ෆාස්ට් පබ්ලිෂින් අධිපති ප්‍රේම් දිසානායක
ශ්‍රී ලංකාවේ ප්‍රකාශන ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් මතුපිටින් දක්නට ලැබේ. ප්‍රකාශන ක්ෂේත්‍රයට සම්බන්ධ තාක්ෂණය සීඝ්‍රයෙන් දියුණු වීම ඊට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැකිය. එහෙත්, ප්‍රකාශන කර්මාන්තයේ මතුපිට දක්නට ලැබෙන දියුණුවට සමාන්තරව එහි ගුණාත්මක පක්ෂය දියුණු නොවීම වර්තමානයේ ප්‍රකාශන ක්‍රියාවලිය මුහුණ පා තිබෙන බරපතළ අර්බුදයකි. මෙම අර්බුදයට හේතුව මුද්‍රණයෙන් නිකුත් කෙරෙන බහුවිධ ප්‍රකාශන හා ප්‍රබන්ධ අධීක්ෂණයෙන් තොර වූ අවිචාරශීලී ඒවා වීමය.
අද වන විට ලේඛකයන් සංඛ්‍යාව බෙහෙවින් වැඩි වී තිබේ. ප්‍රකාශන ආයතන ද රුසකි. එබැවින් ලේඛකයෝ තමන් ලියූ කෘතීන් රැගෙන විශාල වශයෙන් ප්‍රකාශන ආයතන කරා ඇදී එති. ලේඛකයන්ගේ හා ප්‍රකාශකයන්ගේ අදහස ඒවා එක හැල්මේ කඩිනමින් මුද්‍රණය කර වෙළෙඳ පොළ වෙත මුදාහැරීමය. තොග ගණනින් ප්‍රකාශන ආයතන වෙත ලැබෙන මෙම අත්පිටපත් විචාරශීලීව නිරීක්ෂණය කිරීමක්, සංස්කරණය කිරීමක්, වැරදි නිවැරදි කිරීමක් හෝ සමස්ත කෘතිය පිළිබඳ තෙවැනි පාර්ශ්වයකගේ ප්‍රාමාණික විමර්ශනයක් හෝ බොහෝ විට සිදුවන්නේම නැත. එම නිසා හරසුන් කෘති පළවීම මෙන්ම ගුණාත්මක කෘති තවදුරටත් අර්ථසම්පන්න කරගැනීමේ අවස්ථාව ලේඛක ප්‍රකාශක දෙපාර්ශ්වයටම අහිමි වේ.
මීට දශක කිහිපයකට පෙර සාමාන්‍ය නවකතාවක පිටපත් විසිපන් දහසක්, පහළොස් දහසක් හෝ අවම වශයෙන් පන්දහසක්වත් මුද්‍රණය කෙරිණි. ඒ තත්ත්වය මුළුමනින්ම ක්ෂය වී ගොස් අද වන විට පොතකින් මුද්‍රණය වන්නේ පිටපත් දහසක් නැතහොත් පන්සියයක් හෝ දෙසීය පනහකි. සියයක් මුද්‍රණය වන අවස්ථා පවා දක්නට ලැබේ. පිටපත් විසිපන් දහසක් මුද්‍රණය කෙරෙන වකවානුවේ ඒවා උණු කැවුම් මෙන් අලෙවි විය. එදා අද තරම් ජනගහන වර්ධනයක් හෝ නවීන මුද්‍රණ පහසුකම් හෝ තිබුණේ ද නැත. එබඳු තත්ත්වයක් යටතේ වුව පොතක ලේඛකයකු වටා බැඳුණු අතිවිශාල පාඨක රැස් වළල්ලක් සක්‍රීයව පැවතිණි. ඒ යටතේ පොත් ප්‍රකාශනය ඉතා බලගතු කර්මාන්තයක් ලෙසින් පැවති අතර, මුද්‍රණ ක්‍රියාවලිය ව්‍යාපාරික මට්ටමෙන් ඉහළ ස්ථාවරත්වයක් අත්කරගෙන තිබුණි. ඒ යුගයේ මුද්‍රණාලවල බහුල වශයෙන්ම කෙරුණේ ද පොත් මුද්‍රණය පමණි.
