2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

චොයිස් එකේ චූන් එක

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

අපි හැමකෙනෙක්ම ජීවත් වෙන්නෙ අපේම පුංචි පුංචි හීන ලෝකවල. මේක තමයි ජීවත්වෙන ස්ටයිල් එක, මේක තමයි අඳින පළඳින ස්ටයිල් එක, මේක තමා කතා කරන, ඇවිදින, ස්ටයිල් එක කියලා අපි හැමෝගෙම හිත්වල පොඩියට හරි අයිඩියා එකක් තියෙනවා. ඒකට‍ තමයි අපි චොයිස් එකක් කියන්නෙ. 

එක්කෙනෙක් අඩිඩාස් ෂූස් දාද්දි තව කෙනෙක් පේමන්ට් එකෙන් ගත්තු කැන්වස් දෙකක් දානවා. සමහරු ඇට්ලස් චූටි පාවිච්චි කරද්දි තව සමහරෙක් පාකර් එකක් හරි ක්‍රොස් එකක් හරි උඩ සාක්කුවෙ ගහගෙන උජාරුවට ඇවිදිනවා. 

පොඩි ගාණකට ගන්න පුළුවන් දේකට අස්ප ගාණක් වියදම් කර කර බ්‍රෑන්ඩ් පස්සෙ පන්නන්නෙ මොකටද කියලා තව කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි බ්‍රෑන්ඩ් පස්සෙ යන එකා වගේම ඒ පස්සෙ නොයන එකාත් ඉන්නෙ තම තමන්ගෙ චොයිස්වලින් ගොඩනැඟුණු ලෝකෙක කියලා ගොඩදෙනෙක්ට තේරෙන්නෙ නෑ.

මිනිස්සු කියන්නෙ එකිනෙකාට වඩා ගොඩක් වෙනස් පිරිසක්. හිතන්න පතන්න වගේම එහෙම හිතන පතන ඒවා සන්නිවේදනය කරන්නත් මිනිස්සුන්ට පුළුවන්. ඒ හින්දා අනිත් සත්තුන්ට වඩා මිනිස්සු තුළ තමන්ගෙ වරිගයා අතරෙම ලොකු වෙනස්කම් තියෙනවා. හැමදේකටම තමන්ගෙම කියල චොයිස් එකක් තියෙනවා. 

ඔපෙරා බලන්න කැමති එකාට රොක් පේන්න බෑ. රොක් අහන එකාට ජෑස් නිකං මළගෙවල් වගේ. ෆුල් සූට් එක අඳින කෙනා තමන් ගැන හිතන් ඉන්නෙ හරිම ප්‍රොෆෙෂනල් පොරක් විදිහටයි. ඩෙනිමයි ලිනන් ෂර්ට් එකයි අඳින කෙනා හිතනවා තමන් මාරම කූල් කියලා. හැබැයි ඔබ සේරම තමන්ගෙ චොයිස් ඇතුළෙ හදාගත්ත හීන ලෝක. 

කලින් පරම්පරාවෙ අය අමරදේව මාස්ටර් දෙවියන් බුදුන් වගේ අදහද්දි භාතිය සන්තුෂ්, ඉරාජ් වහකදුරු වගේ. අද ඉන්න එවුන් කියන්නෙ සින්දුද? අමරදේවලගේ වික්ටර්ලගෙ ප්‍රේමකීර්තිලගේ සින්දු එක්ක උන්ට හැරෙන්නවත් පුළුවන්ද? කලින් පරම්පරාව ප්‍රශ්න කරනවා. 

ඒත් ඉතින් සංගීතය කියන්නෙත් මිනිස්සුන්ගෙ චොයිස් එකක්. අහන සංගීතය, කන කෑම, අඳින ඇඳුම, මේ හැමදෙයක්ම මිනිස්සු තමන්ගෙ ඉමේජ් එක හදාගන්න පාවිච්චි කරන දේවල්. හැබැයි මේවා ගොඩක් වෙලාවට මිනිස්සුන්ව මනින කෝදු බවටත් පත්වෙනවා. ඒත් මේ හැම එකක්ම මිනිස්සු තම තමන්ගෙ චොයිස් අනුව ගතකරන ජීවිත හින්දා කාටවත් මුකුත් කියන්න කිසිම අයිතියක් නෑ. 

ඔය චොයිස් එක පොලිටික්ස්වලටත් එහෙම්ම තියෙනවා. අපේ කස්ටිය යූඇන්පීය, ශ්‍රී ලංකා එක, දැන් නම් ඒකාබද්දෙ, එතකොට ජේවීපීය, පෙරටුගාමී එක කියලා මරාගන්නවා. උඹලගෙ පැත්තෙ තමා හොරු ඉන්නෙ. හැමපැත්තෙම උන් කියාගන්නවා. ටී.වී. එකේ නිව්ස් බලන්නෙත් තමන්ගෙ පක්ෂෙට සපෝට් කරන චැනල් එකේ ඒවා විතරයි. 

මේ විදිහට අපේ රටේ මිනිස්සුන්ටත් චොයිස් ගොඩක් තිබ්බට අනික් එකාගෙ චොයිස් එක ඉවසගෙන ඉන්න පුරුද්දක් නම් ගෑවිලාවත් නෑ. ප්‍රාඩෝ එකෙන් යන එකාව දිරවන්නෙ නැති හින්දනෙ අපි අයින්වෙලා පයින් යමු පුතී කියලා අසංග ප්‍රියමන්ත පීරිස් කියන්නෙ. 

විශේෂයෙන්ම අනිත් එකාගෙ චොයිස් එක අපේ එකට වඩා ලක්ෂරි නම් අන්න එතකොට මතුවෙනවා පොඩි ඉරිසියාවක්. ඔහොම සල්ලි වියදම් කරන එකේ නැති බැරි මනුස්සයෙක්ට වේලක් කන්න දෙන්න තිබ්බනෙ. එයාලා හිතන්න ගන්නවා. අන්න ඒ විදිහට, ඉරිසියාව මතුවෙන්නෙ ඉරිසියාව විදිහටම නෙමේ. සමාජ සාධාරණත්වය, පන්ති විෂමතාව වගේ බර වචන කන්ටේනරයක් ඉස්සරහින් තියාගෙන තමයි ඉරිසියාව මතුවෙන්නෙ. 

චොයිස් එකක් කියන්නෙ නූතන මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයක්. හැබැයි තමන්ගෙ චොයිස් එක තම තමන්ට රහයි වගේම අනිත් අයට තම තමන්ගෙ චොයිසුත් රහයි කියලා හැමෝටම හිතන්න පුළුවන්නම් ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් වේවි.