2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

යූ.බී.වන්නිනායක උන්නැහේට කවි ‍කොළ ගහලා දුන්නා

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 267
ඒ කාලේ වකාරෙට (බහුලව) මාළු අපේ ගම්වල වැව් පොකුණු, ඇළ දොළවල හිටියා. අපේ දරුවන්ගේ තාත්තාත් හරියට මාළු ඇල්ලුවා. වැව් වාන් දාපු දවසක ලූලන් සීයක් අල්ලාගෙන ආවා. මාළු වේලන්න කපලා දුන්නාම මං දුමේ දාලා ඒවා වේලනවා. කෝටු වලින් මැස්සක් හදලා හතර පැත්තට ලණු දාලා ලිපට උඩින් එල්ලලා මේ දුම හදා ගන්නවා. වේලපු කරවල (දුම්කරවල) ගෝනි ගණන් ගෙදර තිබ්බා. අපට මස් මාළුවලින් ඒ කාලේ හිඟයක් නෑ. අදත් මට හාල් මැස්සෙක් හරි මාළුවට නැත්නම් කන්ඩ බෑ යි කියමින් මේ මාතාව සිනාසුණාය.
 
එදා අපේ ගම්වල තිබුණා ගමේ රාජකාරිය කියලා පූජාවක්. ගොයම් කපලා ඉවර වුණාට පස්සේ තමයි ඒ පූජාව කරන්නේ. අපේ නිතෝගම වැවේ කෝන් ගහ යට තමයි ඒ ගමේ රාජකාරිය කළේ. ගමේ හැම ගෙදරකින්ම හාල්, පොල් එකතු කරනවා. ගමේ හැමෝම සංහිද ළඟට එදාට එනවා. ඒ ඇවිත් එතනම බත්, මාළු, කැවුම්, කිරිබත් උයනවා. ඊට පස්සේ යහන්වලට ඒවා අයින් කරලා කන්නලව් කරනවා. උඩැක්කි කාරයෝ, බෙරකාරයෝ පවා ගෙන්වලා ශබ්ද පූජාත් පවත්වනවා. ඒ දේව පූජාවෙන් පස්සේ උයාපු දේවල් ගමේ හැමෝටම කන්ඩ දෙනවා. ඉර දෙවියන්ටයි, සඳ දෙවියන්ටයි තමයි මේ පූජාව පවත්වන්නේ. කන්නලව් කරද්දී අනිත් දෙවි දේවතාවුන් වහන්සේලාත් මතක් කරනවා. පිං දෙනවා.
 
ඒ කාලේ වසංගත රෝගවලිනුත් අපි දුක් වින්ඳා. පැපොල කියලා දෙයියන්ගේ ලෙඩක් තිබ්බා. පැපොල වසංගතයට ගෙදරක කවුරු හරි ගොදුරු වුණොත් අපේ ගමේ හිටිය දෙයියා කිරි අත්තා ඇවිත් ගෙදර හතර සීමාවේ ගල් දාලා තහංචි කරනවා. දවස් විසි එකකට ඒ තහංචිය දානවා. ඒ තහංචි සීමා ගල් දාන්න දෙයියා කිරි අත්තා දිවුල්ගනේසිට එන්නේ සළඹක් සොලව සොලවා. සීමා ගල් දමලා ඊළඟට පිදුරැවලින් වෙලුවක් (ලණුවක්) අඹරලා ගේ ඉස්සරහ කඩුල්ල දිගට අදිනවා. ඒකේ කොහොඹ අත්තකුත් එල්ලනවා. එතකොට ගම්මුන් හා පිටස්තර අය දැන ගන්නවා මේ ගෙදර පැපොල හැදුණු ලෙඩෙක් ඉන්න විත්තිය. එතකොට ඒ අය ගෙදරට අඩිය ගහන්නේ නෑ.
 
පැපොල ගෙදර අනෙක් අයට නාගන්ඩ වැවේ වෙනම මංකඩක් හදා ගන්ඩත් ඕන. පොදු මංකඩේ නාන්ඩ ඒ අයට බෑ. මේක දෙයියන්ගේ ලෙඩක්නේ. අනෙක් උදවියටත් බෝවෙයි කියලා තමයි අරහෙම කරන්නේ. ගෙයි තහනම් ගල් දැම්මට පස්සේ ගෙදර ඉන්න අනෙක් අයට ලෙඩේ බෝවෙන්නෙ නෑ. දවස් විසි එක ගත වුණාට පස්සේ දෙයියා කිරිඅත්තා ඇවිත් ඒ තහංචිය අයින් කරනවා.
 
