2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

පීනස් ලෙඩේට බෙහෙත් පෙති අරහං

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3672

“හැමවෙලේම නහය අල්ලගෙන... හරියට වැප් එකෙන් වතුර එනවා වගේ නහයෙන් ගලනවා...”

බොහෝ දෙනකුට ඇතිවන තත්ත්වයක් මේ සෙම්ප්‍රතිශ්‍යාව...? සමහරු මේ රෝගී ලක්ෂණය සෙම්ප්‍රතිශ්‍යාව කියලා හිතුවත් සැබැවින්ම එය පීනස් රෝගී තත්ත්වයකි. මේ වෙද්දී බොහෝ දෙනකු තුළ ඇති වන පීනස රෝග තත්ත්වයට ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර ඇත.

පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට නවීන තාක්ෂණයත් උපයෝගී කරගෙන ආයුර්වේද ප්‍රතිකාර මඟින් අද වෙද්දී පීනස් රෝගය නිට්ටාවටම සුවකර ගත හැක. පීනස රෝගී තත්ත්වයට වයස භේදයක් නැත. ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. ඕනෑම වයසක ඕනෑම තරාතිරමක කෙනකුට පීනස රෝගය වැළඳිය හැක.

පීනස රෝගය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයකි. මේ අනුව වර්ග කීපයකටම පීනස රෝගය බෙදා වෙන් කරගත හැක. ඒවා අතරින් ගඳ පීනස, ගල් පීනස, ළය පීනස, ලේ පීනස සමහරකි. පීනස යනු සෙම බහුල වීමෙන් සෑදෙන ලෙඩ රෝගයකි.

පීනස රෝගයේදී පොදුවේ දක්නට ලැබෙන රෝග ලක්ෂණ කීපයකි

• පාන්දර අවදි වූ විට වැඩි සංඛ්‍යාවක් කිවිසුම් යාම.
• එසේ කිවිසුම් යාමෙන් තෙහෙට්ටුවක්, හෙම්බත්වීමක් දැනීම.
• ඇතැම් රෝගීන්ට ජලය, පින්න වැනි දේ අසාත්මිකතා ඇති කරයි.
• කිවිසුම් පිටකරද්දී ඇතැම් රෝගීන්ගෙන් ගන්ධයක් පිටවේ.
• නළල අභ්‍යන්තරයේ සෙම නරක් වීමෙන් නිතර සෙම්ප්‍රතිශ්‍යා ගතිය මෙන්ම සොටු දියර ගැලීමක්ද නිතරම දක්නට ලැබේ.
• පීනස් රෝගීන්ගේ හිස පහතට හෙළීමට නොහැකි තත්ත්වයක් ඇති අතර හිස පහතට හෙළීමෙන් හිසරදය ඇතිවේ.
• මේ රෝග තත්ත්වයන් හමුවේ පීනස රෝගීන්ට කේන්ති යාමද දක්නට ලැබේ.
• පීනස රෝගීන්ගේ කන් කැසීම, කන්වල වේදනාව ඇතිවේ.
• උගුරේ වේදනාව ඇතිවේ.
• නිතර නිතර ඇතිවන කැස්ස.

• ඇතැම් රෝගීන්ට කිවිසුම් යවන විටදී රුධිර ස්වල්පයක්ද පිටවේ.

පීනස රෝග තත්ත්වයන් හමුවේ මෙම රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වේ. ඇතැම් රෝගීන්ට මෙම රෝග ලක්ෂණ එකක් හෝ කීපයක්ම දක්නට ලැබේ. ඇතැම් රෝගීන් විවිධ ක්‍රම භාවිත කරන අතර ඒවා තාවකාලික ප්‍රතිකාර වේ. එමෙන්ම ඖෂධ පෙති ගැනීමද එතරම් සාර්ථක ප්‍රතිඵලයක් නොවේ. ක්ෂණික උපක්‍රම මගින් සෙම වියළීමට උත්සහා දැරුවද ඖෂධ ලබා ගනිද්දී සෙම වියළීම් ගතියක් දක්නට ලැබුණද ප්‍රතිකාර නතර කිරීමෙන් පසුව නැවත රෝගී තත්ත්වය ඉස්මතු වේ. සෙම වියළීමට ප්‍රතිකාර ගැනීම නිසාම වෙනත් අතුරු ආබාධ ඇති වීමට ඉඩකඩ තිබේ. 

