ඔන්න අපි කස්ටියක් එකතු වෙලා මේ සමාජය වඩා යහපත් තැනක් කරන අරමුණින් පොඩි ඉගැන්වීමක් පටන් ගන්නවා.. අපි ඒකට නම දාමුකො එක්ස් දර්ශනය කියලා.. සමාජයේ හොඳයි කියලා සම්මත වෙලා තියන හර පද්ධතිය තමයි ඒකෙ පදනම වෙන්නෙ . කිසිදු සත්ත්වයෙක්ට ගහකොළකට හිංසාවක් පීඩාවක් නොකර ජීවත් වෙන්න මිනිස්සුන්ට උගන්නන එක තමයි ඒකෙ අරමුණ වෙන්නෙ.. ඒ දර්ශනය පිළිගන්න ගමන් තව මොනවහරි ආගමක ජාතියක හිටියට ඒක බාධාවක් වෙන්නෙ නෑ.. තමන් එක්ස් දර්ශනයට අනුගත වෙලා ඒ විදිහට හැසිරෙනවනම් සමාජයට ලෝකයට කරදරයක් නොවී ජීවත් වෙනවනම් ඒ හොඳටම ඇති.. ජාති ආගම් භේද නැති කරලා ජීවත් වෙන්න.. කුලය ගෝත්‍රය හමේ පාට ආර්ථික තත්ත්වය මත අසාධාරණයට ලක් නොවී ජීවත් වෙන විදිහ.. අසාධාරණවලදී.. ප්‍රශ්නවලදි ආයුධ අතට නොගෙන තමන්ගෙ මතය අවිහිංසාවාදිව ගොඩනගන්න.... වෛරයකින් කෝපයකින් තොරව අවිහිංසාවාදීව සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන්න.. නිදහස් නිවහල් පුරවැසියන් විදිහට ජීවත් වෙන්න.. අනිත් හැමෝටම උදව් කරගෙන තියෙන සම්පත්වලින් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න වගේ දේවල්..
හරි ඔය විදිහට ප්‍රචාරය ආරම්භ කරනවා..ධර්මය ප්‍රචාරය කරන්න තනියම අපහසු නිසා එක්ස් දර්ශනයට කැමති කිහිපදෙනෙක්ගෙ කණ්ඩායමක් පත් කරනවා.. එයාලට මේ දර්ශනය උගන්නලා ලෝකෙ පුරාම යවනවා..ටික කලක් යද්දි එක්ස් අනුගාමිකයො එකතු වෙන්න ගන්නවා ලෝකෙ හැම තැනින්ම.. තව ටික දවසක් යද්දි අපි මේ දර්ශනය ව්‍යාප්ත කරන්න ගියාම ගොඩක් අයට රැස්වෙන්න අමාරු හින්දා තොරතුරු බෙදාහරින්න ඇතිවෙන අපහසුතාවයන්ට පිළියමක් විදිහට දහම ගැන පැහැදුණු අනුගාමිකයන් අපිට තමන්ගෙ ඉඩම් ගෙවල් වගේ දේවල් ධර්ම ප්‍රචාරය වෙනුවෙන් පරිත්‍යාග කරන්න ගන්නවා..
ඔන්න දැන් අවුරුදු 100 ක් 200ක් විතර තිස්සෙ දර්ශනය ප්‍රචාරය වෙන්න ගන්නවා.. පටන් ගත්තු අපි ඔක්කොම මැරිලා.. මේ දර්ශනය හින්දා සමානාත්මතාව සාධාරණය ඇතිවෙලා භේද අඩුවෙලා මිනිස්සු හා සමාජයට දැඩි යහපත් බලපෑමක් එල්ල කරනවා.. ඒ නිසා ආරම්භ කරපු අපිට ගරු කිරීමක් විදිහට අපේ උපන් දිනය දවසට, මියගිය දවසට, සිහි කරලා ඉටිපන්දමක් පත්තු කරලා සමරන්න පටන් ගන්නවා.. ඒ තැන් වල එක්ස් නිර්මාතෘන් සිහිවෙන්න එක්ස් දර්ශනය හින්දා ජීවිතේ යහපත් වුණ අය පිළිම හදන්න පටන් ගන්නව. ඉපදුණු තැන.. ගම.. ගිය පාසල්.. නාපු ගඟවල්. ජනතාව වෙනුවෙන් සේවය කරපු තැන්. එක්ස් දර්ශනයේ ජනප්‍රිය දේශකයො ආදාහනය කරපු තැන වගේ තැන්වලත් පිළිම හදලා ඉටිපන්දමක් දල්වන්න පටන් ගන්නවා.. දැන් මේ තැන්වලට දිනපතා මිනිස්සු එන හින්දා ධර්ම ප්‍රචාරයට බැඳුණු එක්සානුගාමිකයින් මේ තැන් බලාගන්න පටන් ගන්නවා.. ඒ තැන් වල ඉඳන් මිනිස්සුන්ට එක්ස් දර්ශනය දේශනා කරන්න පටන් ගන්නවා..