අම්මාට දැන් වයස අවුරුදු අනූ පහක් විතර වෙනවනේ. මේ ජීවිත කාලය තුළ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇතිනේ. ඒ වාගේ සිද්ධියක් දෙකක් කියමුද? මම පුංචි මැණිකා මාතාවට යෝජනා කෙළෙමි.
 
මගේ දෙවැනි කොලු පැටියා මියැදුණු දවස තමයි මට උහුලන්නඩ බැරි වෙච්ච දවස. ඒකා ඉගෙන ගන්ඩ දස්සයා. ඔය ඇහැටුවැව ඉස්කෝලේ ගියේ. ඒ ඉස්කෝලේ තිබ්බ විභාගයෙන් වැඩ ඔක්කොටම සම්මාන ගත්තා. මොකක්ද කොල්ලා ඒ විභාගය යි ඇය සිය පුතෙකු වන ආර්.අයි.බී. සේනාධීර මහතාගෙන් ඇසුවාය. ඔහු කී පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වන අතර ඊට පෙනී සිට ඇත්තේ 1968 වසරේය. විෂයන් අටටම සම්මාන අටක් සහිතව විභාගය සමත් ව ඇති අතර ඒ පාසලේ ඉතිහාසයේ එසේ උසස් ලෙස විභාගය සමත් වූ ප්‍රථමයා ඔහු බව සේනාධීර මහතා කීය.
 
කොල්ලා දොස්තර මහත්තයෙක් කරන්න තමයි අපට ඕන වුණේ. ඒත් අපි දුප්පත් නිසා ඕවා වියදම් කරන්ඩ සල්ලි නෑ කියලා කොල්ලා ඒකට කැමැති වුණේ නෑ. මං පැටියට කීවා උඹ ඉගෙන ගනින් මං ඉඩම් විකුණලා හරි උගන්නන්නම් කියලා. ඊට පස්සේ කුලියාපිටිය ලොකු ඉස්කෝලෙට කොල්ලා ඇරියා. මං කුලී කරලා පැටියාට ඉගෙන ගන්න පොත්පත් අරන් දුන්නා. අවුරුදු දාහතක් ගම් නඩුවක් කියලා ගත්තු ඉඩමක් මං විකුණලා කොල්ලට වියදම් කළා. තනියම නියරවල් ඇදලා (ලියැදු සකස් කොට) වී වපුරලා කොල්ලට වියදම් කළා. අඩුපාඩු එමටයි. ඒ ඉස්කෝලේ ලොකු පන්තිවල ඉගෙන ගත්තු ළමයි දික් කලිසම් ඇන්දේ. අපේ එකා කොට කලියම්. වන්නියේ එකා, පිට්ටුවා වාගේ නම්වානම් කියලා මගේ පැටියා කොන්කරලා තියෙනවා. අනේ එව්වා මොකවත් ගණන් නොගෙන මූ හොඳට ඉගෙන ගෙන ආවා
 
ඔහොම ඉන්නකොට කොල්ලට දොස්තරෙකු වෙන්න බෑ. ඉංජිනේරුවෙකු වෙන්ඩ ඕන කියලා ඒ පන්තියට දාන්න කියලා. ඊරියගොල්ල මහත්තයා මගේ කොල්ලව ඒ පන්තියට දාලා (ගණිත අංශය) තියෙනවා. කොල්ලා නතර වෙලා හිටියේ ඉස්කෝලෙම. (ශිෂ්‍ය නේවාසිකාගාරයේ) අලුත් පන්තියට ගිහින් දවස් දෙකයි ගත වුණේ. මගේ පැටියා නාන තටාකේ වැටිලා මැරිලා කියලා පණිවිඩ ආවා. අපි ගියා. කොල්ලන්ගේ තාත්තා කීවා මිනිය කපන්ඩ ඕන නෑ මැරුණ කොලුවාට තව වද දෙන්නේ මොකටද කියලා මිනිය බාර ගත්තා. මට නම් අදටත් කොල්ල මැරුණ එක ගැන සැකයි. ගහක් ගලක් වාගේ හිටපු දරුවා. ඉගෙන ගන්ඩ දස්සයා. ඒ හින්දම සල්ලිකාරයන්ගේ දරුවෝ මගේ පැටියට ඉරිසියා කළා. සමච්චල් කළා.
පැටියා මැරෙන කොට වයස අවුරුදු විස්සක් විතර ඇති යි කියමින් මේ වයෝවෘද්ධ මාතාව කඳුළු වගුරන්නට වූවාය. 
අපි මඳකට නිහඬව සිටියෙමු. ඇය යථා තත්ත්වයට පත් වූ පසු නැවත දොඩමලු වූවාය.
 
