කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, දවසේ සැඳෑසමය ආරම්භයත් සමඟ වඩාත් කාර්යබහුලවීමට පටන් ගෙන තිබුණි. හේතුව අප රට සමකාසන්න රටක් වීම නිසා, වෙනත් බොහෝ රටවලට, අපගේ රාත්‍රී කාලය ඔවුන්ට දහවලක් ලෙස බලපා තිබීමයි. ඒ නිසා අප රටට පැමිණෙන බොහෝ ගුවන් යානා වැඩිපුරම පැමිණෙන්නේත්, පිටත්ව යන්නේත් රාත්‍රී කාලයේය. මේ නිසා පැමිණෙන ගුවන් යානා පමණක් නොව, එහි පිවිසෙන මගීන්, වාහන මේ සියල්ලගෙන්ම ගුවන් තොටුපොළ පිරීයන්නට පටන් ගනී.
එදා ඉකුත් 21 දින සවස් යාමයයි. එදින සවස 6.25 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 225 යානය ඩුබායි බලා පිටත්ව යෑමට සූදානම්ව තිබුණි. එම යානයෙන් පිටත්ව යාමට 300 ක පමණ ගුවන් මගීන් පිරිසක්ද ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියහ. මේ අතර ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්, ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම විවිධ ආරක්ෂක අංශ වලට අයත් නිලධාරීහුද තම රාත්‍රී සේවා මුරය ආරම්භ කිරීම සඳහා සේවා ස්ථාන වෙත රපෝර්තු කරමින් සිටියහ.
මේ අතර රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ රාජකාරි ආරම්භ කිරීම සඳහා පැමිණ සිටියහ. ඔවුන් ගුවන් තොටුපොළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තයේ මෙන්ම, සේද මාවතේ ද සිය රාජකාරි අරඹා තිබුණි. ගුවන් යනා තුළ විවිධ පංති ස්ථාපිත කොට තිබෙන අතර, ඒ අනුව එම මගීන් ගෙන් ආසන සඳහා අය කෙරෙන ටිකට් පත් ගාස්තුද වෙනස් වේ. පළමු පංතියේ ආසන වල බොහෝ විට ගමන් යන්නේ ලොව ධනවත් ව්‍යාපාරිකයන්ය. ඒ සඳහා ගුවන් සමාගම්ද බොහෝ අතිරේක පහසුකම්ද එම මගීන්ට සලසා දී තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළද එවැනි මගීන් සඳහා ගුවන් යානා වෙත පිවිසීමට මෙන්ම, පැමිණෙන ගුවන් මගීන් වෙනුවෙන් ද සේද මාවත (Silk Route) නමින් විශේෂ ගමන් මඟක් සකසා දී තිබේ. එහි පෝලිම් නොමැත. මගීන් පිරී නොමැත. අවශ්‍ය පරීක්ෂණ ඉතා කඩිනමින් ගුවන් මගීන් වෙත පැමිණ සිදු කරයි. එවැනි සුව පහසුකම් රැසක් මේ සේද මාවත තුළ තිබේ. ඒ සඳහා එක් ගුවන් මගියකුගෙන් ඇමෙරිකානු ඩොලර් 50ක මුදලක් ගුවන් තොටුපොළ අය කරනු ලබයි.
ඉකුත් 21වැනි දින සවස මෙම සේද මාවත ඔස්සේ ගමන් ගනිමින් සිටි තරුණ යුවළක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ නෙත ගැටිණි. ඔවුන්ගේ ගමන් විලාසය, ඇඳ සිටි ඇඳුම් මෙන්ම ඔවුන්ගේ පෙනුමද, මෙම සේද මාවත භාවිත කරන අනෙකුත් ව්‍යාපාරිකයන් හා සමාන නොවන බව රේගු නිලධාරීන්ට දැනෙන්නට විය. රේගු නිලධාරීහු වහා මේ යුවළ නවතා ප්‍රශ්න කරන්නට වූහ. රේගු නිලධාරීන්ගේ ප්‍රශ්නවලට ඔවුන් ලබාදෙන පිළිතුරු එතරම් සාර්ථක මට්ටමක නොමැති බව ඔවුන්ට වැටහෙන්නට වැඩි කාලයක් ගත නොවිණි. එමෙන්ම මේ යුවළ ද වික්ෂිප්තභාවයට පත්ව සිටින බැව් රේගු නිලධාරීන්ට තේරුම් ගියේය. තවත් සුළු මොහොතක් ප්‍රශ්න කිරීම සිදු කළ රේගු නිලධාරීහු, මේ යුවළ රැගෙන ආ අත් බෑගයන් පරීක්ෂා කරන්නට වූහ. එහි වූයේ නීති විරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යමින් තිබූ විදේශ මුදල් සහ දේශීය රුපියල් තොගයකි. තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකළ අතර, ඉතා සුළු කාලයක් තුළ දෙදෙනා සියල්ල හෙළිකරන්නට වූහ.
