2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ලියනවනම් පොත!

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

වාර්ෂිකව පැවැත්වෙන බී.එම්.අයි.සී.එච්. පොත් ප්‍රදර්ශනය ලංකාවේ සංස්කෘතික උත්සවයක් බවට පත්ව තිබේ. මා එයට කැමතිය. දිනක් හෝ දෙදිනක් එහි ගොස්, පාඨක - නොපාඨක ජනී ජනයා අතරේ තෙරපෙමින්, කලකින් මුණනොගැසුණු මිතුරන් ද හමුව තෙල බෙදමින් කල්ගත කිරීමට, කල්තියාම සැදී පැහැදී සිටීම මගේ සිරිතකි.

එපමණක් නොව අතේ මිටේ තිබෙන හැටියට පොත්පත් කීපයක් ද මිල දී ගන්නෙමි. ගිය වතාවේ ගත් පොත් අතරින් දෙක තුනක් තවමත් කියවීමට නොහැකිව, ගොඩගසා තිබේ. මේ වතාවේ ගන්නා පොත් ද, ඒ නොකියැවූ පොත් මතට ගොඩගසමි. පොත් ප්‍රදර්ශනයේ දී ප්‍රධාන කාරණාව වන්නේ, එක්සයිස් පොතක් හෝ මිල දී ගැනීමය. කියැවීම යනු දෙවැනි කාරණාවය. අපගේ මිත්‍ර ග්‍රන්ථ ප්‍රකාශකයකු, මෙම උළෙලට සරදම් කර තිබුණේ ව්‍යාපාරික සතිය යනුවෙනි. එහි යටි අරුතක් තිබෙන බව සැබෑය. එහෙත්, පොත් මිල දී නොගන්නා අය පවා, පොත් නරඹමින් යාම පවා ආස්වාදජනක නොවන්නේද?

ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මගින් පොත් ප්‍රදර්ශනය නැරඹීමට යාමට එක්දින නිවාඩුවක් ද, පොත් මිල දී ගැනීමට පාරිතෝෂික දීමනාවක් ද (අඩුම තරමින් Book fair Advanced එකක්) දෙන්නේ නම් එය ඉතා වටිනේය.

පසුගිය දිනෙක පොත් ප්‍රදර්ශනයට ගිය මට බණ්ඩාරනායක ශාලාවේ පිවිසුම් දොරටුවට මඳක් ඈතින් පිහිටි ජල තඩාගය අසල හිඳ, දොම්නස් පෙනුමින් යුතුව සිටි මගේ මිතුරකු දක්නට ලැබුණි. ආරියතිලක නමැති ඔහු ද ලේඛකයෙකි.

මොකද ආරි, ස්වර්ණ පුස්තකේ මිස් වුණා වගේ අප්සෙට් එකෙන්?

මම ද ආරි පසෙකින් හිඳගනිමින් ඇසුවෙමි.

මම පොත් ලිවීම අතඇරලා දාන්න තීරණය කෙරුවා.

ආරි දුක්මුසු හඬකින් කීය.

ඒ මොකෝ...? කවුරු හරි කර්තෘ භාගෙට පොල්ල තිබ්බද?

එහෙමනම්, මම මේ තීරණෙ ගන්නෙ මීට අවුරුදු දහ පහළොවකට කලින්නෙ.

එහෙනම් මොකක්ද ප්‍රශ්නෙ?

මගෙ හිත කලකිරුණා. අපි පොත් ලියලා වැඩක් නෑ.

මොකක්ද හේතුව කියමුකො ආරි?

දැන් අපි පොත් ලියලා වැඩක් නෑ. අපේ පොත් විකිණෙන්නෙ නෑ. හැම අවුරුද්දෙම වෙන කවුරුහරි කෙනෙක් අපේ චාන්ස් එක උදුරගන්නවා.

සම්මාන ලැබෙන පොත් හොඳට විකිණෙනවා. ඒකේ වැරැද්දක් කියන්න බැහැනෙ.

සම්මානකාරයො ගැන නෙවෙයි මම කියන්නෙ. පොත් ප්‍රදර්ශනේම ටාගට් කරලා පොත් ලියන පොඩි පොඩි උදවිය ගැනත් නෙවෙයි. පොළ තියෙන දාට එපැයි බඩු ගෙනියන්ඩ.

එහෙනම් කා ගැනද මේ කියන්නෙ?

දැන් බලන්ඩ... ගිය අවුරුද්දෙ මිනිස්සු පෝලිමේ ඉඳලා ගත්තෙ කාගෙ පොතක්ද? සාහිත්‍යකාරයෙක්ගෙද?

