ධනපතියන් වන්නට අප කවුරුත් කැමතියි. එහෙත් සමහරුන්ට ධනපතියන් වීම සිහිනයක් පමණයි. කොතරම් උත්සාහ කළත් තම අධිෂ්ඨානය සඵල කරගත නොහැකියි. එසේ වුවත් ඇතැමුන් කිසිම උත්සාහයකින් තොරව සුවිශාල ධනපතියන් වෙනවා. කිසිදු ධනයකට උරුමකම් නොමැතිව උපන් අයකු විශාල ව්‍යාපාරිකයකු වී ජගත් කීර්තියට භාජනය වී ප්‍රකෝටිපතියකු බවට පත් විය හැකියි. තවත් සමහර අය උපතින්ම ධනපතියන් වන අතර ඔවුන් වට්ටන්නට කිසිවකුටවත් නොහැක. තවත් කෙනෙකුට සුවිශාල ධනස්කන්ධයක් උරුම වුණත් එය දරාගත නොහැකිව සියල්ල විනාශ කරගෙන කෙටි කලකින් අන්ත දිළින්ඳකු බවට පත් විය හැකියි.
මෙවැනි තත්ත්වයක් කෙනෙකුගේ කේන්ද්‍රයෙන් බැලිය හැකිද? ඒ පිළිබඳ ප්‍රකට ජ්‍යොතිෂවේදීන් තිදෙනෙකුගේ අදහස් මෙලෙස පිඩු කර දක්වමු.
බුධගෙන් සත්රුවන් ලැබෙනවා
කේන්ද්‍රයක රාශි 12 න් කෙරෙන්නේ දන්නා දෙය උපයෝගී කරගෙන නොදන්නා දේ සෙවීමක්. කෙනෙකුගේ කේන්ද්‍රයේ රාශි 12 ග්‍රහයන් පිහිටීම අනුව ඔහුගේ ශුභ අශුභ තත්ත්වය සෙවිය හැකියි. කෙනෙකුගේ අයස්ථානය, ධන තත්ත්වය, ධන හානිය ආදිය ද මෙම ග්‍රහ පිහිටීම් අනුව අනාවරණය වෙනවා. රාශි 12 න් 1, 4, 7, 10 ධනය පිළිබඳ කතා කරන විට අතිශයින් වැදගත්. මෙහි ග්‍රහයන්ගේ පිහිටීම සංයෝග, වියෝග, ශුභ, අශුභ, නීච ක්ෂේත්‍ර සහ උච්ච ක්ෂේත්‍ර ලෙස ද සලකා බලනවා. යමෙකුගේ කේන්ද්‍රයේ 1, 4, 7, 10 යන කොටුවල ග්‍රහයන් දුර්වල වුණොත් ඔහු කෝටිපතියකු වුණත් ධනය රඳා පවතින්නේ නැහැ. අන්ත දිළින්ඳකු වෙනවා. අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ ලෙස රාශි 12 කොටස් 4කට බෙදෙනවා. ආර්ථිකයට වැදගත් වන්නේ අර්ථයි. 2, 6, 10 කොටු ආර්ථිකයට බලපානවා. 2 ධනස්ථානය, 6 ධනය එක්රුස් කිරීම, 10 පාලනය, රාශි චක්‍රයේ මෙම 3 ස්ථාන සලකා බැලිය යුතුයි.
එසේම 8 ශක්තිමත් නම්, නිධන් වස්තු, පතල් වලින් ගන්නා මුතු මැණික් ආදී වස්තු, භූමි ලාභ ඇතුළු මහ පොළොවෙන් හිමිවන සියලු ධනය ලැබෙනවා. මෙහිදී උපතින්ම 1 කොටුව ප්‍රබල වීමද වැදගත්. 1 කොටුව නීච වුණොත් අනිත් මොන ග්‍රහයන් තිබුණත් වැඩක් වෙන්නේ නැහැ.
