2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ගාලු කොටුවට අැතුළුවීම තහනම්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 245

කොටුවට ප්‍රශ්නය වෙලා තියෙන්නේ ලොකු වාහනයි. කොටු දොරකඩ හරහා උසින් වැඩි බර වාහන ගමන් කරද්දී එහි වැදී දොරටුවට හානි වෙනවා. සංචාරක හෝටල්වලට සංචාරකයන් රැගෙන එන්නෙත් උස බස්රථවලින්. ඒ වගේම ලොරි වගේ බර වාහනත් සීමාවකින් තොරව එනවා. මේ නිසා අඩි 9ට වඩා උස වාහන ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

එලෙස අප වෙත අදහස් දැක්වූයේ ගාලු උරුමය පදනමේ අධ්‍යක්ෂ එච්.එල්. ගුණවර්ධන මහතාය. ගාලු කොටුව ආරක්ෂා කරගැනීම සඳහා පිහිටුවා ඇති මෙම පදනම ඒ සඳහා ගත් පියවරක් ලෙස කොටුවට වාහන ඇතුළු කිරීම සීමා කිරීමේ නීතිය පසුගිය ඔක්තෝබර් 01දා සිට ක්‍රියාත්මකය. ඒ සඳහා ගාල්ල පොලිසියේද සහාය ලැබේ.

කොටුවේ පොළොව යටින් ඉපැරැණි කාණු පද්ධතියක් පිහිටා තිබෙනවා. ඕලන්ද කාලයේ සිට කොටුව ඇතුළත එකතුවන ජලය හා අප ජලය ඉවත් කිරීමට මෙම කාණු යොදා ගත්තා. නමුත් බර වාහන පැමිණීම නිසා මේවා විනාශ වී ගිය අවස්ථා වාර්තා වුණා. ඒවා ප්‍රතිසංස්කරණය කිරීමටත් සිදුවුණා. මෙහෙම බරවාහන සීමාවකින් තොරව පැමිණියහොත් කොටුවට ලොකු හානියක් වේවි. ඒ වගේම කොටුව ඇතුළේ තිබෙන පටු පාරවල්වල මාර්ග තදබදයක් ඇතිවීමටත් පදිකයන්ගේ ආරක්ෂාව අඩුවීමටත් බර වාහන ගමන් කිරීම හේතුවෙනවා. ගුණවර්ධන මහතා තවදුරටත් පැවසුවේය.

ගාල්ල නගර සභාව සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේද සහයෙන් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. 
ගාලු කොටුව පෘතුගීසීන් විසින් මුලින්ම නිර්මාණය කළේ 1588දීය. ඊට පසු ලන්දේසි 1658දී ගාල්ල යටත් කරගත් පසු කොටුව වඩාත් ශක්තිමත් කර අද අප දකින ආකාරයට ඉදි කළේය. එකල කොටුවට ඇතුළු වුණේ අද මෙන් ටොන් ගණන් බර දැවැන්ත ඩීසල් හෝ පෙට්‍රල් වාහන නොව අශ්ව කරත්ත පමණි. එයද ඉතා සුළු වශයෙනි. එහෙත් ඉංග්‍රීසි පාලන යුගයේදී එයට ඩීසල් වාහන ඇතුළුවීම ආරම්භ වීමෙන් පසු අද වනවිට එය සීමාව ඉක්මවා යන ස්වභාවයක් පවතී. මෙම ඓතිහාසික ස්මාරකයට දරාගත නොහැකි තරම් වන දෙදහසකට ආසන්න වාහන ප්‍රමාණයක් දිනකට කොටුව තුළට ඇතුළු වේ.

එහි නිවැසියන්ගේ අවශ්‍යතාවලට, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට, හෝටල්වලට මෙන්ම නරඹන්නන් රැගෙන පැමිණෙන වාහන ද ඒ අතර වේ.
ගාලු කොටුවේ රථවාහන සීමා කිරීමේ නීති මුලින්ම පැනවූයේ 2009.06.05 දින අංක 1604/29 දරන ගැසට් නිවේදනය මගිනි. ඒ මගින් ගාල්ල කොටුවේ රථවාහන කළමනාකරණය ගැන නීති පනවා තිබේ. මෙතෙක් එම නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන්ගේ උනන්දුවක් නොතිබුණු අතර මේ නිසා බරවාහනවලින් ගාලු කොටු දොරටුවට අවස්ථා කිහිපයකදීම හානි සිදුවිය. ඉකුත් පෙබරවාරි මාසයේ කොටු දොරටුවේ ලොරියක් ගැටීම නිසා විශාල හානියක් සිදුවිය.

