2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

අද සරසවි ආචාර්යවරු කියවන්නේත් ගොසිප්

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 01:32 139

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මෙවර ස්වර්ණ පුස්තක උත්තරීතර විනිශ්චය මණ්ඩල සභාපති ලෙස කටයුතු කළේ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන ප්‍රණීත් සම්මානනීය ලේඛකයෙක් ද වේ. මේ ඔහු තම නවකතා කියවීම පිළිබඳ අත්දැකීම් අප සමඟ බෙදාගත් අයුරුයි.

විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරද්දී නවකතාවේ මෑතකාලීන හැඩතල දුටුවේ කෙසේද?

පවුල් ප්‍රශ්න, සම්ප්‍රදායික අර්බුද වගේ දේවල් තමයි බොහෝ නිර්මාණවලට පාදක කරගෙන තිබුණේ. ඒ අතරින් අලුත් තේමා සොයාගිය අවස්ථා හරිම අඩුයි.

නිශ්ශංක විජේමාන්නගේ නවකතාව ස්වර්ණ පුස්තකය ලෙස ඔබ ඇතුළු විනිශ්චය මණ්ඩලය නම් කරනවා?

ඔව්. ඒ වගේම කියවීමට ලැබුණු නවකතා අතරින් එය වෙනස් මඟක් ගෙන තිබුණා. මුල, මැද, අග ශෛලියෙන් වෙනස් වුණු නවකතාවක්. සමකාලීන සමාජයේ දැවෙන ගැටලුවකට එහි අවධානය යොමු කරනවා. සිංහල ජනවර්ගය හා මුස්ලිම් ජනවර්ගය අතර තිබෙන සහයෝගයෙන් වැඩ කිරීම වගේම විසංවාදී බවත් එහිදී පාදක කරගෙන තිබෙනවා. සිද්ධිවලට වඩා මුස්ලිම් පුරාවෘත්ත, ඉතිහාසය වගේ තැන් කතුවරයා රසවත්ව ඉදිරිපත් කර තිබුණා.

සම්මාන උත්සවවල මුල්තැන ලැබෙන්නෙ නවකතාවලට නේද?

ඔව්. ඉහළ මට්ටමේ ප්‍රකාශකයන් වගේම කර්තෘ ප්‍රකාශකයන් සහ නව ප්‍රකාශන ආයතනත් තම ප්‍රධාන ක්ෂේත්‍රය විදිහට සලකා බලන්නෙ නවකතා.

මේ නිසා සාමාන්‍ය පාඨකයන් පවා හිතන්නේ සාහිත්‍යය කියපු ගමන් නවකතා කියලයි?

ඇත්ත. එතැන දෝෂයක් තිබෙනවා. සාහිත්‍යය පුළුල් වපසරියක් තිබෙන ක්ෂේත්‍රයක්. නමුත් හුඟ දෙනෙක් ඉන් කුඩා වපසරියකට සීමාවුණු නවකතාව ගැන තමයි හිතන්නේ. සංගීතය කිව්වම ගීතය ගැන විතරක් හිතනවා වගේ ටෙලිවිෂන් කිව්වම හිතන්නේ ටෙලිනාට්‍ය කියලනේ. ඊට වඩා පුළුල් දැක්මක් තිබිය යුතුයි.

ඉහළ මට්ටමේ මුදල් තෑගිත් නවකතාවට ලැබෙනවා. ඒ නිසා මේක ජනතාව අතර මුද්‍රාවක් වගේ වෙලා. 

මේ නිසා කෙටිකතා සහ කාව්‍ය වගේ ක්ෂේත්‍රවලට අසාධාරණයක් වෙනවනේ?

අපට පේනවා කෙටි කතාකරැවන් සහ කවීන් නවකතාවලට වඩා සියුම් ලෙස සමාජ ගැටලු ස්පර්ශ කරන බව. මිනිසුන් තනිතනිව, සමාජයීය වශයෙන් හා කලාපීය වශයෙන් මුහුණ දෙන ප්‍රශ්න ඒවායේ කතා කරනවා. නවකතාවල බොහෝවිට මැද පන්තිය හා වලව් පෙලැන්තිය වගේ සමාජ තේමාවන් පාදක කරගන්නවා. නිර්ප්‍රභූ සමාජ ස්තරය (තැලෙන පොඩිවන මිනිසුන්) කෙටිකතා සහ කවිවලට බහුලව වස්තු විෂයය වන බව පේනවා. නමුත් එම ක්ෂේත්‍ර ඇගැයෙන්නේ අඩුවෙන් බව ඇත්තක්.

අපේ ශාස්ත්‍රිය පොතපත ගැන කතා කරන්නෙම නැහැ වගේනේ?

ශාස්ත්‍රීය පතපොත, පර් යේෂණ දිහා බැලුවම පේන්නේ ඒවා බිහිවන්නේ අඩුවෙන් බවයි. විශ්වවිද්‍යාලයීය ප්‍රජාව තුළින් එවැනි පර් යේෂණ කෘති බිහිවීම අඩුයි. මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක වගේ ලේඛකයන් විශ්වවිද්‍යාල මුද්‍රාව තැබූ අය නොවෙයි. නමුත් ඔවුන්ගේ නිරන්තර සාහිත්‍ය සේවයක් තිබුණා. පෙරඅපරදිග භාෂා දැන සිටියා. ඒ නිසා හොඳ පොත්පත් ලියැවුණා. ඒවා ඒ කාලෙ විශ්වවිද්‍යාලවල භාවිත කළා.

විශ්වවිද්‍යාල සමාජයේ, ආචාර්ය මණ්ඩලය අතර වුවත් අලුතින් බිහිවන පොත්පත්, නව සාහිත්‍ය ප්‍රවණතා වගේ දේවල් ගැන කතාබහ කරන්නෙ හරි අඩුවෙන්. උදේට හමුවුණාම අහන්නෙත් වෙබ් එකේ ගොසිප් ගැන. ඒ කියන්නේ මනස බොල්වෙලා. ඥාන මණ්ඩලය පුළුල් විය යුතුයි.

අද පාඨක සමාජය ගැන සතුටු විය හැකිද?

පොත් කියවීම අඩුයි. පාඨක සමාජය අඩුවෙලා. පොත් මුද්‍රණය කරන්නේ පිටපත් 1000ක් 500ක් වගේ අඩු ප්‍රමාණයක්නේ. මේක ප්‍රමාණවත් නැහැ. අපි පාඨක සමාජය පුළුල් කරගත යුතුයි. නමුත් අන්තර්ජාලය ඇසුරු කරලා ඒ අශ්‍රයෙන් පොත්පත් කියවන අය ඉන්නවා.

විචාරක මානසික තත්ත්වයකින් පොත් කියවලා එම අදහස් බෙදාහදා ගන්නා විඳින අය හමුවන්නේ ඉතා අඩුවෙන්. ඉන්නේ කාටහරි විරුද්ධව පුද්ගලයට එරෙහිව යන විචාරකයක්. අපි නම් පොත් කියවන්නේ සම්මානවලට තෝරන්න නොවෙයි. පොත් නිකුත් වූ පසු මිලදී අරගෙන කියවා රසවිඳිනවා. එහෙම කියවනවිට තමයි වටපිටාව අහුවෙන්නේ. සාහිත්‍ය ගැන කතිකාව සාහිත්‍ය මාසයටම පමණක් සීමා විය යුතු නැහැ. 

♦ කුසුම්සිරි