2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

මින්නේරිය කැලේ කුණු පුරවන නරුමයෝ

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

අප රටේ පිහිටි ජාතික වනෝද්‍යාන අතුරින් මින්නේරිය වන උයනට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. පෙර රජ දවස කරවූ මින්නේරිය මහ වැව කේන්ද්‍රෙකාට ගනිමින් අක්කර 25000කට අධික විසල් බිමක් පුරා පැතිරී තිබෙන මින්නේරිය ජාතික වනෝද්‍යානය වඩාත් විශේෂිත වන්නේ වසරේ වැඩි කාලයක් වන අලින් වැඩිම ප්‍රමාණයක් ගැවසෙන රංචු එහිදී දැක බලා ගන්නට හැකි වීමයි. අප රටේ සුලබව දැකිය නොහැකි දිවියාද, වළසුන්ද මින්නේරියේදී දැකගන්නට පිළිවන. එපමණක් නොව මුව, ගෝන ආදී වනසතුන්ද විවිධ පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මෙන්ම කිඹුලන් සහ උරග ගණයේ සතුන් බොහොමයක්ද එකවර නරඹන්නට මෙහිදී හැකියාව ලැබේ. මෙනිසාම මෙම වනසතුන් නැරඹීමටත් පරිසරයේ සොබා සුන්දරත්වය විඳ ගැනීමටත් දෙස් විදෙස් සංචාරකයින් මෙහි පැමිණීමට දක්වනුයේ මහත් රුචිකත්වයකි.

සොබා දහමේ මෙවන් අපූරු දායාදයන් රැසක් උරුම මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සුන්දරත්වය පරයා මතුවන අසුන්දර කථාන්තරයක් තිබේ. ඇතැම් විට ඇතැමෙකුට එය තිත්ත, නීරස විය හැකි නමුත් මතුකළ යුතු යථාර්ථය නම් එම සොඳුරු වන උයන කිලිටි කරන නරුමයින්ද සිටින බවයි.

අප ඉහතින්ද සඳහන් කළ පරිදි මෙම වනපෙතේ සුන්දරත්වය ඔපවත් කරන ජීවනාලිය බඳු වන්නේ වනසතුන්ය. එහිදී අප කාගේත් නෙත් සිත් වසඟ කරන අලියා ප්‍රමුඛ වේ. විශේෂයෙන්ම විදේශීය සංචාරකයින්ද එහි ඇදී එන්නේ එනිසාම බව කිවහොත් නිවැරදිය. එනමුත් මින්නේරිය ජාතික වනෝද්‍යානය අන් කවරදාටත් වඩා විනාශයේ අභිමුවටද ළං වෙමින් සිටින්නීය.

සතුන් දඩයම්, කැලෑ විනාශයන් වැනි වන අපරාධවලට මෙය දිගු ඉතිහාසයක් තිබෙන අතර වාහනවල හැපීම නිසා සිදුවන අනතුරු හේතුවෙන් නොකල්හි දිවි ගමන හමාර කරන අලි ඇතුන් ප්‍රමුඛ සතුන්ගේ ගණන දිනෙන් දින ඉහළ යමින් තිබේ.

පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයත් හබරණ සිට සීගිරියට ළඟාවිය හැකි කෙටි මාර්ගයක් වන මොරගස්වැව සිට සීගිරිය දක්වා දිවෙන මාර්ගයත් මින්නේරිය ජාතික වනෝද්‍යානය මැදින් වැටී තිබෙන නිසා රථවාහනවල හැපී වනසතුන් මරණයට පත්වීම නොවැළැක්විය හැකි තත්ත්වයකට පත්ව ඇතැයි වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. මෙම සියලු විනාශයන් අඩු වැඩි වශයෙන් සිදුවෙමින් තිබියදී වනපෙතත් සත්ත්ව ප්‍රජාවත් මරුකටට ඇද දමන ඊළඟ විනාශය වනුයේ විවිධ පිරිස් විසින් මෙම පරිසරයට ගෙනැවිත් බැහැර කරන පොලිතින් ඇතුළු කැළි කසළය.

වනෝද්‍යානයේ බොහෝ සුන්දර ස්ථාන පවා මේ වනවිට මෙලෙස කැළිකසළ බැහැර කරන්නන්ගේ පාරාදීස බවට පත්ව තිබෙනු දැකිය හැක.

හබරණ නගරය සහ ඒ අවට පිහිටි සංචාරක හෝටල්වලින් දිනපතා බැහැර කරනු ලබන නොයෙකුත් අපද්‍රව්‍ය සහිත කැළිකසළ මෙසේ වනෝද්‍යාන ගෙනැවිත් දමන ඒවා අතර තිබෙන බවද අපට දැනගන්නට ලැබිණි. එයට ජීවමාන සාධක සපයන ආසන්නම සිද්ධියක් ලෙස හබරණ නගරයට ආසන්නයේ පිහිටි එක්තරා සංචාරක හෝටලයකින් මේ අන්දමට ඉවත් කෙරෙන කැළිකසළ අපද්‍රව්‍ය එම හෝටලයේ සේවකයෙකු විසින් හෝටලයේම ජීප් රථයකින් මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළට කිසිදු හිරිකිතයකින් තොරව ගෙනැවිත් දමමින් සිටියදී නීතියේ රැහැනට හසුකර ගැනීමට හබරණ පොලිසියේ පොලිස් කණ්ඩායමකට හැකිවිය.