වාහනවලින් මෙම ඓතිහාසික ස්මාරකය ආරක්ෂා කර ගැනීමට විධිමත් සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙස යුනෙස්කෝ සංවිධානයද දන්වා තිබේ. ඒ අනුව පසුගිය 1දා සිට ක්‍රියාත්මක කළ නීතියට අනුව ටොන් පහට වැඩි සහ උස මීටර් 3ට වැඩි බස් රථ ඇතුළු බර වාහන ඇතුළු කිරීම තහනම් කෙරිණි. ඒ පිළිබඳව කොටුව ඇතුළත පදිංචිකරුවන්, ආයතන දැනුවත් කර ඇති අතර දැන්වීම් පුවරු මගින්ද ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ. එමෙන්ම භාණ්ඩ ප්‍රවාහනය කරන සියලු රථවාහන ඇතුළුවීම හා පිටවීම පෙ.ව. 9.00 සිට ප.ව. 11.00 දක්වාත්. ප.ව. 5.00 – 7.00 දක්වාත් සීමා කිරීමටත් තීරණය කර ඇත. වෙනදා මෙන් ගාල කඩාගෙන වාහන පැදවීමටත් දැන් රියැදුරන්ට ඉඩ ඇත. කොටුව තුළ රථවාහන ගමන් කළයුතු උපරිම වේගය පැයට කි.මී. 25කි.

මේ පිළිබඳව ගාලු උරුමය පදනමේ සභාපති චන්න දාස්වත්ත මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කර සිටී. ගාල්ල කොටුව තුළට දෛනිකව බස්රථ විශාල ප්‍රමාණයක් ඇතුළුවනු දැකිය හැකිය. මේ හේතුවෙන් ගාල්ල කොටුවේ සෑම වීදියක් යටින්ම ලන්දේසින් විසින් ඉදිකර ඇති පැරණි පල්දොරු පද්ධතියේ ආරුක්කු දැඩි ලෙස ඉරි තැලීමකට ලක්ව ඇත.
අධික ශබ්දය, දූවිල්ල, විෂ දුම් නිසා ආකර්ෂණීය සංචාරක පුරවරයක් වන ගාලු කොටුවේ වටිනාකම දැඩි ලෙස අඩුවී ඇත. බොහෝ සංචාරකයන් මෙම අහිතකර තත්ත්වය පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවිවලින් නොසතුට ප්‍රකාශ කර තිබෙනු දැකිය හැකිය. බර වාහන හේතුවෙන් කොටුවේ පැරණි නිවාස පද්ධතියට හානිවීම නිසා කොටුවේ නිවාස හිමියන්ගෙන්ද නිරන්තරව මේ ගැන පැමිණිලි ලැබේ. එමෙන්ම පසුගිය වසර තුන තුළ 35 වතාවක් ගාලු කොටුවේ පැරැණි කොටු දොරටුව බස් රථ වැදීමෙන් හානියට පත්ව ඇත.

ගාල්ල කොටුව දකුණු පළාතේ එකම යුනෙස්කෝ ලෝක උරුම ස්මාරකයයි. එහි ඇති ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම නිසා 1988 දී ගාලු කොටුව යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කෙරිණි. එය අක්කර 90ක විශාලත්වයකින් යුක්තය. කොටු පවුරේ වට ප්‍රමාණය කි.මී. 3කට ආසන්නය.
මුර අට්ටාල 14කින් සමන්විත ගාලු කොටුවේ ඝන්ඨාර කුලුන, ඔලෝසු කණුව, ප්‍රදීපාගාරය, පැරණි ලන්දේසි රෝහල, කළු කොටුව, ඕලන්ද දේවස්ථාන ඇතුළු ආගමික ගොඩනැගිලි ඇතුළුව පලදෝරු හෙවත් උමං කාණු පද්ධතිය අදත් දැකගත හැකිය. එමෙන්ම ඕලන්ද යුගයට අයත් පෞද්ගලික නිවාස පද්ධතියකින්ද කොටුව සමන්විතය.

ගාලු කොටුවට වාහන සීමා කිරීමෙන් නොනැවතී පැරණි නිවාස හොර රහසේ නවීකරණය කිරීමද අත්හිටුවීම අවශ්‍ය බව අපි අවධාරණය කරන්නෙමු. එසේ නොවුවහොත් අවසානයේ කොටු පවුර පමණක් ඉතිරි වී ඇතුළත නවීන නිවාසවලින් සමන්විත වීමට ඉඩ තිබේ.

ඡායාරූප අන්තර්ජාලයෙනි.
කුසුම්සිරි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00