෑගි භෝගත් මට දුන්නා. ග්‍රාමසේවකලාට එහෙම දේවල් කරන්නේ නෑනේ. ඒත් මට මිනිස්සු එහෙම කළා.
රාජකාරි ජීවිතයේදී ලැබූ අමතක නොවන සිදුවීම් ඇත්දැයි මා කළ විමසුමට බණ්ඩාරනායක හිටපු ග්‍රාමසේවක මහතා දුන්නේ මෙවැනි පිළිතුරකි.
අඹන්පොළ. කඩහාතාගම කියන ගමේ මිනීමැරුමක් සිද්ධ වුණා. ඒ මම පත්වීම ගත්තු ළඟදීම. ඔය ගමේ දඩබ්බර ගෑනියෙකුයි, මිනිහෙකුයි හිටියා. නිතරම සණ්ඩු සරුවල්. දෙන්නා එක ගෙදර හිටියට උහා පිහාගෙන කෑවේ වෙන වෙනම. මිනිහා වෙනම එයාට උයා ගන්නවා. ගෑනි වෙනම උයා ගන්නවා. දවසක් මිනිහා හාල් ගරමින් සිටින විට ගෑනි මෝල් ගහ අරන් ඇවිත් සැමියාගේ ඔළුවට ගහලා. මිනිහා එතැනම මැරිලා. පහුවදා උදේ පාන්දර මට පැමිණිල්ල ලැබුණා.
පත්වීම ලබලා අලුතම නිසා ඒ වාගේ බැරෑරුම් සිද්ධියකදී ග්‍රාමසේවක කටයුතු කරන්න ඕන විදිය ගැන මට පුළුල් අවබෝධයක් නෑ. ඒත් මම ඒවා ගැන දන්න කියන ග්‍රාමසේවකයින්ගෙන් උපදෙස් අරන් මුලින්ම ස්ථානයට ගොස් පරීක්ෂා කරලා පොලිසියට වාර්තාවක් දුන්නා. කොර්නෙල්ටත් (හදිසි මරණ පරීක්ෂක) දැනුම් දුන්නා. පස්සේ පොලිසිය ඇවිත් ඉතිරි රාජකාරි කළා. නඩුකාර උන්නාන්සේ ඇවිත් පරීක්ෂණය කළා. ඔය සිද්ධිය මට තාම මතකයි.
අබකොළවැව කියන ගමේ ඒ කාලේ හරියට හොරකම් වුණා. කොල්ලෝ තමයි මේවා කරන්නේ. එහෙම හොරකමක් කර අහුවුණ කොල්ලෝ තුන් දෙනෙක් අල්ලාගෙන ඇවිත් මගේ කාර්යාලය ඉදිරිපිට ගස් බැන්දා. උන්නේ අම්මට, තාත්තාට එන්ඩ කියලා පණිවිඩ යවලා ගෙන්නා ගත්තා. කරුණු කාරණා පහදා දී (තේරුම් කොට) නැවත මේ වාගේ වැරදි නොකරන්න කියලා අවවාද කරලා මව්පියන් ඉස්සරහම උන් නිදහස් කළා. එහෙම කෙළේ ඒ තරුණයන් යහමගට ගන්නයි. හැබැයි ඊට පස්සේ ඒ කොල්ලො ආයි වැරදි වැඩ කළේ නෑ. ඒ මව්පියන් මට පිං දුන්නා.
ඔය අබකොළවැව මිනිස්සුන්ට මම තදට හිටියා (සැරපරුසව) හරක් හොරකම් කරපු කීප දෙනෙක්ම අල්ලාගෙන ඇවිත් මගේ රාජකාරි කාර්යාලයේ කාමරයට දාගෙන හුජ්ජ (මුත්‍ර) යනකම් ගහලා තියෙනවා. මේවා පත්තරේට ලියන එක හරිද මම දන්නේ නෑ. ඒත් මම එහෙම කළේ නොමඟ යන එකා සුමඟට ගන්න. ඒ දේ වුණා. උන් කවදාවත් ආයි හරක් හොරකම් කළේ නෑ.