විශේෂයෙන් හිසේ කැක්කුම, අධික කේන්ති යාම, මුඛය ආශ්‍රිතව තුවාල දැමීම, මළබද්ධය, මළපහ පිටවීමේ අක්‍රමිකතා ඇති වීම. සෙම වියළීම, උගුර කට වියළීම වැනි රෝග තත්ත්වයන් ඇතිවිය හැක.

පීනස රෝගියකු තුළ සෙම ඇති වීමේදී සෙම ඇතිවීමට හේතුව සොයා බැලිය යුතුය. මේ නිසා රෝග නිධානය සොයා එයට ප්‍රතිකාර කිරීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූලික ක්‍රමය වේ. පීනස රෝගීන්ගේ ශරීර බොහෝ විට උෂ්ණාධික වේ. මෙම ඌෂ්ණාධික තත්ත්වය හේතුවෙන් සෙම තත්ත්වය ශරීරයේ ඉහත කොටස්වලට සීඝ්‍රයෙන් වර්ධනය වේ. ශරීරයේ ඌෂ්ණාධිකකම මොළය ආශ්‍රිතව ඇති සියුම් ස්නායුවලට මෙය දරාගත නොහැක. එයාට පිළියමක් ලෙස මෙම ස්වයංක්‍රීය සිසිලසක් ශරීරය විසින් නිර්මාණය කෙරේ. ස්නායු සෛල රැකගැනීමේ අරමු‍ණෙන් සෙම් ඉහළට රැගෙන යයි. එවිට සෙම් කොටස නාස කුහරයෙන් බාහිර වායු ගෝලය සමඟ සම්බන්ධ වේ. එවිට බාහිර වායු ගෝලයේ ඇති බැක්ටීරියා හා වෛරස් වර්ග සෙම මත රැඳි සෙම නරක් කිරීමට උත්සාහ දරයි. මෙය පීනස් තත්ත්වයකි.

පීනස රෝගීන්ට පීනස හා සෙම් රෝග ඇතිවේ. මේ හේතුවෙන් රෝගීන් තුළ අර්ශස් වැනි රෝග තත්ත්වයක් ද දක්නට ලැබේ. අර්ශස් වැඩිවෙද්දී පීනස අඩුවේ. පීනස රෝගයට ප්‍රතිකාර කරද්දී එය අඩුවී අර්ශස් රෝගය වැඩිවේ. සමේ රෝග තත්ත්වයද පීනස සමඟ සම්බන්ධය.

පීනස රෝගය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව නිට්ටාවටම සුවකළ ගත හැකි අතර එය තීරණය වන්නේ රෝගියා පරීක්ෂාකොට රෝග ලක්ෂණ අනුව රෝගියාගේ රෝගී තත්ත්වය තීරණය කොට කරනු ලබන ප්‍රතිකාර අනුවය. රෝග හේතුවට ප්‍රතිකාර කිරීම ඉතා වැදගත් වේ. පීනසයට යැයි පවසා අනුන් කළ අත් බෙහෙතකින් තවත් පීනස් රෝගියකුට ප්‍රතිකාර කිරීම එතරම් සුදුසු නොවේ. ඒ සඳහා රෝගියා පරීක්ෂාකර රෝග නිධානයට අනුව ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් තීරණය කළ යුතුය. රෝගියා ගතයුතු සහ නොගත යුතු ආහාරපාන ද රෝග නිධානය අනුව වෙනස් වේ.

පොදුවේ පීනස රෝගීන් සවස් කාලයේ සිසිල් දිය නෑම කිසිසේත් නොකළ යුතුවේ. පීනස රෝගයට ප්‍රතිකාර ගනිද්දී උදේ කාලය පමණක් නෑම යෝග්‍ය වේ. විශේෂයෙන් දහවල් දොළහෙන් පසුව නෑම අසාත්මිකතා ඇතිවී රෝගයක් ඇතිවීම, රෝගී තත්ත්වය උත්සන්න වීමේ හැකියාව වැඩිවේ. පීනස රෝගීන්ට විශේෂයෙන් නිදි මැරීම ඉතා අහිතකරය.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00