දැන් ඔහොම තව ටික කාලයක් යද්දි දුර පළාත්වලයි ධර්මය පැතිරුණ එක එක රටවලයි එක්ස් ධර්මය ආගමක් බවට පෙරළිලා අදහන්න එක එක ක්‍රම හොයාගන්නවා.. එක්ස් දර්ශනය ගෙනාපු අය පාවිච්චි කරපු රෙදි කෑල්ල.. වතුර බීපු කෝප්පෙ.. පිඟාන වගේ දේවල් පූජනීය වස්තු විදිහට සලකලා වඳින්න ගන්නවා.. ඕක ලංකාවෙන් පටන් ගත්තා නම් දැන් හදපු අයට ‘වන්දනා කරමි’ කියලා කියන වචන වාක්‍ය පේළි අනිත් රටවල් වලත් ඒ විදිහට පාවිච්චි කරන්න ගන්නවා ගාථා ස්තෝත්‍ර කියලා..
දැන් ඔහොම අවුරුදු 1000 ක් විතර යද්දි පාවිච්චි කරපු උපකරණ, හිටපු ඉඩම් පූජනීය ස්ථාන බවට පත් වෙලා එක්සානුගාමීන් ඒවායේ පදිංචි වෙලා ධර්මය ප්‍රචාරය කරනවා.. මේවට රජවරු සිටුවරු ඇවිල්ලා උදව් කරන්න ගන්නවා. මේ වාසි ලැබෙන හින්දම වංචාකාරයොත් ඇවිල්ලා එක්සානුගාමීන් විදිහට මේවට එකතු වෙලා පුද සත්කාර ගන්න පටන් ගන්නවා..
දැන් ධර්මය තියන රටේ රජතුමා අනේ මේ ධර්මය තමයි ලෝකෙ එකම ඇත්ත. මෙන්න මේක ප්‍රචාරය කරන්න ඕනෙ කියලා වටේ රටවල්වලට යවනවා.. ඒ රටවල් වලින් ප්‍රතික්ෂේප කරනකොට එහෙම කොහොමද කියලා හමුදාව යවලා මිනිස්සු මරලා ඒ රටවල් අල්ලගෙන එක්සාගම ප්‍රචාරය කරනවා බලෙන්..
දැන් මේක හැමතැනම ප්‍රසිද්ධ හින්දා එක එක තැන් වල ඉන්න එක්සානුගාමීන් අපි ගාව තමයි එක්ස් කට්ටිය කියපු හරිම ධර්මෙ තියෙන්නෙ කියලා විවාද කරනවා.. ඒ විවාදවල ප්‍රතිඵල විදිහට නියම එක්ස්වාදය , හරිම එක්ස්වාදය., සත්‍ය එක්ස්වාදය වගේ නිකාය කොටස්වලට කැඩෙනවා.. පස්සෙ මේ එක එක්කෙනා එක එක අදහස් පොත්වල ලියනවා...
එක්ස් දේව නිකාය කියලා එකක් හදලා එක්ස් කට්ටිය මැරිලා දෙවියො වුණා.. එයාලට මේ මේ දේවල් දුන්නම අපිට සත්කාර ලැබෙයි කියලා තව කට්ටියක් කියන්න ගන්නවා..
