2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

මරුවාට දන්දුන් දරුවෝ

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

දුක සතුට මැද ගෙවන පුදුමාකාර ජීවිතය සැබැවින්ම අවිනිශ්චිතය. දරුවන් සතුටින් තබා හෙට දවසේ අනාගතය යහපත් කරන්නට මවුපියන් දරන වෙහෙස අපමණය. ඒ සියලු මහන්සිය කැපකිරීම නිෂ්ඵල කරමින් ජීවිත කාටත් හොරා මෙලොවින් තුරන් වේ නම් එය දෛවය බව සිතීම පමණක් සාධාරණද?

 

පුංචි දරුවන් නිරන්තරයෙන්ම ලස්සන සුවඳ විහිදන මලක් හා සම කරන්නේ ඔවුන්ගේ නොකැලැල් සිත් සහ වෑහෙන කිරි සුවඳ නිසාමය. එමෙන්ම සවිමත් බවින් තොර ළාමක නිසාය. දරුවන්ගේ ලෝකයට ඇවැසි රැකවරණය නොලැබීමෙන් වන විපත් හා පලායන සතුට වළකාලිය නොහැකි තරම්ය. මෙවැනි විවිධාකාර හේතූන් නිසා අකාලයේ මිලින වූ දරුවන්ගේ ජීවිත අතරට පසුගියදා සංවේදී සිදුවීම් පෙළක් වාර්තා විය. ඒ සිදුවීම් හේතුවෙන් දින හතක් වයසැති බිළිඳකු හා තවත් කුඩා දැරියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ අවාසනාවන්ත ලෙසය.

හබරණ, සාම්පූර් සහ ගලෙන්බිඳුණුවැව යන ප්‍රදේශවලින් වාර්තා වූ මෙකී සිදුවීම් පිළිබඳව අපි සොයා බැලුවෙමු. 

හබරණ ප්‍රදේශයේ දී දින හතක් වයසැති බිළිඳියක බල්ලකු සපාකෑම හේතුවෙන් මියගොස් තිබූ අතර, සාම්පූර් ප්‍රදේශයේ දරුවකුට ඖෂධ වර්ගයක් බව සිතා වෙනත් දියර වර්ගයක් පානය කිරීමට ලබාදීම නිසාද ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ දැරියකගේ සිරුර මතට දැව උළුවස්සක් වැටීමෙන් ද අවාසනාවන්ත මරණ සිදුව තිබුණි.

නිරෝෂා කුමාරි හා සම්පත් කුමාර යුවළ විවාහ වී වසර එකහමාරක් පමණි. ස්ථිර රස්සාවක් නොවූයෙන් ලැබෙන ඕනෑම කුලියක් සිදුකර ජීවිකාව ගෙන යාමට සම්පත් උත්සාහවන්ත විය. ගැබිනියකව සිටි නිරෝෂා සිය කුළුදුල් පිරිමි දරුවා බිහිකර තිබුණේ පසුගිය 10 වැනිදාය.

කිරි සුවඳ විහිදුවමින් දරුපැටියා නිවෙසට කැටුව ආවද දුප්පත්කමේ අගාධයට වැටී සිටි සම්පත් නිරෝෂා යුවලට දරුපැටියා සතපවන්නට සුවපහසු ඇඳ ඇතිරිලි නොවීය. නිවසක් බව කියන්නට හැකි කාමරයක් පමණක් වූ එහි අවම පහසුකම් වශයෙන් පුටුවක් මේසයක් හෝ නොවීය. මේ නිසා කිරිකැටි දරුපැටියාට යහන වූයේ ගෙබිම එලූ ඉටිරෙදි කීපයකි. නිවසේ මුළුතැන්ගෙය වශයෙන් භාවිතයට ගැනුණේ පොලිතින් ඉටිරෙදිවලින් වටකොට ගත් කොටසකි.