බුධ ග්‍රහයා ජංගම හා ස්ථාවර දේපලවලට විෂය වෙනවා. සත් රුවන් ලැබෙන බව කියනවා. ඉතාම දුක්ඛිතව, විවිධ රෝගාබාධවලට ලක්ව සිටින අය වුවද හදිසියේ ධනපතියන් විය හැකියි. රෝහලක නේවාසිකව ගත කරන රෝගියෙක් ඒ අසල ස්විප් විකුණන ස්ථානයකින් ටිකැට්ටුවක් මිලට ගෙන කෝටිපතියකු විය හැකියි. එහෙත් වැඩි කලක් නොගොස් ඔහු ඒ රෝගයෙන්ම මිය යා හැකියි. යමෙකුට උත්පත්තියෙන් යමක් ලැබෙන්නට තිබේ නම් එය ලැබෙනවාමයි.
කේන්ද්‍රයක 4 කොටුව ගරුක කර්මය හැඟෙනවා. එය කෙනෙකුගේ හදවත ලෙස හැඳින්විය හැකියි. සියල්ල අභිබවා එය විපාක දෙනවා. මෙය යහපත හෝ අයහපත වන්නට පුළුවන්.
කේන්ද්‍රයක 6 කොටුව උපපීඩක කර්මය ලෙස සලකන අතර ලැබුණු ධනය විනාශ වීම එහි ලක්ෂණයයි. ඥාන ශක්තිය දුර්වල වීම, පසුගාමිත්වය, නාස්තිය, පාපමිත්‍ර සේවනය වැනි හේතු නිසා සියල්ල අඩපණ වීම සිදුවෙනවා. වැඩීගෙන එන ගොයමක් ගංවතුරකින් විනාශ වෙනවා මෙන් සිදුවන්නේ සංසාරයේ හඹා එන පව් නිසයි.
8 කොටුව ශක්තිමත් වූ විට පරම්පරාගත විශාල ධනයකට හිමිකම් කීමට පුළුවන්. ඇතැම් දෙමාපියන් තම ධනය සියලු දරුවන් නොසලකා එක දරුවකුට පමණක් ලියන අවස්ථා තියෙනවා. මෙලෙස සිදුවන්නේ 8 කොටුවේ ග්‍රහ පිහිටීම් ප්‍රබල වීම නිසයි.
එසේම ග්‍රහයන් අනුව සලකන විට කෙනෙකුගේ අඟහරු අයහපත්ව පිහිටා ඇතිවිට ඔහු අන්ත දිළින්ඳකු වීම වළක්වන්න බැහැ. රවි ග්‍රහයා නීච වුවහොත් ඥාතින්ගෙන් දුරස් වෙයි. ඔහු මෙහෙකරුවකු බවට පත්වෙනවා. බුධ අයහපත්ව පිහිටි විට ඥාති ශක්තිය දුර්වල වී කිළිටි අයකු බවට පත්වෙයි. බොහෝ දෙනාගේ දෝෂාරෝපණවලට ලක්වෙනවා ඇත.
ජ්‍යොතිර්කීර්ති කොත්මලේ විජිත ඩී. ලියනාරච්චි
ආයෝජනවලින් කෝටිපතියන්
ජන්ම පත්‍රයක ධන තත්ත්වය පෙන්වන්නේ 2 වැනි භාවයෙන්. 11 වැනි භාවයෙන් ලැබීමේ තරම පෙන්වනවා. මෙම 2 හා 11 වැනි භාවවල ශක්තිය හා එහි අධිපතියන්ගේ සාපේක්ෂ පිහිටීම අනුව කෙනෙකුගේ ධන තත්ත්වය කිව හැකියි.
ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමයේ දී මේ සඳහා උපයෝගී කර ගන්නේ 2 භාවයේ උප අධිපතියායි. මෙම උප අධිපතියා 2, 6, 10 හා 11 භාවවල ප්‍රබල නිවේදකයන් වූ විට ජන්ම හිමියා ධනවතකු වෙනවා. එම උප අධිපතියා 5, 8, 12 යන භාවවල නිවේදකයන් වූ විට ඔහු දුප්පතෙකි. 5 සහ 8 ද කිසිම සම්බන්ධයක් නොමැතිව 2, 6, 10 හා 11 පමණක් නිවේදනය කරන විට ඒ අය හැමවිටම ඒකාකාරීව මුදල් සොයන්නෙක්. මෙය 5, 8 හා 12 එකතු වූ විට හදිසි ධනයකට හිමිකම් ලබනවා. අදාළ වාසිදායක දසාවල ධන තත්ත්වය ඉහළින් පවතින අතර 5, 8, 12 නිවේදන දසා කාලවලදී අසීරැ තත්ත්වයකට පත්වීමට ද ඉඩ තිබෙනවා. 2 උප අධිපතියා 2, 6, 10 හා 11ට කිසිදු සම්බන්ධයක් නොමැතිව 5, 8, 12 පමණක් නිවේදනය කරන විට හැමදාම දුප්පතෙක්.
