අඩ සියවසකට ආසන්න කාලයක් පුරා ලංකාවේ වැඩිපුරම විකිණුන සාහිත්‍ය පොත්පත් ලියා ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහයන් බව අවිවාදිතය. කොග්ගල මහා ප්‍රාඥයා යන විරුදාවලිය ලත් වික්‍රමසිංහයන් කොග්ගල ගම ලෝක සාහිත්‍යයට ද ගෙන ගියේය. ඔහු ලියූ මඩොල් දූව නොකියවූ දරුවෙක් නැති තරම්ය. අපේ ගම, ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, විරාගය ආදී ග්‍රන්ථ විසින් මෑතකාලීන නිර්මාණ සාහිත්‍යය පොහොසත් කෙරිණි. 1914 සිට 1975 වසර 61 ක් පමණ සාහිත්‍යකරණයේ යෙදුන වික්‍රමසිංහ ශූරීන් තමන් ලියූ බොහෝ ග්‍රන්ථයන්ට අත්දැකීම් අහුලා ගත්තේ ගමෙනි. ඔහු සිය ග්‍රන්ථවල ජීවමාන කළ චරිත බොහොමයක් එකල කොග්ගල ගමේ සිටි උදවියයි. නැතහොත් පසුකාලීනව තමන් ඇසුරු කළ දැන හඳුනාගත් විවිධ තරාතිරම්වල අයයි. සමහර චරිතවලට තමන්ම ගුරු විය. තම පවුලේ අයගේ ඇතැම් චරිතාංග ද එම නිර්මාණාත්මක ග්‍රන්ථ තුළින් ජීවමාන කෙරිණි.
ගම්පෙරළියේ කයිසාරුවත්තේ මුහන්දිරම්, මාතර හාමිනේ, නන්දා, අනුලා ජිනදාස, විරාගයේ අරවින්ද කලියුගය යුගාන්තයේ සඳහන් තිස්ස, මාලින්, සවිමන් කබලාන මෙන්ම වත්තුහාමි මුදලාලි ද අපේ ගමේ කියැවෙන කිරිබබා, බේගල්, රූකඩ කපන්නා ආදීන් සමඟ ඔහුට සැබෑ ජීවිතයේ සබඳතා තිබෙන්නට ඇත.
මාර්ටින් වික්‍රමසිංහයන් ජීවමාන කළ මෙම චරිත ගැන වික්‍රමසිංහයන් සමීපව ඇසුරු කළ ඇතැම්විට ඔහුට ඥාති සබඳතා තිබෙන කිහිප දෙනකු සමඟ කළ කතාබහේ දී අපට බොහෝ තොරතුරු අනාවරණය විය. ඇතැම් කරුණු වික්‍රමසිංහයන්ම වරින් වර ලියා තිබූ ඒවා බවද සඳහන් කරනු වටී.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් සිනමාවට ද නගන ලද ගම්පෙරළියේ එන කයිසාරුවත්තේ මුහන්දිරම් තැනගේ චරිතය වික්‍රමසිංහයන් අතින් නිර්මාණය වූයේ කලක් පළාතේ විදානෙ ආරච්චි පදවිය දැරූ ඔහුගේම ලොකු තාත්තා ඇසුරිනි. පාරම්පරික ධනවත් පැලැන්තිය පරිහානියට යෑමත් නව වාණිජ පරපුරේ නැගීමත් එමගින් කදිමට චිත්‍රණය කර ඇත.
වික්‍රමසිංහයන්ම කියා ඇති පරිදි විරාගයේ අරවින්ද ජයසේන සැබෑ ජීවිතයේ පානදුර ප්‍රදේශයේ වාසය කළ තැනැත්තෙකි. වරක් වික්‍රමසිංහ මහතා තමන්ගේ මිතුරකු මුණගැසීමට පානදුරයට ගිය ගමනේ දී අල්ලපු ගෙදර සිටි අමුතු පුද්ගලයකු ගැන දැනගන්නට ලැබිණි. රසායන විද්‍යාව - බුදු දහමේ අභිධර්මය හා වෙනත් බොහෝ විෂයයන් හදාරා ඒවාගෙන් ඔළුව පුරවාගෙන සිටි හෙතෙම හාත්පසින්ම වෙනස් පුද්ගලයකු විය. ඒ චරිතය මනසින් විකාශය කොට ඔහු විරාගයේ අරවින්ද නිර්මාණය කළේය.