දින 7 ක් වූ බිළිඳාගේ ආදරණීය පියා වෙනදාටත් වඩා කලින් රැකියාවක් සඳහා පිටත්ව ගියේ වේලාසනින් ගෙදර එන බලාපොරොත්තුවෙනි. සැමියා ගෙදරට එන්න මත්තෙන් ආහාරය සඳහා යමක් පිළියෙළ කරන්නට සිතුවද සුදුසු යමක් නිවස හරියේ තිබුණේ නැත. කිරිකැටියා කාමරයේ බිම නිදාසිටිය දී මව මොහොතක් එළියට බැස තිබුණේ අසල්වැසි නිවෙසින් හාල් ටිකක් ඉල්ලා ගැනීමටය. නිවෙස පුරා ඉතිරෙන කිරි සුවඳ ගෙවත්ත පුරා හමායමින් තිබුණි. අහල පහළ නිවෙසක හුරතලයට ඇති කරන සුනඛයෙක් ගෙවත්තට ඇතුළු වූයේ මේ මොහොතේය. කිරි සුවඳට ඉවකරමින් පැමිණි සුනඛයා කුඩා කාමරයට ගිය සැණින් නින්දේ සිනාසෙමින් උන් කිරිදරුවා දැක ඔහුට ඉව කළේය. උණු ලේ කිරි රසට ලොල් වූ සුනඛයා මොහොතක් යන්නට පෙර දරුපැටියාගේ හිස පෙදෙස සපා දැමුවේය. එසැණින් හැඬූ දරුපැටියාගේ හඬට බිය වූ සුනඛයා තරමක් ඈත්වුවද මඟහැර ගියේ නැත. හඬන දරුවාගේ ශබ්දය ඇසී දිව ආ මව එතැනට එද්දීම සුනඛයා කාමරයෙන් පිටට දුවයනු දුටුවාය. ඒ වන විටත් හඬන දරුවාගේ හිසේ තැන් කීපයකින් රුධිරය වහනය වෙමින් තිබූ නිසා දරුවාගේ හිස බල්ලා සපන්නට ඇතැයි අනුමාන කරමින් රෝහල වෙත රැගෙන යන්නට අසල්වැසියන් සහාය කරගෙන තිබුණි. රෝහල්ගත කළ දරුවා ටික වේලාවකින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වෛද්‍ය පරීක්ෂණයේ දී අනාවරණය කෙරැණේ සුනඛ දත්පහරවලින් හිස්කබලට සිදු වූ තුවාල නිසා මරණය සිදුව ඇති බවය. නාමල්පුර ආසිරිගම ප්‍රදේශයෙන් වාර්තා වූ මේ අවාසනාවන්ත මරණය පිළිබඳව හබරණ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරති.

වෛද්‍ය නිර්දේශය අනුව භාවිතයට නියම කළ දියරමය ඖෂධ වර්ගයක් වෙනුවට වෙනත් දියරයක් පානය කළ දැරියක් අවාසනාවන්ත අයුරෙන් මියගොස් තිබුණේ සාම්පූර්, කට්ටපරිච්චාන් ප්‍රදේශයේදීය. එහිදී මියගොස් තිබුණේ ශිවකාන්තන් ප්‍රශ්මි නැමැති සිව් හැවිරිදි දැරියකි. ක්‍රිශ්නවේනි සහ ශිවකාන්තන් යුවලට දාව උපන් ප්‍රශ්මි හුරුබුහුටිය. දඟකාර සිඟිත්තියක් වූ ඇය ඉතා කටකාරය. සැබැවින්ම දඟකාර ඇයව එකතැනක තබාගැනීමට මවුපියන්ටත් අසීරු තරමය.

ක්‍රිශ්නවේනි හා ශිවකාන්තන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන යුවළකි. ඔවුනට අයත් සිල්ලර වෙළෙඳසල නාමල්අඩි ප්‍රදේශයේ පිහිටා තිබුණි. අලුයමින් වෙළෙඳසල වෙත පිටත් වන ශිවකාන්තන්ගේ සහායට බිරිය යාම පුරුද්දකි. මේ නිසා හත්මසක ගැබිනියකව සිටි ඇය ක්‍රිශ්නවේනි දියණියත් කැටුව ගියාය. එබැවින් දවසේ වැඩි කාලයක් තිදෙනාම ගත කළේ වෙළෙඳසල පරිශ්‍රයේය. ඔවුන් නැවත නිවසට පැමිණෙන්නේ රාත්‍රී 8.00ට පමණය.

පසුගිය 14 වැනිදා පස්වරුවේ සුපුරුදු ලෙසින් පිරිස නිවසට පැමිණි අතර දැරියගේ තාත්තා රූපවාහිනිය නරඹන්නට විය. දියණියට ඒ මොහොතේ කැස්සක් ඇතිවූයෙන් තමාට හුරුපුරුදු පිරිටන් දියරය පානය කරන්නට සූදානම් වූවාය. ඒ පිළිබඳව ඇය හොඳින් දැන සිටියද ඒ මොහොතේම විදුලිය විසන්ධි වූ බවද පැවසේ. ඒ අතරතුර මේසය කොනක තිබූ බෝතලය අතට ගත් දැරිය වෙනදා පුරුද්දට දියරය පානය කළාය. අවාසනාවකට මෙන් දැරියගේ නොදැනුවත්කම මත ඇය පානය කර තිබුණේ පිරිටන් දියරය නොව මීතයිල් සැල්සිලේට් නැමැති තෙල් වර්ගයකි. එය දැරියගේ පියාගේ පාදයක ගෑම සඳහා ගෙන ආ එකකි. කෙසේ හෝ බෝතල් දෙක අසුරා තිබී ඇත්තේ එකම තැනකය.

