මේ ඒ හාදුව නෙවෙයි...
දස මාසයක් කුසයේ වද දිදී ඉඳලා නොයෙක් වේදනා දීලා මේ ලෝකේ එළිය දැක්ක මොහොතේ, ඒ වේදනා ඔක්කොම අමතක කරලා තෙත් වෙච්චි කම්මුලට සදාදරණීය අම්මා දුන්නු උණුහුම් හාදුව නෙවෙයි..
වෙන එකක්...
වැලි කෙළි... කෝම්පිට්ටු බත්... කොස් කොළ ඔටුණු කාලේ පහුකරන් සෙනෙහෙ කොළ.. චොකලට් යුගයට පය තිබ්බ කාලේ....හිත් ඇතුලේ හොල්මන් කරපු හාදුව..
ආදරේටම ලියාපදිංචි වෙච්චි... ආදරේම අයිතිවාසිකමක් වෙච්චි අපූරු මානවීය සන්නිවේදනයක්...
ටෙලි චිත්‍රපටවල බොඳ කරලා පෙන්නුවට, දෙන්න ලබාගන්න තිබිච්චි අහිංසක හීනේ කවදාවත් බොඳ නොවිච්චි හාදුව....
සරාගික සංකේතයක් විදිහට හංවඩු ගැහෙද්දි විරාගික නොවිච්චි ලෝකෙක නුරා හැඟුම් පුබුදවපු හාදුව....
ඒ ඔක්කොම අතරේ අති විශේෂ උත්කර්ෂය....
“ප්‍රථම හාදුව”
අමතක කරන්න කොහෙත්ම බැරි, මතක් කරගන්න උවමනා නැති, ඇඟ කිලිපොලා යන මතක ගොන්නක්.
අඩ අඳුරු සිනමා හලක, සරසවියේ බංකුවක, බස් එකක මුල්ලක, සමහරවිට මහ පාරේම... ඔව්... සෙනඟ සිය ගානක් එහා මෙහා යන මහ පාරේම... පවුරු වළලු සීමා බිඳ දමාගෙන දොරේ ගලපු හැඟීම් ගොන්න...
එහෙමත් නැත්නම්...
ලක්ෂ ගාණක් වියදම් කරපු හරිම ලස්සන විවාහෝත්සවයක් අවසන... සීතල කරපු කාමරේක.. රතු මල් පෙති විසිරැණු සයනයක... විල්ලුද ඇතිරිල්ලක... ලජ්ජාවෙන් මිරිකිච්චි හැඟීම් ගොන්න...
කවුරු කොහොම කෙසේ කිව්වත්...
ඒ හාදුවට අපි හැමදාම ආදරෙයි..
නාඩියා