සරසවි පොත්හලේ ප්‍රකාශන කළමනාකරු ශ්‍රීපාලි පෙරේරා
මෙවර රජත පුස්තක සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන යන සම්මාන දෙකම අපි ප්‍රකාශයට පත් කළ ලක්ශාන්ත අතුකෝරළගේ සමහර කමටහන් පොතට ලැබුණා. ලක්ශාන්තගෙ කවිපොත් කියවන පාඨක පිරිසක් වෙනම ඉන්නවා. මේ නිසා ඔහුගේ කවිපොත් විකිණෙනවා. අනෙක් සාමාන්‍ය කවියෙක් සමඟ ලක්ශාන්තගෙ කවිපොත් සංසන්දනය කිරීම අසීරුයි. ඔහු තම කවියේ ගුණාත්මකභාවය රුකගෙන තිබෙන බව අපට පේනවා. ඔහු බහුලව කවිපොත් එළිදක්වන්නෙත් නැහැ. සඳැස් නිසඳැස් කවි දෙකේම හොඳ පරිචයක් ලක්ශාන්ත සතුයි. ඔහුගේ කවිපොත් බොහෝ අවස්ථාවලදී දෙවැනි මුද්‍රණයට යනවා. ඒ කවිපොත් පිටපත් 1000 ක් වශයෙන් තමයි මුද්‍රණය කරන්නෙත්. නමුත් සාමාන්‍යයෙන් වෙනත් කවිපොත්වලින් බහුතරයක් පිටපත් 500 ක් පමණ තමයි අපි පළ කරන්නේ.
කවිපොත් නොවිකිණෙන බවට මතයක් තිබෙනවා තමයි. සමස්තයක් වශයෙන් ගත්තොත් කවිපොත් විකිණෙන්නේ අඩුවෙන් බව කිව හැකියි. ඒකනෙ පිටපත් 500කට සීමාවෙලා මුද්‍රණය කරන්නේ. ඒ බොහොමයක් කවිපොත් දෙවැනි මුද්‍රණයකට යන්නෙත් නැහැ.
මෙසේ කවිපොත් අලෙවිය අඩුවීමට හේතු සලකා බලන විට පෙනෙන්නේ අද කවිය විදග්ධ උගත් සමාජයට පමණක් සීමාවෙලා ඇති බවයි. ඒ නිසා සීමිත පිරිසක් තමයි කවිපොත් මිලදී ගන්නේ. නමුත් 1960 – 1970ට පෙර කොළඹ යුගයේ කවියේ කවිය කවුරුත් රස වින්දා. ඒ කවියේ දුර්වලතා තිබුණත් සමාජ පන්ති හරහා යාමේ හැකියාවක් තිබුණා. ඊට පසුකාලයේ උසස් පෙළ හා ඊට ඉහළට උගත් අය කවි රසවිඳීමට පටන් ගත් විට එය පන්ති තලයකට සීමා වුණා. කවිපොත් එළිදක්වන තැනකට ගිහින් බලන්න. හැමතැනකම එකම රසික පිරිසක් තමයි හමුවෙන්නේ. ඒ පිරිසගෙන් එහාට කවිය ගමන් කළේ නැහැ. මේ නිසා කවිය සමාජගත නොවුණු හාන්සි පුටු කවියක් බවට පත්වුණු බව පේනවා.
කවිපොත් ජනතාව අතරට ගෙනයාමට නම් සමාජගත කළ හැකි කවියක් බිහිවිය යුතුයි. ඒක කවීන් අතින් ඉටුවිය යුතු දෙයක්. හොඳම උදාහරණය ලක්ශාන්ත. ඔහුගේ කවිපොත් තරුණ පරපුර වගේම වැඩිහිටි පරම්පරාවත් කියවා රසවිඳිනවා. ඒකට හේතුව ඔහු සූක්ෂ්ම කවිකම වර්ධනය කරගෙන තිබීමයි.
පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කවියට හා කෙටිකතාවලට රජත පුස්තක දීමට මේ වසරේ සිට ආරම්භ කළා. එය තවම පටන් ගත්තා විතරයි. ඉදිරියේ දී එය සමාජගත වී කවිපොත්වල ඉල්ලුම වැඩි වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම සම්මානය නිසා කවිපොත් පිළිබඳ ප්‍රමිතියක් ද ඇතිවෙනවා.
සරසවි ප්‍රකාශකයන් වශයෙන් අප වෙත කවිපොත් පළකිරීමට ඉල්ලීම් රාශියක් එනවා. නමුත් අපි ප්‍රමිතිය ගැන ලොකු උනන්දුවක් දක්වන නිසා කවිපොත් 5 – 6 ක් වගේ තමයි වසරකට පළ කරන්නේ. ප්‍රමිතියකින් තොර කවිපොත් පළකිරීම කවියටත් කරන අසාධාරණයක් වෙනවා.
අලුත් ප්‍රකාශකයන් කිහිප දෙනෙක් කවිපොත් පළකරන බව පේනවා. ඔවුන් කවිපොත් විකිණෙන බව පැවසීම වැරැද්දක් නොවෙයි. නමුත් මම පෙරදී සඳහන් කළ පරිදි එකම රසික පර්ෂදය අතරේ තමයි කවිපොත් අලෙවි වෙන්නේ. නමුත් විය යුත්තේ කවි රසික තලය වර්ධනය කරගැනීමයි. මේ නිසා විශාල අලෙවි වර්ධනයක් දැකගැනීමට අසීරුයි. එසේ පළවන කවිපොත් දෙවැනි, තුන්වැනි මුද්‍රණ දක්වා යන කවිපොත් නොවේ. පොත් අලෙවිය ලංකාවේ ජනගහනයට සාපේක්ෂව තිබෙන්නේ සතුටු විය හැකි මට්ටමක නොවෙයි. මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක වගේ ලේඛකයන් සිටි වකවානුවේ ජනගහනය මීට වඩා අඩු වුණත් පොතකින් පිටපත් අදට වඩා අලෙවි වුණා.
ඕනෑම කාලයක කවිය සාහිත්‍යාංගයක සූක්ෂ්ම මාධ්‍යයයි. එය අනෙක් නිර්මාණ සාහිත්‍ය මාධ්‍යවල මුලයි. නවකතාවක වචන දහසකින් කියන දේ කවියක පද කිහිපයකින් පවසනවා. කවිය හැමදාම අල්ප පිරිසක් තමයි රස වින්ඳේ.
ලියන කවියේ මිනිසුන්ට වැදගත් දෙයක් ගෙන යා යුතුයි. නමුත් බහුතරයක් කවීන් තුළ එය දැකගත නොහැකියි. කවියා හොඳ භාෂාවක් ගොඩනගා ගත යුතුයි. හුඟක් අය කවි ලියන්නේ පත්තරවලට නවකතා, කෙටිකතා ලියන භාෂාවෙන්. එහෙම නොවේ. කවියා තමන්ටම ආවේණික සියුම් භාෂාවක් නිෂ්පාදනය කරගත යුතුයි. එහෙම සියුම් කවි භාෂාවක් වගාකර ගත් විට මම හිතනවා සාර්ථක කවියෙක් බිහිවේවි කියලා.
I කුසුම්සිරි