ගුරු වැනි ග්‍රහයන් 2 හි උප අධිපතිව සිට 2, 6, 10 සහ 11 නිවේදනය කරන්නේ නම් ආයාසයකින් තොරව මුදල් රැස්කරන ධනවතෙක් වෙනවා. අනුන්ගේ ධනයකට හෝ හිමිකම් ලබනවා. 2කේ උප අධිපති වෙලා ඉහත භාවයන් නිවේදනය කරන විට එම ජන්මියා ධනය රැස්කර විශාල ධනවතෙක් වෙයි. එහිදී දැඩි ආයාසය ද වීර්යය ද එකතු වෙයි. 11 භාවය නැතිව 2, 6 හා 10 පමණක් නිවේදනය වූ විට තම වෘත්තියෙන් පමණක් ආදායම උපයන්නෙකි. මෙහිදී 6ට වඩා 7 වැනි භාවය ප්‍රබල වූ විට හවුල් ව්‍යාපාරවලින් ආදායම උපයන්නෙකි.
නිල බලය හා ධන බලය එක හා සමාන නොවෙයි. නිල බල නොමැති අය හදිසි ධනවතුන් වෙනවා ඇති. එසේම නිලයෙන් උසස් අය දිළින්ඳන් වෙනවා. ආදායම් ලැබීමට කේන්ද්‍රයක 10ට වඩා වැදගත් වන්නේ 11 වැනි භාවයයි. 2 භාවයෙන් ආදායම ලබාගැනීමේ හැකියාවත් 11 භාවයෙන් සාර්ථක බවත් පෙන්වනවා. 6 වැනි භාවයෙන් ණය ලබාගැනීමේ හැකියාව ද පෙන්නුම් කරයි. ප්‍රතිවාදීන්ට අවාසි ගෙන දීම ද මෙමගින් දැක්වෙනවා. බොහෝ අය 6 වැනි භාවය ඉවත දමනුයේ එමගින් කෙනෙකු ණයකරුවකු බවට පත් කරන නිසයි. එසේ වුවද ණයකාරයන්ගේ ද විවිධ මට්ටම් තිබෙනවා. කෝටිපතියන් ද ණයකරුවන් වී සිටිනවා. ලෝකයේ සිටින ඕනෑම කෝටිපතියකු කවදා හෝ බැංකුවකට ණය වී සිටින්නට පුළුවන්. බැංකුවෙන් ණයක් නොගෙන ව්‍යාපාර අරඹා කෝටිපතියකු වෙන්නට අපහසු වෙනවා ඇති. ඒ නිසා 11 සහ 2 භාව සමඟ 6 ප්‍රබල වූ විට හෝ විශාල වශයෙන් ණය ගෙන ව්‍යාපාර අරඹා පොහොසත් වෙනවා. එය හදිසියේ මුදල් ලබා කෝටිපතියකු වීමට වඩා වැදගත්ය.
ධනය ඉපැයීම ඉතාම අඩමාන තත්ත්වයක්. එම අඩමාන භාවය වන්නේ 5 වැන්නයි. අඩමාන ධන යෝජනා කොන්ත්‍රාත් ආදිය පෙන්වන්නේ 5 වැනි භාවයෙන්. සූදුව පෙන්වන්නේ මෙයින්. මෙලෙස අඩමාන මුදල් ආයෝජන සූදුව විය හැකිය. ඇතැමුන් සූදුවෙන් දිනා කෝටිපතියන් වන අතර එම මුදල් නිසි ලෙස කළමනාකරණය නොකර විනාශයට පත්කරගෙන අන්ත දිළින්ඳෙකු වෙයි.