ඒ වනවිටත් මේ යුවළ රැගෙන ආ තවත් ගමන් මලු කීපයක්ම ගුවන් යානයට පැටවීම සඳහා භාර දී තිබුණි. රේගු නිලධාරීහු වහාම එම ගමන් මලු, ගුවන් යානයට පැටවීමට නොදී රේගු පරිශ්‍රය වෙත රැගෙන ඒමට පියවර ගත්හ. සියලු ගමන් මලු විවෘත විය. ඒවා තුළ ඩුබායි වෙත නීතිවිරෝධීව රැගෙන යමින් තිබූ රුපියල් අට කෝටි අසූ ලක්ෂයක් වටිනා දේශීය රුපියල් මෙන්ම විදේශ මුදල් තොගයක්ද විය. ඒ අතර ශ්‍රී ලංකා රුපියල් 4,43,00,000 ක් (හාර කෝටි හතළිස් තුන් ලක්ෂයක්) තිබුණි. ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් 45,000 ක්, යූරෝ 35,000 ක්, ඕමාන් රියාල් 4,000 ක්, බහරේන් ඩිනාර් 2,685 ක් සෞදි රියාල් 5,99,500 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 72,000 ක් ද තිබුණි. මේ මුදල් උන්ඩියල් ක්‍රමයට, භාවිතයට ගැනීම සඳහා ඩුබායි වෙත රැගෙන යමින් තිබුණි.
ශ්‍රී ලංකාව තුළ නීති විරෝධීව උපයන කළු සල්ලි මේ ආකාරයට විශේෂ ප්‍රවාහකයන් යොදා සුදු සල්ලි බවට පත්කිරීම සඳහා වෙනත් රටවලට යැවීම උන්ඩියල් ක්‍රමයේ සරල අර්ථයයි. එහිදී මේ පිරිස් ඒ රටවලින් මෙම මුදල් යොදවා රත්තරන් හෝ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය මිලට ගෙන, තවත් පුද්ගලයන් ඔස්සේ යළිත් නීති විරෝධීව ශ්‍රී ලංකාවට එවනු ලබයි. මෙසේ 9/21 දින රේගු අත් අඩංගුවට පත් වූයේද, මෙවැනි ප්‍රවාහන කටයුත්තක නියැලී සිටි යුවළකි. ඔවුහු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වූහ. ඔවුන්ගෙන් කාන්තාවගේ වයස අවුරුදු 22 කි. ඇය ව්‍යාපාරික කටයුතු වල නිරත වන බව ප්‍රකාශ කළාය. ඇයගේ සැමියාගේ වයස අවුරුදු 24 කි. ඔහු කොළඹ පිහිටි පෞද්ගලික සමාගමක සේවය කරන්නෙකි. ඔවුන්ගේ දෛනික රාජකාරීවලට අමතරව, සති දෙකකට පමණ වරක් මෙවැනි කටයුත්තක නිරත වන බව පැවති පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එහිදී ඔවුන්ට අවශ්‍ය ආහාර පාන, නවාතැන් පහසුකම්, ගුවන් ටිකට් පත් ආදී සියල්ලම නොමිලේ හිමි වන අතර, ඊට අමතරව යම් දීමනාවක් ද ඔවුන්ට හිමිවේ. මේ යුවළ ද මීට පෙර මේ ආකාරයටම 5 වතාවක් ඩුබායි වෙත ගොස් පැමිණ ඇති බව කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි. මේ සියලු කටයුතු සංවිධානය කරන්නේ රටේ ඇතැම් බලවතුන් හෝ ඇතැම් ප්‍රධාන ව්‍යාපාරිකයන් පිරිසකි. ඔවුහු තිරයෙන් පිටුපස සිට මේ ජාවාරම් මෙහෙයවමින් සිටිති.
මෙසේ 9/21 දින ඩුබායි වෙත රැගෙන යන ශ්‍රී ලංකා රුපියල් ඩුබායිහි රැකියාවල නියුතු සේවකයින්ට එරට මුදලින් ගෙවන වැටුප් මුදල් සමග ඉතා සූක්ෂමව මාරු කර ගැනීම සිදු කරයි. ඊට අමතරව එරට සුළු පරිමාණ ව්‍යාපාරික කටයුතු කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ටද, මෙම රුපියල් ලබාදී, ඔවුන් සතුව ඇති විදේශ මුදල් මෙම ජාවාරම්කරුවෝ ලබා ගනිති. පසුව මෙම විදේශ මුදල් යොදවා රත්තරන් හෝ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය එරටින් මිලට ගෙන, ඒවා නීතිවිරෝධීව යළිත් ශ්‍රී ලංකාව වෙත ගෙන එනු ලබයි. මෙම ක්‍රියාවට කදිම නිදසුනක් වන්නේ මෙම වැටලීමේදී අත් අඩංගුවට ගත් මුදලින් හරි අඩක්ම වාගේ, එනම් රුපියල් කෝටි 4 හමාරක්ම ශ්‍රී ලංකා රුපියල් තොගයක් වීම පෙන්වා දිය හැකිය.