මින්නේරිය වන උයනට කැළිකසළ බැහැර නොකරන්නැයි කෙරෙන කාරුණික ඉල්ලීම්, අවවාද ආදිය ඇතුළත් පුවරු ආදිය බොහෝ ස්ථානවල සවිකර තිබියදී ඒවා කිසිත් තුට්ටුවකටවත් මායිම් නොකොට හිතාමතාම පරිසරය වනසන පිරිස් කොටුකර ගන්නට පියවර ගන්නා ලද්දේ හබරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.යූ.ඒ.ඩබ්ලිව්. පිටිගල මහතා විසිනි. ඒ මහතා තමාගේ මූලිකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් කැටුව දින කිහිපයක් බහුල වශයෙන් කුණු ගෙනැවිත් දමන ස්ථාන නිරීක්ෂණය කොට රහසිගතව එහි රැකවල්ලාගෙන සිටියදී පෙර කී සංචාරක හෝටලයට අයත් වාහනය සුපුරුදු කාරිය වන කැළිකසළ බැහැර කරද්දී එම ජීප් රියත් හෝටල් සේවකයාත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවූ බව පොලිස් ස්ථානාධිපතිවරයා කීය. ඉන් අනතුරුව ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද පියවර ගත් බවත් කීවේය. එම පුද්ගලයා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතා විසින් නියෝග කොට තිබුණි.

පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ සිට මින්නේරිය දක්වා ප්‍රදේශය කැළි කසළවලින් තොර නිකසළ පිරිසරයක් බවට පත් කිරීමට පොලිසිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රදේශ රාජ්‍ය ආයතන රැසක් පසුගිය දිනවල මහත් වෙහෙසක් දරනු ලැබීය. මෙම ආයතන එක්ව විශාල ශ්‍රමදානයක් මගින් කැළිකසළ එකතු කිරීමට පියවර ගත් අතර එක් දිනකදී එසේ එක්රැස් කරනු ලැබූ පොලිතින් ප්ලාස්ටික් වතුර බෝතල් යනාදිය ඇතුළුව කසළ තොගයේ ප්‍රමාණය ටොන් ගණනක් විය. එහෙත් මෙම සියලු වෑයම් ගඟට කැපූ ඉනි මෙන් නිෂ්ඵල වන්නේ සංවිධානාත්මක පිරිස් සහ මෙහි පැමිණෙන බොහෝ දෙනා හිතා මතා මෙය කැළි කසළ බැහැර කිරීම බව පරිසරවේදීහු පෙන්වා දෙති.

පොලිතීන් ඇතුළු කසළ මේ අන්දමට දිනපතා මෙම පරිසරයට මුදාහැරීම නිසා ඒවා ආහාරයට ගැනීමට එන අලින් ප්‍රමුඛ සත්ත්ව ප්‍රජාව හුරුවී තිබෙන බවත් අවසානයේ විවිධ රෝගබාධවලට ගොදුරු වී එම සතුන් අකාලයේ මරණයට පත්වීම නොවැළැක්විය හැකි බවත් ඔවුහු සඳහන් කළහ.

මෑත කාලයේ සංචාරක කර්මාන්තය හේතුවෙන් හබරණ නගරය දියුණුවේ අරුණළු දකිමින් තිබෙන බව ප්‍රකට කරුණකි. විශේෂයෙන්ම දෙස් විදෙස් සංචාරකයින් හබරණට පැමිණෙන්නේ අලි ඇතුන් ප්‍රමුඛ වනසතුන් නැරඹීමට සහ සොබාසිරි විඳ ගැනීමට බව අපි දනිමු. එම සංචාරකයින්ට ඇවැසි පහසුකම් සපයා මුදල් උපයා ගන්නා සංචාරක හෝටල් මගින් වනපෙතටත් එහි වෙසෙන සතා සිවුපාවාටත් මරු කැන්දන අන්දම ක්‍රියාවන් සිදුකරනු බැව් අසන්නට පවා ලැබීම අනුවේදනීය තත්ත්වයකි. වනජීවීන්ගේ දිගු දිවි පැවැත්ම අපේක්ෂා කරනු වෙනුවට උන්ගේ අකල් මරණය ළං කරන පොලිතින් සහ වෙනත් අපද්‍රව්‍ය එම පරිසරයේ මුදාහැරීම සැබැවින්ම දෙස් දෙන අපරාධයක් බැව් ඉතා පැහැදිලිය. මෙවැනි අපරාධ, පරිසර විනාශයන් සිදුකරන කවුරුන් වුවද පුද්ගලයාගේ හෝ ඔහු අයත් ආයතනය එහි තරාතිරම නොබලා නීතියේ රැහැනට හසුකර ගැනීමට පියවර සහ නීතිය ක්‍රියාවේ යෙදවීම සිදුකළ හබරණ පොලිසියට පරිසර හිතැති සියලුදෙනාගේ පැසැසුම නිතැතින්ම හිමිවනු ඇත.

මින්නේරිය වන උයන කැළි කසළවලින් තොර නිකසළ පරිසරයක් බවට පත් කිරීමේ උදාර කාර්යය එක් පුද්ගලයකුට හෝ ආයතනයකට පමණක් කළහැකි සුළුපටු දෙයක් නොවන හෙයින් එයට සියලුම දෙනාගේ සහයෝගය කැපවීම අනිවාර්යයෙන් ඊට ලැබිය යුතුය.

කතාව හා සේයාරූ - කරුණාරත්න ගමගේ