ඔය යූ.බී. වන්නිනායක උන්නැහැ (හිටපු මුදල් ඇමතිවරයකු වූ දිවංගත යූ.බී. වන්නි නායක මහතා) ඉස්කෝලේ පත්වීමක් අරන් තුමුල්ලේගම ඉස්කෝලයට ආවා. නතර වෙලා හිටියේ හිතෝකඩවල අපේ සේනාධීර මාමලාගේ ගෙදර. මාත් ඒ කාලේ හිටියේ ඒ ගෙදර. වන්නිනායක උන්නැහේට බත් උයලා දුන්නේ අපි. පස්සේ උන්නැහැ කවුන්සලේට (පාර්ලිමේන්තුව) ගියානේ. ඉස්කෝල රස්සාවෙන් අස්වුණා.
 
මං මෙහාට දීග ආවාට පස්සෙත් උන්නැහැට තමයි ඡන්දය දුන්නේ. එතකොට මේ ගල්ගමුවත් අයිතිවෙලා තිබුණේ නිකවැරටිය ආසනයටනේ. උන් නැහැ මෙහාට හොඳට වැඩ කළා. ඡන්දෙට කවි කොළත් ගැහුවා.
 
ඒ කවි කොළවල කවි මතකද? මම ඇසුවෙමි
 
අපේ බලවත් පෙරැත්ත මත කවි කීපයක්ම ඇය ගායනා කළාය. ඒ දිවංගත යූ.බී. වන්නිනායක ඇමතිතුමාගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා මුද්‍රණය කළ කවි කොළවල කවි කීපයකි.
 
වන්නියේ උපන් වන්නිය තොරතුරු දන්න
වන්නි නායක මැතිඳුට ඔබ ඡන්දය දෙන්න
 
ඇහැටුවැවට ඩිස්පැන්සරියක් ගන්න
ළඟදි වැඩ පටන් ගත් බව ඔබ දැනගන්න
වී මෝලුත් ලබා දුන් අප රට වැසියන්ට
ඡන්දය දෙන්න නිස්සා තෝරා ගන්න
 
ආණමඩුව සිට ගල්ගමුවට එන්න
පාරක් තිබුණේ නැති බැව් ඔබ දන්න
පාර හදා දුන් බව ඔබ සිහියට ගන්න
මැතිඳුට වන්නිනායක ඡන්දය දෙන්න
 
එච්චර වැඩ කරලත් අන්තිමේදි වන්නිනායක උන්නැහේ පරාද වුණා. ඡන්දයෙන් පරාද වී කාලෙකට පස්සේ උන්නැහැ අපේ ගෙදර ආවා මාව බලන්න. එතකොට ටිකක් වයසයි. බස්තම ඇන ඇන තමයි ආවේ. මම අර බත්උයා දීපුවා එහෙම කීවා.
තේ බොන්ඩ ඉන්ඩ කීවා. ඒත් තව ගමන් තියෙනවා කියලා මට කතා කරලා ගියා. ඕං එදා දේශපාලකයෝ පැරදුණත් කරපු උදව් මතකයි. ඒ වාගේ මිනිස්සු අද නෑ.
 
එස්.එම්.බී. පුංචි මැණිකා මාතාව අකුරු නූගත් කතක වුවත්වෙනත් අය කියවන දෑ අසාගෙන මතකයේ තබා ගෙන දැනුම ලබාගත් මවකි. යට ඇය කී කව්ද එසේ අනුන් කියන විට අසා සිට පාඩම් කර ගත් බවද ඇය අපට කීවාය. 
ජීවිතයේ බොහෝ දුර ගමනක් පැමිණි ඇයට නිදුක් නීරෝගි සුවය පතා මම ඇගෙන් සමුගතිමි. 
 
කතාව / පින්තූර - ගල්ගමුව නිහාල් ජයවීර
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00