එයින් අනතුරුව 56 සමාජ පෙරළියෙන් පසු සංස්කෘතික අමාත්‍යංශය යටතේ සාහිත්‍ය කටයුතුවලට නව ප්‍රබෝධයක් ලැබිණි. ලංකාවේ විද්‍යායතන අතිබහුතරයක් බිහිවිණි. සාහිත්‍ය කලා කටයුතු සඳහා රාජ්‍ය මට්ටමෙන් සම්මාන ප්‍රදානය කරන තත්ත්වයක් ඇතිවිණි. රටේ ජනගහනය වර්ධනය ද සාපේක්ෂව ඉහළ නැංවිණි. මේ සියලු යහපත් සාධකයන් හමුවේ ශ්‍රී ලංකාවේ පාඨක සමාජයෙහි ප්‍රසාරණය වීමක්, විශාලනය වීමක් වේයැයි උපකල්පනය කළ හැකිය.
එහෙත්, ඒ වෙනුවට අද අපට අත්විඳින්නට සිදුව ඇත්තේ කිසියම් ඛේදවාචකයක සලකුණුය. පොත් මුද්‍රණ ඇණවුම පිටපත් දහසක් වැනි ප්‍රමාණයක් දක්වා පහත වැටීම තුළින් දක්නට ලැබෙන්නේ අතිවිශාල පාඨක රැස්වළල්ල ඉහත කී සියලු ධනාත්මක හේතූන් යටතේ ප්‍රසාරණය වීම වෙනුවට බරපතළ ලෙස ක්ෂය වීමට ගොදුරු වී තිබීමය.
ජනගහනය දෙගුණ තෙගුණ වී, රටේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථාන, විද්‍යායතන විශාල ලෙසින් බිහි වී, මුද්‍රණ තාක්ෂණය නවීන පහසුකම් යටතේ දියුණු වී රාජ්‍ය සම්මාන ඇතුළු වාර්ෂික සම්මාන උළෙලවල් රැසක්ම ක්‍රියාත්මකව පවතිද්දීත් පාඨක සංඛ්‍යාව මෙසේ ක්ෂය වීමට හේතුව කුමක්දැයි දැන්වත් විචාරශීලීව අවධානය යොමුකර බලනු වටී. මෙවැනි තත්ත්වයක් උදාවීමට හේතු වූයේ සාහිත්‍ය කෘතිවල ගුණාත්මකභාවය පිළිබඳ පාඨක විශ්වසනීයත්වය බිඳී යාමය. ලිව්වා ගැහැව්වා න්‍යායෙන් කඩදාසිවල තීන්ත තැවරීම ප්‍රකාශනය ලෙසින් පිළිගන්නා තත්ත්වයක් යටතේ විවිධ දෝෂ සහිත අත්පිටපත්, අක්ෂර වින්‍යාස රහිත අත්පිටපත්, උක්ත ආඛ්‍යාත සම්බන්ධතාවයවත් නිවැරදි නොවූ ව්‍යාකරණ දෝෂ සහිත අත්පිටපත් කිසිදු සමීක්ෂණයකින් තොරව ගහන්නන් වාලේ අයාලේ මුද්‍රණයෙන් බිහිවීම මේ අර්බුදය තවත් තීව්‍ර කළේය. පළකෙරෙන කෘතීන් පිළිබඳ පෙර විමසුමක් හෝ පසු විපරමක් හෝ නොකෙරෙන තත්ත්වයක් යටතේ හිතූමතේ පොත් ගැසීමේ ප්‍රකාශන කලාව විසින් අද අත්කර දෙනු ලැබ ඇති දුර්විපාක හමුවේ ප්‍රකාශන කර්මාන්තය බරපතළ අනතුරකට මුහුණ පා සිටී. ප්‍රකාශන තාක්ෂණය සංඛ්‍යාත්මකව දිනෙන් දින වර්ධනය වුවත්, ගුණාත්මක පක්ෂයෙන් සිදු වූ පිරිහීම ප්‍රකාශන කර්මාන්ත වගකිවයුත්තන්ගේ නිසි අවධානයට යොමු වී නැති බැව් කනගාටුවෙන් වුවද පළ කළ යුතුව තිබේ.