කිරිමැටියාව පළාතට අයත් අබකොළවැව ගමේ හරක් හොරකමක් වුණා. මගේ පළාතනේ. මම මේ හොරකම ගැන හෙව්වා. හරක් ගෙනත් තියෙන්නේ එරියාව කොළණියට. හොරු මං ඇල්ලුවා. ඒ හොරැ අතර මගේ ඇවැස්ස මස්සිනෙකුත් ඉන්නවා. ඒත් කරන්න දෙයක් නෑ. මම හොරු ටික මෙහේ හිටපු ග්‍රාමසේවක මහත්තයාට බාර දුන්නා. හොරුන්ට විරුද්ධව නඩු දැම්මා. මාස හයක් හිරේට නියම වුණා. මස්සිනා වුණත් කරන්න දෙයක් නෑ. එයත් හිරේ ගියා. ඔය සිද්ධියෙන් ඒ පවුලේ අය මාත් එක්ක අමනාප වුණා.
එදා ගමයි අද ගමයි අතර වෙනස ඔබ දකින්නේ කොහොමද? කථාව වෙනත් දෙසකට යොමුකරමින් මම ඔහුගෙන් ඇසුවෙමි.
එදා ගමේ පුදුම සමගියක් තිබුණා. අද වාගේ අඩදබර, කලකෝලාහල, මහා අපරාධ නෑ. ඒකට හොඳම උදාහරණයක් තමයි ඡන්ද කාලේ. එදා දෙපිලට තුන්පිලට බෙදිලා ගහ මරා ගත්තේ නෑ. ඡන්දය පවත්වන දවසට ඡන්ද පොළට ගිහින් තමන් කැමති පක්ෂයට ඡන්දය දීලා එනවා. හවසට ඡන්ද ප්‍රතිඵල අහන්න එක තැනකට එකතු වෙනවා. අද වාගේ රූපවාහිනී එදා තිබුණේ නෑනේ. රේඩියෝව තමයි තිබුණේ. ඒත් ගමකට එකයි දෙකයි. අපේ ගමේ මගේ ගෙදර රේඩියෝවක් තිබුණා. ඉතිං ගමේ හැමෝම මගේ ගෙදරට ඡන්ද ප්‍රතිඵල අහන්න එනවා. එළිවෙනකම් ප්‍රතිඵල අහනවා. කවුරු දිනුවත්, කවුරු පැරදුණත් ප්‍රශ්නයක් නෑ. ගමේ අය විරසක වෙන්නේ නෑ. ප්‍රතිඵල අහන්න එන අයට මම ඉතිං සංග්‍රහ කරනවා. මොනා හරි කැවිල්ලක් එක්ක තේ ටිකක් දෙනවා. ඕක තමයි සංග්‍රහය.
ඒ කාලේ අවට ගම්වල පන්සලක පිංකමක් කරනවා නම්, විවෘතයක් තියෙනවා නම්, පෙරහරක් කරනවා නම් අපේ ගමට අනිවාර්යයෙන්ම ඒවාට සහභාගි වෙන්ඩ ආරාධනා කරනවාමයි. පුංචි කාලේ ඉඳලාම මාත් ඒවාට සහභාගි වෙලා තියෙනවා. මුළු ගමම වාගේ ඒවාට සහභාගි වෙන්න යනවා. පූජා භාණ්ඩ එහෙම හදාගෙන තමයි යන්නේ. මට මතකයි දවසක් අපි පෙරහරක් ගියා. ඔය පෙරහැරේ ගෙනියන්න අලියෙක් හදලා තිබුණා. පණ ඇති අලියෙක් වගේමයි. අපේ ගමේ ඒ වගේ නිර්මාණ කරන්න දක්ෂයෝ හිටියා. (අලියා) ඇතුළට රිංගලා අරන් ගියේ මම. මම එතකොට පුංචි ළමයෙක්. හිද්දෑව පහුකරලා යනකොට (අලියා) හදලා තිබුණ අලවංගුව කඩාගෙන වැටුණා. දැන් (අලියා) ගෙනියන්න බෑ. ඊට පස්සේ එතැනම තිබුණ කැලයකට (අලියා) විසිකරලා ගිනි තිබ්බා. ඒ පුච්චපු තැන එදා සිට (අලියා) දාච්චි යාය කියලා හඳුන්වනවා.
