2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

මකර තොරණේ සිට බුදු ගෙය දක්වා වින්දනීය මාර්ගය

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 223

කෙස් ගස් පැහෙන විට අතරින් පතර
හර අඩුවෙලා පව් ගිණුමේ වැඩියි බැර
සුවඳ කූරු මල් සමඟින් පහන් තිර
අරගෙන ගියෙමි අස්සෙන් තොරණේ මකර

සැදැහැති මුදලාලි උන් කඩයේ පෙට්ටි
අඹ දඹ කෙසෙල් අන්නාසිත් ලොකු කුට්ටි
අහුරා එකට සකසා පළතුරු වට්ටි
දුටුවෙමි බුදුන් වැඳුමට විකුණනා හැටි

එක කකුලකට කළු පැහැ ඩොට් ඩොට් බාටා
අනිත් කකුලෙ ඇත කැන්වස් නිල් පාටා
මව් ගුණ හොරුගෙ සිහිකර හෙමිහිට ගාටා
ආවේ ළඟට එළවළු විකුණන ඇන්ටා

උඩින් ඇවිත් බ්‍රේක් ගැසූ වාහනයේ
දොරක් ඇරී කොල්ලන් රොත්තකි දැමුයේ
සල්ලි සිඟන හැටි උන් ටික නැරඹූයේ
ලේකම්තුමයි ගරු, යාචක සංගමයේ

පෙනුණත් දුරට ගසකැයි මින් පෙර නුදුටූ
බෝ ගස හැඳින ගත් විට ඇති විය සතුටූ
දූවිලි වැදෙන හින්දා බෝ කොළ  දැවටූ
රෙදි ගොඩ දුටිමි රෑපද ඇති නයි, කපුටු

ඒ (A) නම් හිමිගෙ ඉල්ලීමක් ඉටු කරදී
බී (B) නම් ඇමති දුන් අවසර පරිදි
සී (C) නම් මැතිඳු ප්‍රතිපාදන ලබා දී
ඩී (D) නම් තුමා විත් මුල්ගල යට කර දී
ඊ (E) ________________
එෆ් (F) _______________
:
:
:
වයි (Y)  නම් තුමා කළ සැලසුම් පරිදි
එඒ (AA) රජුන් සඟරුවනට  බැතින් පිදී  (ඉසෙඩ් Z නැත)
පඩි තුන හතර බැස්සා පින් ලබා දිදී

ඉන්පසු ගියේ දාගැබ ඇති පෙදෙස කරා
මල් රොන් උරයි එහි මුල්ලක සිටි බඹරා
කෙල්ලෝ ගොඩක් මලසුන ළඟ මුකුළු කරා
කොල්ලෝ ඉඳිති පැත්තක මානන් කැමරා

සොඳ පුත් රුවන මැතිඳුගෙ කළ කිරිමේල (criminal)
කරඬුව හිසින් ගෙන යයි මවමින් සීල
කැපුවත් ඇඟිලි කලකදි අංගුලිමාල
මහණ වුණා කිව්වා පොලිසියෙ රාළ

බුදුගේ සමිඳු ළඟ සරාගි රැගුම් නඟා
සිටියේ තුනකි ඒ තන්හා රතී රඟා
මාර දියණි ලෙස හිටියත් දෙමින් නිගා 
මේ මදුසිකයි, චම්පා සමඟින් ගංඟා

සෙමින් ඇවිත් ආවාසේ නැවැත්තුව
මූණත් පෙනෙන සේ ඔපවත් පැජරෝව
තුළින් බැස්ස බොඩි ගාඩ්ල වට කෙරුව
ලොකු හිමි දුටිමි සැල් පෝනය කන ගාව

I අනීවාරතේ