ජ්‍යොතිෂවේදී රොහාන් වීරරත්න
පානදුර
උපතින්ම ධනවතුන් වෙනස් වන්නේ නැහැ
කෙනෙකුගේ උත්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටන්නේ පෙර කළ පව් පින් අනුවය.
විශේෂයෙන්ම කේන්ද්‍රයක 9 කොටුව බලවත් වීම එම ජන්මියා මතු ධනවතකු වීමට බලපානවා. 9 බලවත් වීම යැයි කියන්නේ වෙනත් ග්‍රහයන්ගෙන් සතුරු නොවී සිටීමයි. කොතරම් යහපත් ලෙස ග්‍රහයන් පිහිටියත් එම බලයට වෙනත් ග්‍රහයන් නිසා පීඩා දෙනවා නම් වැඩක් නැහැ. 9 කොටුව බලවත්ව තිබී 10 වැන්නේ අයිතිකරු ද 9 පැමිණ සිටිනවා නම් තවත් ප්‍රබල වෙනවා. 11 වැන්න අධිපතියා 9 වැන්නේ සිටීම ද හදිසි වාසනා ගෙන දෙන ප්‍රබල යෝගයක්. මිත්‍ර ස්වක්ෂේත්‍රඵල බලය තිබිය යුතුයි.
ලග්නාධිපති සමඟ 11 වැන්න අධිපතියා සංයෝග වී 9 වැන්නේ සිටීම ද හදිසි ධන ලාභ දෙන තවත් පිහිටීමක්. 2 වැන්න සහ 11 වැන්න යේ සිටීම ද තවත් ප්‍රබල වාසනා යෝගයක්. මෙලෙස ජන්මියකු උපත ලැබූ විට පෙර පින් අනුව ධන වාසනා හිමිවෙනවා. තවද 2 වැන්න අධිපතියා සමඟ රාහු එකතු වී 11 වැන්නේ සිටි විටද හදිසි ධන වාසනා ගෙන දෙනවා. මේ ආකාරයට උත්පත්තියෙන් පිහිටන ධනයෝග ප්‍රබලයි.
එසේම, කෙනෙකුගේ උත්පත්තියෙන් මෙවැනි ග්‍රහයන් නොමැතිව වුවද වෙන තැන්වල සිටිමින් හෝ ගෝචර ගමනින් යුක්ත වූ විට වාසනාව ගෙන දෙනවා. ඒවා විශාල ධන වාසනා නොවුණද මධ්‍යම ප්‍රමාණයේ ඒවා විය යුතුයි. උදාහරණයක් ලෙස කිවහොත් කෙනෙකුගේ රාහු උපතින්ම දුබලව සිටි අවස්ථාවක දී වුවද ගෝචර ගමනින් 11 වැන්නේ සිටී නම් වාසනාව ගෙන දෙනවා. 11 වැන්න අධිපතියා උපතින් දුර්වලව සිටි විටෙක ගෝචර ගමනින් 9 වැන්නේ සිටී නම් හදිසි වාසනාව ලැබෙනවා.
එහෙත් කිවයුතු වන්නේ මෙවැනි තත්ත්වයන් තාවකාලික බවයි. මෙලෙස හිමිවන චාන්ස් එම ග්‍රහයා එතැනින් ඉවත් වූ විට අහෝසි වෙනවා. ඇතැම් වෙලාවට යළි තිබූ තැනින් ද පහළට වැටිය හැකියි. මෙවැනි ප්‍රතිඵල ලැබූ අය අප සමාජයේ ඕනෑ තරම් සිටිනවා. හදිසියේ ස්විප් ජයක් ලැබී ධනපතියකු වූ අයකුට එය දරාගත නොහැකිව කෙටි කාලයක දි ධනය විනාශ කරගෙන අන්ත දිළින්ඳෙකු වෙනවා. මෙලෙස හදිසියේ වදින වාසනාව තාවකාලිකයි.
ජ්‍යොතිෂවේදී ජේ. ගුණපාල, හොරණ