2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ලෝකය වෙනස් කළ පොත්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 491

“ඔබ කියවන්නේත් අනෙක් හැමෝම කියවන පොත් නම් ඔබේ සිතිවිලිත්, චින්තන රටාවත් අන් අයගෙන් වෙනස් නොවනු ඇති.” මේ ප්‍රකාශය කරන්නේ ජපාන ජාතික සුප්‍රකට ලේඛක හරුකි මුරකාමිය. ඔහු සිංහලයටත් පරිවර්තනය වී ඇති “කෆ්කා මුහුදු වෙරළේ” ඇතුළු භාෂා 50කට පමණ පරිවර්තනය ලක්ව ඇති අපූරු පොත් රැසක් ලියූ සම්මානිත ලේඛකයෙකි. වෙනත් ලේඛකයන්ගේ කෘති නොකියවන දුර්ලභ ගණයේ ලේඛකයකු හැටියට ඔහු ප්‍රසිද්ධය. නමුත් මුරකාමිගේ ඉහත ප්‍රකාශය මගින් ඔහු නොකියා කියන්නේ සෑම කෙනෙකුගේම ජීවිතය තමන්ගේම අනන්‍යතාවක් ඇතිවන ලෙසට වෙනස් කළ හැකි සුවිශේෂී පොත් ඇති බවය. හොඳින් විපරම් කර බැලූවිට පෙනීයන්නේ තමන්ට තමන්ව සොයාදෙන මේ ග්‍රන්ථ බොහෝමයක් නවකතා බවය.

සැබෑ පොතක් යනු කෙනෙකුගේ සිතිවිලි රටාව ලෝකය පිළිබඳ දැකීම වෙනස් කරන්නට සමත් වන ලෝකය වෙත විවර වූ අලුත් කවුළුවක් බඳුය. පසුගිය කාලයේ අන්තර්ජාලය ඔස්සේ තම තමන්ගේ ජීවිත වෙනස් කළ ලෝකය පිළිබඳ දැක්ම වෙනස් කළ පොත් ගැන විවෘත විමසීමක් සිදුකර තිබුණි. එහිදී බහුතරයක් දෙනා නම්කර තිබුණේ හර්මන් හෙසගේ “සිද්ධාර්ථ” ග්‍රන්ථයයි. සරල සුගම ශෛලියකින් භාව ගීතයක් ලෙසින් ජර්මන් බසින් ලියැවුණු මේ ග්‍රන්ථය හර්මන් හෙසගේ නවවැනි නවකතාව වන අතර, වැඩිම භාෂා ගණනාවකට පරිවර්තනය වූවකි. සිද්ධාර්ථ, දයාරත්න ගරුසිංහයන් විසින් සිංහලයටද පෙරුළී තිබෙන වැඩි දෙනෙක් කියැවූ ග්‍රන්ථයකි. ගෞතම බුදුන් සමයේ ජීවත්වන සිද්ධාර්ථ නම්වූ තැනැත්තෙකු තමන් තුළ තමන් සොයා කෙරෙන අධ්‍යාත්මික ගමනක් මේ තුළින් විවරණය කර තිබේ.

බ්‍රසීලියානු නවකතාකරුවකු වන පාවුලෝ කොයියෝ ඩි සෞසා ලෝකය පුරා මිලියන ගණනාවකගේ කියැවීමට ලක්වූ සම්මානිත ලේඛකයෙකි. ඔහුගේ The Alchemist ලෝකයේ භාෂා 81කට පරිවර්තනය වූ කෘතියකි. ජීවතුන් අතර සිටින ලේඛකයකුගේ වැඩිම භාෂා ගණනකට පරිවර්තිත කෘතිය ලෙස එය ගිනස් වාර්තාවක්ද හිමිකරගෙන තිබේ. පිරමීඩ තුළ සැඟවුණු මහා නිධානයක් සොයා ලෝකය පුරා නිදහසේ සැරිසරන තරැණ එඬේරකුගේ ගමන්මගක ගුප්ත අත්දැකීම් විවරණය කරමින් ලියැවී ඇති මෙහි අභ්‍යන්තරිකව විවරණය වන්නේද තමන් තුළ සැඟවුණු සැබෑව සොයා යන තැනැත්තෙකු ගැනය. මේ ග්‍රන්ථය බොහෝ දෙනකුගේ චින්තාවලිය උඩු යටිකුරු කර ජීවිත ගමන වෙනස් කළ බව ප්‍රකාශ වී තිබේ. එසේ කියන්නන් අතර ප්‍රකට හොලිවුඩ් නළු විල් ස්මිත්, පොප්ගායිකා මැඩෝනා, පැරල් විලියම්ස් මෙන්ම බිල් ක්ලින්ටන්ද වෙති.

තවත් බහුතරයක් විසින් කියවා ඇති මෙන්ම සිය ජීවිත දර්ශනය වෙන් කළ බවට ඉදිරිපත් කර ඇති ග්‍රන්ථ ගණනාවකි. ජෝර්ජ් ඕවෙල්ගේ 1984, ඒ අනුව තුන්වැනි තැනට එයි. හාපර් ලීගේ සුප්‍රසිද්ධ ග්‍රන්ථය To Kill a Mocking bird තවත් එබඳු ග්‍රන්ථයකි. ජෝර්ජ් ඕ වෙල්ගේම Animal Farm සහ හර්මන් හෙසගේ “පතන් වෘකයා” අතරට ඛලිල් ජිබ්රාන්ගේ The Prophet ද බොහෝ දෙනෙකුට තදින්ම බලපෑ ග්‍රන්ථයන්ය.

මේ අන්දමට ලෝකය දකින අයුරු වෙනස් කිරීමට සමත් වූවා යැයි දක්වා ඇති ග්‍රන්ථ ලැයිස්තුවද ඉතා අපූරු වූවකි. ඒ අතරට ජේ.කේ. රෝලින්ග්ගේ හැරී පෝටර් සහ මායාගල ග්‍රන්ථයත් ඇනටොයින් ඩි සේයින්ට්ගේ “පුංචි කුමාරයාත්” ඇතුළත්ය. යාන් මාර්ෂල්ගේ Life of Pi මෙන්ම අල්බෙයා කැමූගේ “පිටස්තරයා”ද බහුතරයකට තද බලපෑමක් කර තිබේ. විද්‍යා ප්‍රබන්ධ අතරින් රේ බ්‍රැඩ්බරිගේ Fahrenhei 451, ඇල්ඩස් හක්ස්ලිගේ Brave New world බහුතරයකට බලපා තිබේ.

මෑත කාලයේ බහුතරයකගේ පරිහරණයට ලක්වූ හා සම්භාවනාවට ලක්වූ ග්‍රන්ථ දෙකක් වේ. එයින් වික්ටර් ඊ ෆ්‍රැන්ක්ගේ Man’s Search for Meaning අධ්‍යාත්මික සොයායාමක් ගැන ලියැවූවකි. පූජනීය දලයි ලාමාගේ The Art of Happiness, මෙන්ම ලියූ ලේඛකයා නොදන්නා ජේම්ස් රජුගේ ශුද්ධ බයිබලයද, තවත් ලේඛකයා නොදත් ග්‍රන්ථයක් වන The book of Mormen ද බොහෝ දෙනෙකුගේ ජීවිතවලට තද බලපෑමක් කර තිබේ.

සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00