තාරකා විද්‍යාව යනු ග්‍රීක යුගය දක්වා විහිදෙන ඉපැරැණි විද්‍යා විෂයයකි. ඇස්ට්‍රොනොමි හෙවත් තාරකාවේදය යන වදනින්ම එහි ඇති විද්‍යාත්මක බවෙහි අරුත පැහැදිලිය. පෘථිවියෙන් පරිබාහිර සිදුවීම් හා අභ්‍යවකාශ වස්තූන් පිළිබඳව මේ යටතේ හැදෑරීම් සිදුකෙරේ. විශ්වයේ සම්භවය, විකාශනය හා විශ්ව වස්තූන්ගේ භෞතික රසායනික ගුණයන්ගේ පරිණාමය අධ්‍යයනය ඊට අයත්ය. එහෙත් අහසේ පිහිටන ග්‍රහවස්තු පදනම් කරගෙන නැකැතියන් විසින් දෛවය පිළිබඳ කරනු ලබන අනාවැකි පළකිරීම් මේ අධ්‍යයන කටයුත්තට සපුරා වෙනස්ය. එය ලොව ඥාන ගවේෂණයට වඩා මිනිසුන්ගේ දෛවය, ඉරණම ගැන ප්‍රකාශ නිකුත් කිරීමට සීමාවන්නකි. අනෙක් අතට එහි පවතින ප්‍රධාන දුර්වලතාවය වන්නේ විද්‍යාවක් වීමට අවශ්‍ය මූලිකම සාධකය වන විද්‍යාත්මක ක්‍රමය පදනම් කරගෙන එය ක්‍රියාත්මක නොවීමය.
දුරේක්ෂයට පෙර තාරකා විද්‍යාවේ මුල්කාලීන සොයාගැනීමක් හැටියට සැළකෙන තරු මාළිමාව නමැති උපකරණය එදා භාවිත වුණේ හිරු නැගීම හා බැසීම හා නාවික ගමන් මාර්ග සොයාගැනීම ආදියටය. ඒ මධ්‍යතන යුගයයි. යුග යුග ගණන් පසුකර අවුත් සඳ තරණය ආදී දියුණු පියවරයන්ට අවතීර්ණ වන තැනට තාරකා විද්‍යාව දියුණු වූයේ විද්‍යාවක් හැටියටය. එහෙත් අවාසනාවකට විද්‍යාවත් තාක්ෂණයත් අතිශය මන්දගාමීව සම්ප්‍රාප්තවීම නිසා ලංකාව තුළ තාරකා විද්‍යාඥයන් පරයා නැකැතියෝ රජ කළහ. අධ්‍යාපනය අතින් අපටත් වඩා පසුපසින් සිටින අසල්වැසි භාරත දේශය අභ්‍යවකාශ යානා යවමින් අඟහරු ගවේෂණය කරනවිට රටේ අනාගත නායකයා ගවේෂණය කිරීම නැකැතියන්ට පැවැරෙන්නේ ඒ වැඩවසම්භාවය නිසාය. දැන් නැකැත්කරුවන්ගේ ප්‍රකාශ අරභයා විවිධ මාධ්‍යයන්ගෙන් ප්‍රශ්න කෙරේ. සැබැවින්ම එය යහපත් ප්‍රවණතාවයකි. නැකැත් බලමින් කටයුතු ප්‍රමාද කිරීම බාලයන්ගේ පුරුද්දක් යැයි කියනු ලැබුවේ බුදුරදුන් විසිනි. ස්ථිර අදහසකින් යුතුව යහපත් ක්‍රියාවක නිරතවීමට අවශ්‍යවන්නේ නැකැත් නොව ආත්ම අධිෂ්ඨානය බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සඳහන් කළහ.
සියලු විද්‍යාත්මක සොයාගැනීම්වලට මුල්වන්නේ චින්තනයයි. නිදහස් චින්තනයකින් තොරව කිසිදු අලුත් සොයාගැනීමක් කළ නොහැකිය. අද අප රට වැටී තිබෙන අගාධ අඳුර නම් නිදහස් චින්තනයක් නැතිකමයි. කුමාරතුංග මුනිදාස සූරීන් කී පරිදිම අලුත් අලුත් දෑ නොතනා සේවා ආර්ථිකය මුල්කරගැනීම අප රට ආර්ථික වශයෙන් පරිහානියට පත්වන්නට එක් මගක් විය. එනිසා විද්‍යාව තාක්ෂණය මුල්කරගත් නිදහස් චින්තනය රජ කරන සමාජයක් අපට ඇවැසිව තිබේ. රට නව මඟකට යොමුකළ හැක්කේත් මිනිසුන් පරාධීනත්වයට ඇද දමන ප්‍රාග් ඓතිහාසික මෙවලම්වලින් ජන සමාජය මුදාගත හැක්කේත් එමගින් පමණි. නැතහොත් ගස් ගල්වලට වඳිමින් බියෙන් පසුවෙමින් ආත්මීය වශයෙන් වහල් සමාජයක් තවදුරටත් අපට දැකගන්නට හැකිවනු ඇත.
සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය හැඳින්වෙන්නේ ශාස්ත්‍රීය අවකාශය නියෝජනය කරන පරිසරය හැටියටය. එහෙත් මෙම පසුගාමී චින්තනය පසුගිය කාලයේදී අප සමාජයට කෙතරම් දරුණු ලෙස කා වැදුණේද යත් සරසවි සිසුන් පවා සිය ඥාන ගවේෂණ කාර්ය පසෙක තබා වාර්ෂිකව යාතුකර්ම සංවිධානය කළහ. ශාස්ත්‍රීය සංවාද, සම්මන්ත්‍රණ, වාද විවාදවලින් බැබලිය යුතු සරසවි මණ්ඩප පාළුවට යද්දී පූජා පිටි බවට පත් වූ සරසවි බිම්වල බලි, තොවිල්, යාග හෝම ආදිය ජයටම සංවිධානය වුණේ ඇතැම් සමාජ විද්‍යාඥයන් යැයි කියාගන්නා මහැදුරන්ගේ ද අනුග්‍රහයෙනි. ප්‍රශ්න කිරීම වෙනුවට ඔළුව වැනීම මුල්කරගත් අවිද්‍යාත්මක භක්තිවන්තභාවය ඉතාම නිදහසේ සරසවි සිසාරා වැපිරුණේ එකී පරිසරයේය.
ගුරැගෝල සම්බන්ධයත් සමතික්‍රමණය කරමින් ශාස්ත්‍රීය අධ්‍යයනයකට අවතීර්ණ විය යුතු සරසවි ආචාර්යවරැන් ඇතැමෙකු යකැදුරා හා ආතුරයා අතර පැවැතිය යුතු සම්බන්ධය විශ්වවිද්‍යාලයට ගෙන ආවේ මේ පරිසරයේය. යකඩ මල්ලට හෙණ ගැහුවාම පුළුන් මල්ල ගැන කවර කතාදැයි කියන්නාක් මෙන් චින්තන විප්ලවයට දරදිය ඇදිය යුතු තැනට එසේ වෙද්දී සාමාන්‍ය ජන සමාජයට මෙවන් ඉරණමක් අත්වීම ගැන අප පුදුම විය යුතු ද නැත. එහෙත් ශාස්ත්‍රීය අධ්‍යයනයක නිරත වුන් හැටියට අපේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද? අවසන අප ඇසිය යුත්තේ එම පැනයයි.
යසිඳු ජයලත් අලහප්පෙරැම - කොළඹ විශ්වවිද්‍යාලය