ඒ කාලේ අපේ ගම්වල ඉගෙන ගත්ත අය අඩුයි. අපේ ගමටම හිටියේ ගුරුවරු දෙන්නෙක් විතරයි. ඒ වුණාට ගමේ අය ලොකු සමගියකින් කටයුතු කළා. එදා අපේ ගමේ සමිති සමාගම් තිබුණේ නෑ. ඊට පස්සේ මම ගමේ සමිති සමාගම් කීපයක්ම ආරම්භ කළා. සමිති ශාලාවක් ඉදිකළා. ඔය අඹන්පොළ ඇහැටුවැව පාරට එදා කීවේ (හාල් පාර) කියලා. ඕක හැදුවේ 1953 අවුරුද්දට කලින්. පාර හදන අයට වැටුප් වෙනුවට දුන්නේ හාල්. ඒ නිසා තමයි (හාල් පාර) කියලා ඒක ගම්මුන් නම් කරේ.
ඔබේ විවාහය ගැනත් කථා කරමු නේද?
මම විවාහ වුණේ 1955 වර්ෂයේ. බිරිඳ පද්මා කුමාරිහාමි. එයා නුවර, උඩුරාවණ ප්‍රදේශයේ පදිංචිකාරියක්. විවාහය සිදුවුණෙත් හරි අපූරුවට තමයි. මම පැල්වෙහෙර ෆාම් එකේ වැඩකරන කාලේ ඒකේ මැනේජර් මහත්තයා මට විවාහ යෝජනාවක් ගෙනාවා. ඒ එයාගේ ඇවැස්ස නෑනාගේ දුව ගැන. මම ගෙදර ආපු දවසක අම්මට මේක කීවා. අම්මා කීවා (ගිහින් බලමු) කියලා. (අම්මලා ගිහින් බලලා එන්න) කියල මම කීවා. මම ගියේ නෑ. අම්මත් එක්කනේ ඉන්න ඕන. ඒ නිසා අම්මට හොඳ නම් මම කැමතියි. ඒ අදහසින් තමයි මම එයාව බලන්න ගියේ නැත්තේ.
අම්මලා ගිහින් යෝජනාව ස්ථීර කරලා ආවා. මං මුල්වරට එයාව දැක්කේ නම් දෙන්න ගිය දවසේ. විවාහය සිද්ධ වුණේ ඔහොමයි. අර විදිහට මුලින්ම අම්මා යැව්වේ ගෙවල්වලට ආපුහාම නැන්දම්මා - ලේලි රණ්ඩු වෙනවානේ. ඉතිං අම්මා බලලා කතා කරලා ලේලිව හඳුනා ගත්තාම හරිනේ. අම්මා කැමති ලේලිවනේ මම තෝරා ගත්තේ. මට මොකුත් කියන්න බෑනේ. මගේ බිරිඳ 2013 අවුරුද්දේ මියගියා.
බණ්ඩාරනායක විශ්‍රාමික ග්‍රාමසේවක මහතා අසූ නම වැනි වියේ පසුවුවත් අදටත් ඔහු නිරෝගීව පසුවෙයි. සාම විනිසුරුවෙකු ලෙසද කටයුතු කරයි. බැංකුවලට පවා ගොස් ගනුදෙනු කරයි. සිය දෛනික කටයුතු සඳහා කිසිවෙකුගේ උදව්වක් තාමත් ඔහුට ඇවැසි නොවේ. රාජකාරි ජීවිතයේදී ජනතාවගේ බුහුමනට පත්වූ මේ සැබෑ (ග්‍රාමසේවකට) තවත් චිරාත් කාලයක් නිරෝගීව විසීමට වාසනාව උදාවේවායි පතමින් මම ඔහුගෙන් සමුගතිමි.
(ස්තූතිය - අතරගල්ල හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්.එම්. රත්නායක හා පොරොත්තුකඩවල රත්නමලල වන්නිනායක මහත්වරුන්ට.)
කතාව හා සේයාරූ - ගල්ගමුව නිහාල් ජයවීර