අද ලංකාවේ පොත් ප්‍රකාශන රටාව ඔස්සේ ලේඛකයකුට තමන් ලියන ඕනෑම දෙයක් තම හිතූමතේට පළකිරීමේ මුග්ධ අයිතිවාසිකමක් ඇත. එහෙත් විදේශවල ප්‍රකාශන සමාගම්වලට පළ කිරීම සඳහා ලැබෙන සෑම අත්පිටපතක්ම සමීක්ෂණයට බඳුන් කොට විචාරශීලීව ඒවායේ ගුණ දොස් විමසා අතිශයින් නිවැරදි වූ පිටපතක් ප්‍රකාශනය සඳහා සූදානම් කිරීමේ කාර්යය සඳහා සැදී පැහැදී සිටින පිටපත් සංස්කාරකවරුන් (Copy Editors) පිරිසක් සිටිති. කර්තෘගේ ලේඛනයට හානියක්, විකෘතියක් නොවන පරිදි එම කෘතිය වඩාත් පිරිපහදු කර සංවර්ධනය කිරීම මෙහි අරමුණ ලෙස දැක්විය හැකිය. එම අත්‍යවශ්‍ය සමීක්ෂණ ක්‍රියාවලියෙන් උසස් කෘතිවල පවා කර්තෘගේ අතපසුවීමෙන් සිදු වී ඇති යම් යම් අඩුලුහුඩුකම් දුරුකෙරෙන අතර, ඇතැම් දුර්වල පිටපත් ප්‍රකාශනයෙන් ප්‍රතික්ෂේප වීම ද සිදු වේ. මෙය අද දියුණු රටවල ප්‍රකාශන ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන විචාරශීලී, සංවර්ධනාත්මක ක්‍රියා පිළිවෙතකි. අවාසනාවකට ශ්‍රී ලංකාවේ මෙවැනි සංස්කෘතියක් ගැන අසන්නටවත් නැත. ලේඛකයා එවැනි සංස්කෘතියකට ඇතුළත් වන්නට රිසි වන්නේ ද නැත. තමන් ලියූ දේ තවත් පිළිගත් බුද්ධිමත් පාර්ශ්වයක සමීක්ෂණයකට ලක් කරවීමටත්, ඇතැම් විට දක්වන නොකැමැත්ත මෙම අර්බුදය තව තවත් උග්‍ර අතට හරවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රකාශන කර්මාන්තය මේ වන විට පවතින්නේ එවැනි ඛේදජනක අනතුරුදායක පසුබිමකය. එම නිසා පිටපත් විසිපන් දහසේ සිට දහස දක්වා අවරෝහණයට ලක් වූ පාඨක සමාජය යළි විශ්වසනීයත්වයට කැඳවීමේ වගකීම ඇත්තේ ලේඛක - ප්‍රකාශක දෙපාර්ශ්වයටම පමණි. එම දෙපාර්ශ්වයේ වගකීම පාඨකයා තෘප්තිමත් කිරීමය. පියදාස සිරිසේනගේ නවකතාවක් පිටපත් 25,000 ක් අලෙවි වූයේ එම පොත් එදවස පාඨකයා කියවීමට පෙළඹ වූ රුචිකත්වයෙන් පෝෂිත වූ නිසාය. පොත් කියවීම ආනන්දයෙන් පටන් ගත හැකි නම් වඩාත් ගැඹුරු පතපොත පරිශීලනය හරහා ඒ ආනන්දය ප්‍රඥාව කරා මෙහෙයවිය හැකිය. පාඨකයාට කියවන දෙයින් තම විශ්වාසය බිඳෙන්නේ නම් ඔහු තවත් පොතක් කියවීම දක්වා අභිරුචියෙන් ගමන් කරන්නේ නැත.