දැන් එක්ස් දේවාලත් හැදෙනවා.. මිනිස්සු ඒවට පූජා භාණ්ඩ අරන් වඳින්න එනවා.. ඇවිල්ලා බිම පෙරළි පෙරළි වඳිනවා.. යාඥා කරනවා.. ඉල්ලනවා.. යදිනවා..
තව අය කියනවා නෑ එයා දෙවියන්ගෙ නියෝජිතයා කියලා.. තව කට්ටියක් කියනවා නෑ දෙවියෙක් නෑ මනුස්සයෙක් විතරයි කියලා.. දැන් මේ තුන් ගොල්ලොම විවාද කරනවා.. ගහමරා ගන්නවා..
දැන් මේවට අනුගාමිකයන් බෙදෙනවා.. බෙදිලා තමන්ගෙ එක ව්‍යාප්ත කරන්න පටන් ගන්නවා... ඊට පස්සෙ අපේ එක තමයි හරිම කියලා හැමෝම හිතන්න ගන්නවා.. දැන් වෙන වැඩේ එයාලට හිතෙනවා එක්සාගම තමයි හරිම එක අනිත් ආගම් වැරදියි කියලා.. ඊට පස්සෙ ඒ ආගම්වල උන් එක්ක වාද විවාද කරලා අන්තිමේදි ගහගන්න මිනී ලක්ෂ ගාණක් මරාගෙන යුද්ධ කර කර හැමදාම ඉන්න පටන් ගනීවි..
තව ටික දවසක් යද්දි වන්දනා කරන අනුගාමිකයන් හදපු පිළිම වළින් රැස් විහිදුනා.. කිරි වැගිරුණා.. වෙඩි තියපු තැන පිළිමෙන් තාම ලේ එනවා. කඳුලු එනවා. ළමයි හම්බෙනවා, විභාග පාස් කරනවා වගේ ඒවා කියලා තමන්ගෙ ධර්මය අනිත් එව්වට වඩා සත්‍යය බව ඔප්පු කරන්න ගන්නවා.. එයාලා හිතන්න ගන්නවා අනිත් ආගම් ඔක්කොම අපිට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා.. අපෝ ඕකුන් අහවල් ආගමේ අහවල් ජාතියෙ උන්ව ගණන් ගන්න ඕන්නෑ උන්ව මරන්න ඕනෙ.. කියලා කෑගහන්න ගන්නවා. පොඩ්ඩක් ගහගත්තට කමක් නෑ.. වගේ කියලා ධර්මය විකෘති කර කර බෙදාහරියි. ඒ වෙනුවෙන් එක්සාගමේ කල්ලි බිහිකරනවා ආගම රකින්න ඕනෙ කියලා සන්නද්ධ තරුණයො එකතු කරගෙන.. අන්තිමේදි මේ මතගැටුම ත්‍රස්තවාදී තත්ත්වෙකට යන්න පටන් ගන්නවා..
ඉතින් අන්තිමට එක්ස් සෙට් එක කියපු අවිහිංසාවාදී දර්ශනය තහවුරු කරන්න යුද්ධ කර කර.. වෛර කර කර.. මිනී මර මර ජීවත් වෙනවා..
අවිහිංසාව වෙනුවෙන්ම ගෙනාපු දර්ශනය සත්‍ය බව ඔප්පු කරන්න යුද්ධ කරනවා.. සැකය වෛරය පතුරවනවා.. හැමෝම මිනිස්සු හැමෝම සමානයි කියපු එක්ස් දර්ශනය විකෘති කරලා එක්ස් දර්ශනය පදනමෙන්ම සමාජ පන්ති වලට වෙන් කරනවා..
ඔන්න ඔය අදහස හෙණ ගැහුවා වගේ මගෙ ඔළුවට එකපාර ආවා.. මැරුණ මිනී.. අහිංසකයො පොඩි දරුවො මතක් වුණා.. ඒක හින්දා තව අහිංසක මිනිස්සු මැරෙන්නවත්.. සමාජෙ සැකය වෛරය පැතිරෙන්න ඕනෙ නැති හින්දා මම එක්ස් දර්ශනය ව්‍යාප්ත කරන අදහස හිතුණ තැනින්ම නවත්ත ගත්තා.
I චමල් අකලංක පොල්වත්තගේ