නවකතාකාරයෙක්ගෙද? නෑ. හමුදාවේ ලොක්කෙක්ගෙ පොතක්.

මිනිස්සු කැමතියි යුද්දෙ ඇතුළෙ තිබුණු ඇත්ත විස්තර දැනගන්න.

ඒක එහෙමයි කියමුකො. මේ අවුරුද්දෙ මොකද වෙන්නෙ. ලොක්කගෙ දුව පොතක් ලියල දාලා, ඒක ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් වගේ විකිණෙනවා.

හැම අවුරුද්දෙම අලුතෙන් ලේඛකයෙක් බිහිවෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනෙ නේද?

පොතක් ප්‍රකාශයට පත් කරපු පමණින් ලේඛකයෙක් වෙනවද කියන එකත් ප්‍රශ්නයක් නේද? මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක, එදිරිවීර සරච්චන්ද්‍ර, ජී.බී. සේනානායක, සයිමන් නවගත්තේගම වගේ අය පොත් ලිව්වෙ මොන තරම් දුක් මහන්සි වෙලාද... ලෝක සාහිත්‍ය හදාරලා, ජීවිත කාලයම කැප කරලනෙ ඒගොල්ලො පොත් ලිව්වෙ.

ආරි සමඟ ප්‍රතිතර්ක නගන්නට නොගිය මම, හෙමින් සීරුවේ එතැනින් නික්මුණෙමි.

සම්මන්ත්‍රණ ශාලා පියගැට පෙළේ හිඳ සිටින ඉන්දික ෆර්ඩිනෑන්ඩු නමැති නාට්‍යවේදියා දැක මම එහි ගියෙමි. හෝ ගානා පොකුණචිත්‍රපටයේ අධ්‍යක්ෂක ද ඔහුය.

කොහොමද ඉන්දික? දැන් නාට්‍ය කලාව අතෑරලා දාලද? කාලෙකින් ඔයාගේ නාට්‍යයක් දැක්කෙ නෑ.

ඒ ඇසූ ඉන්දික මා දෙස රවා බැලුවේය.

අපිට නිකං සවුත්තුව දාන්ඩ එපා.

අනේ ඇයි ඉන්දික එහෙම කියන්නෙ? මම ඔයාගෙ නිර්මාණ අගය කරන කෙනෙක්නෙ.

එහෙමනම් ඔයා මට වෙලා තියෙන වින්නැහිය දන්නෙ නෑ වගේ.

නෑ, නෑ, මොකද්ද?

මම ආයෙ නාට්‍ය හදන එක නවත්තන්ඩ තීරණය කරලා ඉන්නෙ.

ඒ මොකද?

මගේ නාට්‍යයේ නම කොපි කරලා පොතක් ගහලනෙ. දැන් මිනිස්සු හිතයි, මම ඒ පොතෙන් කොපි කරලා නට්‍යයක් හදලා කියලා.

මොකක්ද පොත...? මොකක්ද නාට්‍ය?

ජනාධිපති තාත්තා!

හත් දෙයියනේ! ඒක මට දැන්නෙ මතක් වුණේ. අපේ ගිහාන් ප්‍රනාන්දුනෙ ජනාධිපතිට රඟපෑවේ. රාජ්‍ය නාට්‍ය උළෙලකටත් තේරුණානෙ ඒ නාට්‍ය...

ඒකනෙ කියන්නෙ... දැන් මට මේ නාට්‍ය පොතවත් මුද්‍රණය කරල කීයක්වත් හොයාගන්න විදිහක් නෑනෙ.

ඉන්දික, මම ඔයාට විකල්පයක් කියන්ඩද? ඔයා නාට්‍යයෙ නම වෙනස් කරන්ඩ ජනාධිපති අප්පච්චි කියලා.

ඒකත් නරකම නෑ තමයි.

ඉන්දික මඳ සිනාවක් පෑවේය. මම එතැනින් ද පිටවුණෙමි. 

එදින සවස මට ග්‍රන්ථ ප්‍රකාශක මිත්‍රයෙක් මුණගැසුණි.

දන්නවද ලබන අවුරුද්දෙ වැඩිපුරම විකිණෙන පොත ගැන?

නෑ, නෑ, මොකක්ද?

අනාගත ජනාධිපති

කවුද කර්තෘ?

කර්තෘ අඥාතයි ප්‍රකාශකයා උස් හඬින් සිනාසුණේය.

කපිල කුමාර කාලිංග

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00