මොහොතකට පසුව දැරියට වමනය ඇති වී තිබෙන අතර, දියණිය පවසා ඇත්තේ උදරය රිදෙන බවකි. වැරදීමකින් මීතයිල් සැල්සිලේට් පානය කර ඇති බව හඳුනාගත් දැරියගේ පියා එම දියරයෙන් ස්වල්පයක් පානය කර බලා ඇති අතර දැරියගේ වේදනාව නිසා ඇය රාත්‍රී 9.30ට පමණ මූතූර් රෝහල වෙත ඇතුළත් කර ඇත. එහිදී අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඇය වහාම ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කරන්නට පියවර ගෙන තිබුණි. නමුත් රාත්‍රී 12.00ට පමණ දැරිය ජීවිතක්ෂයට පත් වූවාය. වෛද්‍ය පරීක්ෂණයේ දී සනාථ කෙරුණේ විෂ ශරීරගත වීම නිසා මරණය සිදුව ඇති බවය. ඇගේ සිරුරු කොටස් වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රසපරීක්ෂක වෙත යොමු කරනු ලැබීය. සාම්පූර් පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ ඇතුළු නිලධාරීන් විමර්ශන සිදු කළහ.

මේ ආකාරයේ තවත් සිව් හැවිරිදි දියණියකගේ අවාසනාවන්ත මරණයක් වාර්තා වූයේ ගලෙන්බිඳුණුවැව, ටැජපහ ප්‍රදේශයෙනි. පසුගිය 15 වැනිදා සවස සිදුව ඇති එම ඛේදවාචකයට හේතුව වූයේ නිවසක බිත්තියට හේත්තු කර තිබූ දැව උළුවස්සක් දැරියගේ සිරුර මතට ඇද වැටීමය.

සම වයසේ දැරියන් තිදෙනකු එකට සෙල්ලම් කරමින් සිටි අතර එම නිවසේ දරුවාගේ මව අසල්වැසි නිවෙසට ගොස් කතාබහක නිරත වෙමින් සිට ඇත. මෙහිදී සෙල්ලමේ නිරත දරුවන් දුවපැන යමින් සිටිය දී මිදුලේ බිත්තියට හේත්තු කර තිබූ උළුවස්සක් අතරින් රිංගන්නට උත්සාහ කර ඇත. එහිදී රූටාවිත් පහත් වූ උළුවස්ස එක් දැරියකගේ සිරුර මතට ඇදවැටී තිබේ. ඒත් සමඟම කෑගසන්නට වූ දැරියගේ හඬ ඇසී නිවැසියන් එතැනට පැමිණ වහාම දැරිය එතැනින් ඉවත් කර තිබුණත්, දැරිය අපහසුතාවයෙන් පෙළෙන බව දැක රෝහල්ගත කරන්නට පියවර ගෙන ඇත. එහෙත් රෝහල පෙනි පෙනී ඇය ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා විය. සිද්ධිය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වූයේ දැරියගේ සිරුර තැලීමෙන් පෙනහළුවලට සහ ධමනිවලට රුධිරය බැහැර වීම නිසා මරණය සිදු වූ බවය. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මහින්ද දිසානායක, පොලිස් සැරයන් 15119 ඊරියගොල්ල යන මහත්වරු විමර්ශන සිදු කළහ.

දින කීපයක් තුළ වාර්තා වූ කුඩා දරුවන්ගේ අවාසනාවන්ත මරණ කීපය සම්බන්ධයෙන් විමසීමේ දී වැඩිහිටියන් දරුවන් පිළිබඳ අවධානය යොමු නොකිරීම ප්‍රධාන හේතුවක් බව අනාවරණය වී තිබේ. එම හදිසි අනතුරු මරණ සියල්ල සිය නිවෙස්වල සිටියදීම සිදු වූ ඒවා වීමත් විශේෂිතය එබැවින් දරුවන් පිළිබඳව මව්පියන් මෙන්ම වැඩිහිටියන්ගේ අවධානය මීට වඩා යොමු කිරීම අත්‍යාවශ්‍ය නොවේද?

I සමන්ත ප්‍රදීප් විල්තෙර