නිරතුරු සාහිත්‍ය පොතපත ඇසුරු කරන විට ජීවිතයේ වෙහෙස නිවී යයි. නවකතා රාශියක් කියවන විට දිවියෙහි අහුමුලු වෙත එළිය වැටෙයි. වැටහෙන නුවණ මතුවී ගුණය, හරය මෝරයි. එලෙස සඳහන් කරන්නේ මෙවර ස්වර්ණ පුස්තක උත්තරීතර විනිශ්චය මණ්ඩල සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයි. මේ නිසාම අප මෙවර සාහිත්‍ය සම්මාන උත්සවවල මුල් තැනෙහි වැජඹුණ නවකතා ගැන වියතුන් හා විචාරක අදහස් විමසා බැලීමට උත්සාහ කළෙමු.
මෙදා රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ හොඳම නවකතාව ලෙස කීර්ති වැලිසරගේ ලියූ ගරුඬ මුහුර්තය තේරුණු අතර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ හොඳම නවකතාව වූයේ නිශ්ශංක විජේමාන්නගේ හඳ පලුව - තනි තරුවයි. ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනාගන්නේ පී.බී. ජයසේකර ලියූ ඉක්බිති ඔහු මරාපීය නවකතාවයි.
ස්වර්ණ පුස්තක සම්මාන ලැබුණු නිශ්ශංක විජේමාන්නගේ තෙවන නවකතාව හඳ පලුව - තනි තරුව වන අතර මෙයට පෙර ඔහු ලියූ තාරා, මගේ දෙව්දුව නවකතාව 2015 වර්ෂයේදී ස්වර්ණ පුස්තක අවසාන වටයට තේරිණි. සිංහල - මුස්ලිම් ජන සමාජයේ බැඳියාව ප්‍රේම කතාවක රසවත් බවින් පුරාවෘත්තයක අලංකාරත්වයෙන් හා නූතන නවකතාවක රචනා උපක්‍රම භාවිතයෙන් රචිත නවකතාවක් ලෙස ඇතැම් විචාරකයන් එය හඳුන්වා තිබුණි. වෙනත් වර්ෂවල ස්වර්ණ පුස්තක නවකතාවලට වඩා මෙවර නවකතාව විශාල පාඨක ආකර්ෂණයකට ලක් වූ බව පැවසිණි. කොළඹ පොත් ප්‍රදර්ශනය අවසන් වනවිට එහි පිටපත් 23200 අලෙවි වූ බව වාර්තා විය.
ගරුඬ මුහුර්තය මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුදනු ලැබිණි. එය ලියූ කීර්ති වැලිසරගේ එයට පෙර කෙටි කතා සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිකර ගත් අතර ඔහුගේ කාලසර්ප නවකතාව 2013 ස්වර්ණ පුස්තක සම්මානය හිමිකර ගත්තේය. මෙම නවකතාව විසිවන සියවසේ මුල් භාගයේ දැරණියගල ප්‍රදේශයේ පීඩිත ජන සමූහයක පවුලක් තේමාකර ගනිමින් රචනා කර තිබේ. ඔවුන්ගේ ජීවන අපේක්ෂාවන්හි අසංකීර්ණත්වය, ගේහසිත ප්‍රේමය, ප්‍රාදේශීය බස්වහර, සංස්කෘතික අනන්‍යතා ගරුඬ මුහුර්තයට උපයෝගී කරගෙන තිබේ.
මෙම කෘති පිළිබඳව අදහස් දැනගැනීමට අපි මුලින්ම කතා කළේ සම්මානනීය ලේඛකයකු මෙන්ම බහුලව පොත් කියවන පාඨකයකු ද වන ටෙනිසන් පෙරේරාටය.
නිශ්ශංක විජේමාන්නගේ පොතේ ආඛ්‍යාන රටාව වෙනස්. නමුත් මම ඒකේ ප්‍රබන්ධ ලක්ෂණ එතරම් තියුණුව දකින්නේ නැහැ. එය ප්‍රබන්ධයක් වීමට වෑයම් කරන නවකතාවක් බවයි. මට පෙනෙන්නේ. එහි අන්තර්ගතයේ ප්‍රතිරෝධතා තිබෙනවා. හැබැයි අන්තර්ගතය පෙරළිකාර ස්වභාවයක් ගන්නවා. නමුත් ඇතුළත් කරුණු විසංවාදීයි. කතුවරයා විරෝධාකල්ප මතු කළ යුතුයි. නවකතාවක ස්වභාවය එයයි. නමුත් කරුණු සත්‍ය විය යුතුයි. නිශ්ශංකගේ පොතේ මතුපිටින් දිවයන කතාවට යමින් වෙනම යටි පෙළක් දිව යනවා. නමුත් යටි පෙළෙහි සමහර තැන් විසංවාදීයි.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබූ කීර්තිගෙ නවකතාව ගැමි කතාන්දරයක් කියන නවකතාවක්. නවකතාවක තිබෙන ගුණය අඩුවෙන් මම එහි දකින්නේ. නමුත් දැරණියගල ප්‍රදේශයේ පුරාණ ගමක සංස්කෘතිය, මිත්‍යා මත ආදියෙන් පිරුණු සමාජය නිරූපණය කිරීමට ගත් ප්‍රශස්ත වෑයමක්. සමාජවිද්‍යාත්මක කරුණුවලින් කතාව පොහොසත් කිරීමට උත්සාහ ගෙන තිබෙනවා. නමුත් ගමේ කතාවක් කියූ පමණින් නවකතාවක් වන්නෙ නැහැ. එහි යටි පෙළක් මම දකින්නෙ නැහැ.
විචාරකයකු මෙන්ම ලේඛකයකු ද වන සේන තෝරදෙනිය වත්මන් සාහිත්‍ය පිළිබඳව දැඩි නිරීක්ෂණයෙන් සිටින්නෙකි. ඔහු සිය අදහස් අපට පැවසුවේ මෙලෙසිනි.
මෙවර පොත්වලින් විචාරකයෙක් ලෙස මම කැමති ප්‍රංශ පෙම්වතා කෘතියට. මම ඒ ගැන ඇගයීමක් කළා. පොත ගැන ගැඹුරින් අධ්‍යයනය කර. ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණු පොත ගැන නම් කිවයුත්තේ කියන තරම් ආශ්චර්යයක් එහි නැති බවයි. එය දෛවයෝගවලින් ගහණ කෘතියක්. එම දෛවයෝග නුතනවාදී වී තිබෙනවා. ස්වර්ණ පුස්තක හේතු පාඨවල තිබෙන අපූර්වත්වයක් මම නම් දැක්කේ නැහැ.
රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණු නවකතා පොතෙත් කියන තරම් අරැමයක් දකින්නේ නැහැ. එවැනි තේමා මීට පෙර නවකතා රාශියකට යොදාගෙන තිබෙනවා.
මලික් තුසිත ගුණරත්න ලේඛකයකු පමණක් නොව පොත් පරිශීලනය කරන පාඨකයෙකි. ඔහු හඳ පාලුව තනි තරුව දකින්නේ ආකෘතිමය වශයෙන් වෙනස් නවකතාවක් වශයෙනි.
ඇත්තටම සැලකිය යුතු වෙනසක් කළ නවකතාවක්. නිශ්ශංක පොතේ ලියා ඇත්තේ කතාවට අවශ්‍ය සිද්ධි පමණක් බවයි මට සිතෙන්නේ. අනවශ්‍ය වැල්වටාරම් මම දකින්නේ නැහැ. සිංහල හා මුස්ලිම් ජනවර්ගය අතර සහසම්බන්ධය ගැන දැනුමක් ලබාදෙමින් ලියූ අපූරු ලියවිල්ලක්. අමුතු බඳුනකට වයින් දැම්මා වගේ. මට නම් පෙන්නේ ගරුඬ මුහුර්තයට වඩා මේ නවකතාව ඉදිරියෙන් සිටින බවයි. එහි යටි අර්ථය වටහා ගැනීමට නම් පාඨකයා ගැඹුරු කියවීමකට යා යුතුයි.
පියල් කාරියවසම් අධ්‍යතන සාහිත්‍යය පිළිබඳව අවධානයෙන් සිටින විද්වතෙකි. නාට්‍යවේදියෙකි. ඔහු දකින්නේ සම්මාන ලැබූ නවකතා සියල්ල එතරම් ඉහළ තලයක නැති බවකි. ගුණදාස අමරසේකර වගේ ලේඛකයන් දෘෂ්ටිවාදයට යටවීමට පෙර ලියූ නවකතා, සිරිගුණසිංහගේ හෙවනැල්ල වගේ කෘතිවලින් පසු ලංකාවේ නවකතාව දියුණු කළේ එරික් ඉලයප්ආරච්චි බව මගේ හැඟීමයි. ඒ හැරුණුවිට ලියවෙන අනෙක් නවකතා, යුරෝපයේ මල් නවකතාවල තාක්ෂණික දෘෂ්ටිය කරට ගත් ඒවායි.
කන්දේගම කුලරත්න, සරත් ආරියරත්න, වීරපොකුණේ උපරතන හිමි, ලාංගනී ප්‍රනාන්දු අබේදීර වගේ අය හොඳ නිර්මාණ කළත් මතු වුණේ නැහැ. දැන් නවකතාව කියන්නේ ව්‍යාපෘති. එක එක කාලෙට විවිධ සමකාලීන තේමා ඒවාට යොදාගන්නවා. සමහර අය සම්මාන බලාගෙන පොත් ලියන බව පැහැදිලිව පේනවා. අපේ බහුතරයක් තිබෙන්නේ කතන්දර. ලෝක නවකතාවෙන් කතන්දර අයින්වෙලා හුඟාක් කල්.