තවමත් ශ්‍රී ලංකාවේ පුවත්පත් ප්‍රකාශකයන් ඉහත කී අර්බුදයට ගොදුරු වී නොමැති බැව් වෙසෙසින් සඳහන් කළ යුතුය. පුවත්පත් සංස්කරණයේ දී ඕනෑම කෙනෙකු එවන ඕනෑම ලිපියකට ඉඩක් ලැබෙන්නේ නැත. ගුණාත්මක වශයෙන් යම් මට්ටමක ඇති ලිපි පවා පළකෙරෙන්නේ සංස්කරණයකට යටත්වය. දෝෂ සහිත දුර්වල බංකොලොත් ලිපි නවතින්නේ කුණු කූඩයේය. පොත් ප්‍රකාශනයේ දී ද පුවත්පත් අනුගමනය කරන ඒ පිළිවෙත ඊටත් වඩා ඉහළින් පිළිපැදිය යුතුය. මන්ද පුවත්පතක් දිනකින් හෝ සතියකින් හෝ කල් ඉකුත් වූ දෙයක් බවට පත් වුවත්, පොතක් සමාජගත වීම ඊට වඩා බොහෝ පෘථුල කටයුත්තක් වන හෙයිනි.
වෙනත් භාෂාවලින් සිංහලයට පරිවර්තනය වන කෘතීන් ද ස්වතන්ත්‍ර කෘතීන් මුහුණ පා සිටින අර්බුදයේම ගිලී ගොස් තිබෙනු පෙනේ. කෘතියක් පරිවර්තනය විය යුත්තේ සංස්කෘතිමය පදනමක පිහිටාය. වචනයෙන් වචනයට පරිවර්තනය කිරීමෙන් මුල් කෘතිය අනුදත් සංස්කෘතික පදනම පාඨකයාට ආස්වාදනය කරන්නට ලැබෙන්නේ නැත. පරිවර්තනය සංස්කෘතික වශයෙන් සිදුවීමට නම් අදාළ කෘතිය ලියැවුණු රටේ ජනශ්‍රැතිය, සමාජ පසුබිම, විශ්වාසයන්, ඇදහිලි හා ආචාර ධර්ම ඇසුරින් එය පෝෂිත විය යුතුය.
නිදසුනක් ලෙස ආදිවාසීන් ගැන ලියැවුණු කෘතියක් වෙනත් බසකට පෙරළීමට නම් ආදිවාසි සංස්කෘතිය පිළිබඳව පරිවර්තකයාට මනා අවබෝධයක් තිබිය යුතුය. එසේ සංස්කෘතිය නොදැන කරන පරිවර්තන කෘතිවල දී මේ සියලුම කරැණු කෙරෙහි සැලකිලිමත් විය යුත්තේ ඒ නිසාය. තම කෘතීන් තෙවන පාර්ශ්වයක විමර්ශනයට ලක් කරන්නට හෝ ඒ ගැන සුළු අඩුලුහුඩුකමක් හෝ දක්වා නිවැරදි කරනවාට අකමැති ඇතැම් ලේඛකයෝ හිතුවක්කාරී ලෙස තනි මතයට තම පොත් පළ කරමින් සාහිත්‍යයේ සුගතිය වෙනුවට අගතියට පාර කපමින් සිටිති.