මේ ආකාරයට ජාවාරම්කරුවන් ක්‍රියාකිරීම නිසා ශ්‍රී ලංකාවට බරපතළ විපාක කීපයක්ම අත්විඳීමට සිදුවන බව මෙම අත්අඩංගුවට ගැනීමට සහභාගි වූ උසස් රේගු නිලධාරියෙක් ප්‍රකාශ කළේය. එයින් පළමු වැන්න ශ්‍රී ලංකාව තුළ භාවිතයට, සංසරණයවීමට අවශ්‍ය රුපියල් හිඟවීම නිසා ගැටලු මතුවීමයි. එහිදී රජයට අතිරේක වශයෙන් මුදල් මුද්‍රණය කිරීමට සිදුවනු ඇත. දෙවනුව ශ්‍රී ලංකාව තුළට ගලා ඒමට නියමිත විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට අහිමි වී යාමයි. තුන්වෙනුව මෙම මුදල් භාවිත කොට මොවුන් මෙරටට නොයෙකුත් භාණ්ඩ නීතිවිරෝධීව ගෙන එනු ලබනවිට, එහිදී රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වී යාමයි.
ඊට අමතරව මෙවැනි කටයුතු සිදුකොට වැරදිකරුවන් වූ පුද්ගලයන් සිරගෙවල් තුළ නඩත්තු කිරීමේ වගකීමද රජයට පැවරී තිබීම සහ මෙසේ ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය වැනි දෑ භාවිතා කොට රෝගාතුර වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහාද රජයට මුදල් වැයකරන්නට සිදු වී තිබීමයි. 9/21 දින අත්අඩංගුවට පත් මේ යුවළද ප්‍රකාශ කළේ රටේ විවිධ ප්‍රදේශවල ඇති විදේශ මුදල් මාරු කරන ආයතන සහ විවිධ බැංකු ශාඛා මගින් මෙම මුදල් තොගය සොයාගත් බවයි. මෙසේ අත් අඩංගුවට ගත් මුදල් තොගය අතර වූ ශ්‍රී ලංකා රුපියල් තොගය ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ සිදුකළ විශාලතම රුපියල් වැටලීමයි. එමෙන්ම මෙම සමස්ථ වැටලීම 2017 වසරේ ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කර තිබූ විශාලතම මුදල් වැටලීමයි.
රේගුව මේ සිද්ධියේ බරපතළකම සලකා, පැවති රේගු පරීක්ෂණයේදී, මෙසේ රැගෙන යෑමට තැත් කළ මුදල් තොගය රාජසන්තක කර, මේ යුවළට රුපියල් 45 ලක්ෂයක මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ. ශ්‍රී ලංකා රේගුව මෙම ජාවාරම් මැඬලීම සඳහා අත්අඩංගුවට ගැනීම් සහ මෙවැනි දඩ ගැසීම් නිරන්තරයෙන් සිදු කළද, මේවා මැඬලීමට තරම් ඒවා ප්‍රමාණාත්මකව බලපෑමක් වී නොමැත. නමුත් එම බලපෑම් තිබෙන බව රත්තරන් වෙළඳපොළ ඇසුරෙන් කරන ලද සමීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. ඒ අනුව දිගින් දිගටම සිදුවන රේගු අත්අඩංගුවට ගැනීම් නිසා මේ වනවිට රත්තරන් හිඟයක් සහ මිල ඉහළ යෑමක් සිදු වී තිබේ. එමෙන්ම හෙරොයින්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා පොලිසිය සිදු කළ සමීක්ෂණ මගින් ප්‍රකාශ වන්නේ, එවැනි මත්ද්‍රව්‍ය හිඟයක් ඇති වී ඇති බැවින්, එම මත් ලෝලීන් කුමන මිලක් යටතේ හෝ ඒවා මිලදී ගැනීමට පෙළඹී සිටින බවයි.
මෙවැනි ජාවාරම් පිටු දැකීමට, මැඬලීමට ශ්‍රී ලංකා රේගුවට අමතරව, තවත් ආයතනය ගණනාවක් ශ්‍රී ලංකා රජය මගින් මෙරට තුළ ස්ථාපිත කොට තිබේ. ශ්‍රී ලංකා පොලීසිය, ආරක්ෂක හමුදා, සුරාබදු දෙපාර්තමේන්තුව, වෙනත් ආරක්ෂක අංශ මෙන්ම විශේෂයෙන්ම මූල්‍ය අපරාධ මැඬලීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ F.I.U. ඒකකයට ද මේ අතරට අයත් වේ. එහෙත් මෙවැනි ආයතනවල නිලධාරීන් මේවා මැඬලන තෙක් බලා නොසිට, රටේ ජනතාව මෙම ජාවාරම්වල යොදවන බලවතුන් සහ ජාවාරම්කරුවන් එම ක්ෂේත්‍රවලින් ඉවත් කිරීමට පියවර ගත යුතුය.
කතාව හා ෙස්යාරූ - කටුනායක ටී.කේ.ජී. කපිල