කැත්ලින් ජයවර්ධන සම්මානනීය ලේඛිකාවකි. එහෙත් ඇය මෑතක සිට සිය නිර්මාණ සම්මාන උළෙල සඳහා ඉදිරිපත් නොකරන ස්ථාවරයක සිටී. ඈ සම්මාන ලබන නවකතා ගැන ඇය පවසන්නේ මෙවැනි අදහසකි.
පෞද්ගලිකව මට හිතෙන හැටියට නම් අද වෙනකොට නවකතාවේ වර්ධනයක් සිදුවෙලා තියෙන්නේ සංඛ්‍යාත්මක වශයෙන්. ගුණාත්මක වර්ධනය තරමක් අවමයි. මම මෙහෙම කියන්නේ මේ පාර සම්මාන දිනා ඇති නවකතා සම්බන්ධයෙන් නෙවෙයි. ඒවා කියවන්න මම ආරම්භ කරලා තියෙන්නේ ම දැනුයි. මට පොදුවේ පේන්නේ නම් අපේ නවකතාවේ (බහුතරයක) එක තැන නතර වීමක් සිද්ධවෙලා තියනව වගේ. ඒකට එක හේතුවක් හැටියට මම අඳුරගෙන ඉන්නේ එක්දාස් නවසිය හතළිස් පණස් ගණන්වල ලියැවුණු නවකතා අපි අපේ එකම පූර්වාදර්ශ, සාම්පල, මොඩල කරගෙන සිටීමයි. ඒ අතර ඇති විරාගය විශිෂ්ට නවකතාවක් තමයි. ඒත් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් අද ජීවත්වෙලා හිටිය නම් ලියන්නේ විරාගයට හුරු පොතක් නෙවෙයි. ඒ එතුමා කාලයට ඉදිරියෙන් ගමනක් ගිය චින්තකයෙක් වුණ නිසා. ඒත් එතුමාගේ ගෝලබාලයෝ හැමෝම චින්තකයෝ නෙවෙයි. ප්‍රශ්නය ඒකයි. ඒ විචාරක පරපුර තාමත් ඉන්නේ විරාගය සමඟ එකතැන ගල්වෙලා. අපට සාපේක්ෂව බලන කොට ලෝකයේ ඇතැම් රටවල ලේඛකයන් අද ඉන්නේ ක්‍රි.ව. 3000ටත් වඩා ඉදිරියෙන්. හරුකි මුරකාමි, පවුලෝ කොයියෝ ආදී ලේඛකයන්ගේ පොත් කියවන පාඨකයන් මේ සත්‍යය මනාව වටහාගෙනයි ඉන්නේ. ඒත් ඒ වගේ ලේඛකයන්ව අනුකරණය කරන්න ගිහින් අමාරුවේ වැටුණ අයත් නැත්තෙම නැහැ.
පසුගිය කාලයේ එවැනි නවමු මං බලාගිය ලේඛක ලේඛිකාවන්ට කරළිය අහිමි වුණේ ඇයි කියලා පුදුමයකුත් මට තියනවා. උදාහරණයකට කිව්වොත් තක්ෂිලා ස්වර්ණමාලි කියන අලුත් ලේඛිකාවගේ නවකතාවක් හා කෙටිකතා කීපයක් වරින් වර කියවූ මට ඇය පිළිබඳ යම් උනන්දුවක් ඇතිවෙලයි තිබුණෙ. මොහාන් රාජ්මඩවලගේ වියමන්වල ඓතිහාසික පුවතක් පමණක් තේමා කර ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙතත් කියවීමට අනුබල දෙන ගුණයක් (Readable) ඒවායේ බහුලව දකින්නට ලැබෙනවා. උපුල් ශාන්ත සන්නස්ගලගේ සමහර යෙදුම්වලිනුත් මම මේ නවතාව හඳුනාගන්නවා. ඔහු සම්භාව්‍ය භාෂාව නූතන ව්‍යවහාර බසට මුසු කරමින් අපූරු යෙදුම් එළිදක්වනවා. සමහරු මේ නැවුම් ප්‍රවේශයනට අකමැතියි. ඇතැම් සාහිත්‍ය විනිසුරනුන් ඒ වගේ. ඉතින් රසඥතාවේ අවුල තියෙන්නේ ඔවුන්ගේ ද මගේ ද කියලා හරියටම කියන්න දන්නෙ නම් කලාවට අධිපති සරස්වතී දේවිය විතරයි.
කුසුම්සිරි