ශ්‍රී ලංකාවේ ප්‍රකාශන ක්ෂේත්‍රයේ අවිධිමත් භාවයට ඉහත සඳහන් හේතු කාරණා මෙන්ම, තවත් බරපතළ සාධකයක් ද බලපා ඇත. එනම් නිවැරදි, අපක්ෂපාතී, අදීන විචාර කලාවක ඇති අඩුපාඩුවයි. කෘතියක් පිළිබඳව මැදහත් අව්‍යාජ විචාරයක් වෙනුවට අද දක්නට ලැබෙන්නේ එක්කෝ හිත මිතුරන්ට ආවඩන පක්ෂග්‍රාගී විචාර පල් හෑලිය. එසේ නැත්නම් තම එදිරිවාදිකම් පිරිමසා ගන්නා ප්‍රහාරාත්මක ගැරහිලිය. මේ ආවැඩීම්වලින් හා ගැරහීම්වලින් තොර ස්වාධීන මැදහත් විචාර කලාවක ඌනතාව ද පාඨක පිරිස සාහිත්‍යයෙන් දුරස් වීමට බලපාන තවත් බලගතු සාධකයක්ව පවතී. කිසියම් කෘතියක්, නිර්මාණයක් පිළිබඳව පාඨකයන්ගේ දැනුම වඩන, පරිකල්පන ශක්තිය පුළුල් කරන, රසවින්දනයට අත්වැලක් සපයන සමබර විචාර කලාවක පිපාසාව ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයට හා ප්‍රකාශන කාර්යාවලියට දැනෙන්නේ බොහෝ කලක සිටය. නිවැරදි දැක්මක්, දැනුම්වත්භාවයක් නොමැතිකමින් අවිචාරශීලීව අයාලේ යන සාහිත්‍යයෙන් පාඨකයින් දුරස් වෙමින් පැවැතීම බරපතළ පරිහානියකට හේතු කාරණා සපයා ඇත.
කෙසේ වෙතත් ඉහතින් සඳහන් වූ මූලාශ්‍රයන්ගේ හේතු සාධක මත ශ්‍රී ලංකාවේ ප්‍රකාශන ක්ෂේත්‍රය මුහුණ දී ඇති බරපතළ අභියෝගයන් රැසකට ඉක්මන් විසඳුම් හා පිළියම් නොයෙදුවහොත් ප්‍රකාශන කර්මාන්තය නුදුරු අනාගතයේදීම බරපතළ අර්බුදයකට යාම වළක්වනු නොහැකිය.
ශ්‍රී ලංකාවේ පොත් ප්‍රකාශනය පිළිබඳව පවතින අවිධිමත් භාවය සම්බන්ධව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ද නිසි අවධානය යොමු වීම ඉතා වැදගත්ය. වාර්ෂිකව පවත්වන ජාතික මට්ටමමේ පොත් ප්‍රදර්ශනයක් හරහා පොත් පිළිබඳ ප්‍රදර්ශනාත්මක ප්‍රගතියක් අත්පත් කර දීමෙන් සුවිශිෂ්ට මෙහෙවරක් ඉටු කර ඇති ප්‍රකාශකයන්ගේ සංගමය එහි ගුණාත්මක සංවර්ධනය පිළිබඳව ඉදිරියේ දී වැඩි අවධානයකින් කටයුතු කිරීමෙන් මෙම අර්බුදයට පිළියම් සෙවීමේ මූලික පදනම ස්ථාවර කළ හැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රකාශකයන් තුළට නිවැරදි පොත් ප්‍රකාශනය පිළිබඳ යුතුකම හා වගකීම කාන්දු කරවීමත්, ප්‍රකාශනයට පත්වන කෘතීන් පිළිබඳ ඉහතින් දැක්වුණු ප්‍රතිපත්තීන් සමස්ත ප්‍රකාශන ක්ෂේත්‍රය තුළ සංස්කෘතියක් ලෙසින් ස්ථාපිත කිරීමේ පූජනීය වගකීමට උර දීමත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය හමුවේ ඇති මූලික හා අත්‍යවශ්‍ය අභියෝගයයි.
කඩිනමින් නිසි පිළියම් යෙදීමෙන් මෙම අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට හැකි වුවහොත් අනතුරක අභිමුව ගරා වැටෙමින් පවතින පොත් ප්‍රකාශන කර්මාන්තය ගොඩනැඟීමේ ජාතික කර්තව්‍යයට දායක වීම පිළිබඳ ඉහළම සම්මානයෙන් ප්‍රකාශකයන්ගේ සංගමය නිරන්තරයෙන් පිදුම් ලබනු නිසැකය