ගම්පෙරළිය - කලියුගය හා යුගාන්තයේ සඳහන් වන තිස්ස නම් වූ චරිතය තරමක් නරුම ගති ලක්ෂණවලින් යුක්ත වූවකි. ඒ චරිතයට මූලිකව ගුරුකොට ගත්තේ වික්‍රමසිංහයන්ගේම බෑනා කෙනකු වූ (පීටර්) නැමැත්තා බව වික්‍රමසිංහ පවුලේ ජ්‍යෙෂ්ඨයකු අප හා පැවසීය. කලක් වික්‍රමසිංහයන් විසූ ගල්කිස්සේ නිවසේ උඩුමහලේ නවාතැන් ගෙන සිටි පීටර් වික්‍රමසිංහයන් සමඟ බහින්බස්ව නිවසින් පිටව ගොස් ඇත. ඔහු තුළ තිබූ ගති ලක්ෂණ තිස්ස තුළින් විද්‍යාමාන වන බව පැවසේ.
යුගාන්තයේ එන මාලින් කබලාන චරිතය ගැන වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ නම් සඳහන් කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨයකු අප හා කදිම තොරතුරු ගණනාවක්ම පැවසීය. “මාලින් උගත් විප්ලවවාදියෙක් ඒ චරිතයට සමහර විට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේ චරිතයෙන් යමක් ගන්න ඇති. ඒ වගේම වික්‍රමසිංහයන්ගේ ලොකුම පුතාගේ චරිතයෙනුත් නොයෙක් අත්දැකීම් ලබන්න ඇති.” ඔහු පැවසීය.
යුගාන්තයේ එන සුප්‍රකට ධනවතා වන සවිමන් කබලාන චරිතය ගැන වික්‍රමසිංහයන් කළ හෙළිදරව්වකට අනුව එම චරිතයේ ඇතැම් අත්දැකීම් තමන් ලබාගත්තේ තමන් කලක් සේවය කළ ලේක්හවුස් අධිපති ඩී.ආර්. විජයවර්ධන මහතාගේ චරිතයෙන් බවය. එසේම සවිමන් කබලාන සම්පූර්ණ චරිතය ගොඩනැගුණේ තවත් තමන් දන්නා හඳුනන චරිත ගණනාවක අත්දැකීම් මිශ්‍රණයෙන් යැයි ද හෙතෙම සඳහන් කර තිබිණි.
වික්‍රමසිංහයන් කුඩා කල කොග්ගල ගමේ විසූ ඔහු සමීපව දැන සිටි ගැමියන් ගණනාවක් ද වික්‍රමසිංහයන්ගේ පොත්පත්වල චරිත මැවීය. අපේ ගමේ (කිරිබබා) එවැන්නෙකි. ඔහු වික්‍රමසිංහයන්ගේ ගමේ වීරයා බව පසුව සඳහන් කර තිබිණි. කිරිබබා සමඟ ඔරු පදින්නටත් මසුන් මරන්නටත් ඔහු කුඩා කල එක් වූ බව කියැවේ. එසේම කොග්ගල විසූ අන්දො අයියා නැමැත්තා අපේ ගම පොතේ (බේගල්) කතාවට පාදක වී සිටියේය. අපේ ගමේ රූකඩ කපන්නා ද එවැන්නෙක් බව සඳහන්ය. මේ සියල්ල අතර වික්‍රමසිංහයන් විසින් ලියන ලද (මව) නම් කෙටිකතාවට සම්පූර්ණයෙන්ම උපයෝගී කරගෙන ඇත්තේ වික්‍රමසිංහ පවුලේ තතු විත්ති බව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පවුලේ ජ්‍යෙෂ්ඨයකු අප සමඟ කීය.
තමන්ගේ හදවතට සමීප වූ චරිත මෙන්ම සිතේ කාවැදී තැන්පත් වූ හැඟුම් දැනුම් හා දැකුම් විසින් පොහොසත් වූ මාර්ටින් වික්‍රමසිංහයන් අපූරු නිර්මාණවේදියෙකි. අමුවෙන් හදවතේ ලැගුම්ගත් ප්‍රත්‍යක්ෂ දේ පසුකාලයේ ඔහු පොත් පිටු අතර විචිත්‍ර ලෙස පින්තාරු කළේය. ඒ ඔහුගේ නිර්මාණාත්මක කල්පනාවන් නැමැති පින්සලෙනි. මෙයට අඩසිය වසකටත් එපිටදී ඔහු හැඩගැන්වූ ඒ චරිත සමඟ අදත් අප ගනුදෙනු කරන්නේ ඉතා සමීප ආකාරයටයි. එදා තිබූ කොග්ගල වෙනස් වුවද මඩොල් දූවේ සුන්දරත්වය පලාගියද මාර්ටින් වික්‍රමසිංහයන් සිය නිර්මාණ කාර්යයෙන් මනසේ මැවූ සිතුවම් රසවිඳින්නට අදත් අප මනාපය.
I ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර
ස්තූතිය : මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයට