2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

රජයට හා ජනතාවට මුදල් අහේනියක්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 157

2017 ඔක්තෝබර් මස 9 වැනි සඳු දින රාත්‍රී නවය පසු වී විනාඩි විසි හතට ග්‍රහලොව මනාලිය වූ සිකුරු තමාට නීච රාශි භවන වූ කන්‍යා රාශියට පිවිසෙයි. රවිට අයත් උත්‍රපල් නැකතේ දෙවැනි තුන්වැනි හතරවැනි පාදවලත් සඳුට අයත් හත නැකතේ සම්පූර්ණවත් අඟහරුට අයත් සිත නැකතේ ප්‍රථම දෙවැනි පාදවලත් ගමන් කරන සිකුරු 2017 නොවැම්බර් මස 2 වැනි ගුරු දින දක්වාම කන්‍යා රාශියේ නීචව ගමන් කරනු ඇත.

මේ වන විටත් කන්‍යා රාශියෙහි උච්ච වී සිටින බුධ සමඟ යෝගවන සිකුරු නිසා නීච භංග රාජයෝගයක් උදා වේ. ඒ සිකුරු සමඟ බුධ යෝග වී සිටින කාල වකවානුව තුළ, එනම් 2017 ඔක්තෝබර් 9 වැනි දින රාත්‍රී 9 පසු වී විනාඩි 27 සිට 2017 ඔක්තෝබර් 13 වැනි දින රාත්‍රී 11 පසු වී විනාඩි 54 දක්වා වූ කාල පරාසය තුළ නීච වූ සිකුරුත් උච්ච වූ බුධත් යෝග වී නීච භංග රාජයෝගය ඇතිවනු ඇත.
මෙම නීච භංග රාජයෝගය යෙදෙන වකවානුව තුළ උපදින දූ දරුවන් ඉතා වාසනාවන්ත වනු ඇත. දුගී පැලක උත්පත්තිය ලැබුවත් ක්‍රමක්‍රමයෙන් ඉතා උසස් දියුණුව ලබමින් ඉහළට යන පුද්ගලයන් බවට පත්වීමේ වාසනාව ඔවුනට හිමි වේ.
මේ කාලය අප රටට මෙන්ම විදේශීය රටවලට ද යහපත් නොවන අතර කුඩා ළමුන්ට මෙන්ම කාන්තාවන්ට ද අයහපත් වූ බලපෑම් ඇතිවනු ඇත. ළමා අපයෝජන මෙන්ම ස්ත්‍රීන් දූෂණය කිරීම, අමානුෂීය ලෙස ඝාතනය කිරීම් වාර්තා වේ. මහජන නියෝජිතයකුට මන්ත්‍රීවරයකුට හදිසි අනතුරකට හෝ ඉතා අශුභ වූ සිදුවීමකට මුහුණ දීමට සිදුවනු ඇත. රටේ ජනතාව මෙන්ම රජය ද මුල්‍යමය අර්බුදයකට මුහුණපායි. ප්‍රවීණ කලාකරුවකුට, සංගීත හෝ චිත්‍රපට අධ්‍යක්ෂණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලි කලාකාරියකට කලාකරුවකුට මාරක සිදුවන කාලයකි.
මීළඟට ඔබට

මේෂ - නැති වූ දේ හමුවේ
ඔබට මිශ්‍ර ඵල උදාවන අතර ඔබගේ යම්කිසි දෙයක් නැතිව තිබුණේ නම් එම දේ ලබාගැනීමට හැකියාව ලැබේ. තමාගේ කාලත්‍රයාට හදිසි ශරීර පීඩා, ලෙඩරෝග මතුවන්නා වූත් වකවානුවකි.

වෘෂභ - පවුලේ සමගිය
ඔබට ඉදිරි දින 4 තුළ ඉතා ශුභ ඵල අත්කර ගත හැකිය. විරුද්ධවාදීන්ගෙන් ද සහාය අත්වනු ඇත. අන් අයගේ ආදරයට ගෞරවයට පාත්‍ර වේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වන වකවානුවකි.

මිථුන - නීතිමය ගැටලුවක්
නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් තම කටයුතු කිරීමේ දී කල්පනාකාරී වීම වැදගත් වේ. තමන් පදිංචි ස්ථානය ආශ්‍රිතව යම් යම් ගැටලු ඇතිවනු ඇත.

කටක - බියට පත්වීම්
පවුලේ සාමාජිකයන් අතර ගැටලු මතුවනු ඇත. යම් යම් අවස්ථාවන්වලදී බියට පත්වීම් ද, අන් අය සමඟ විවාද කිරීමට යාමෙන් ද තමාට අවාසි ද සිදු වේ. අන් අය සමඟ මතභේද ඇතිකර ගැනීමෙන් වළකින්න.

සිංහ - තැන්පත් ධනය වැය වේ
පවුල් දිවියේ මතභේද ඇතිවන වකවානුවක් වන අතර තම තැන්පත් ධනය ද වියදම් වීම් සිදුවන බැවින් වියදම් පාලනය කිරීමට වගබලා ගන්න. සේවා ස්ථානයෙන් මාරුවක් බලාපොරොත්තු වූ අයට තම බලාපොරොත්තු ඉටුකරගත හැකි වේ.

කන්‍යා - හදිසි ධන ලාභ
ඔබට මුල් දින 4 ශුභ ඵල ගෙන දෙන අතර ඉන්පසු ඔබ නොසිතූ ආකාරයේ ප්‍රශ්න මතුවනු ඇත. අන් අයගේ දෝෂාරෝපණ ඔබට එල්ල වෙයි. පවුල් දිවියේ සමගියට ද බාධා ඇතිවනු ඇත. 

තුලා - කීර්තියට හානි
ඔබට එරෙහි බලවේග වර්ධනය වන අතර ජලය ආශ්‍රිතව කටයුතු කරන අය ද පරිස්සම් වීම වැදගත්ය. තමන්ගේ කීර්ති නාමයට හානිවන ආරංචි අසන්නට ලැබේ.

වෘෂ්චික - සමාජ සේවයට
භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභ ඵල අත්වන අතර සමාජ සේවයට බරව කටයුතු කරන වකවානුවක් ද වේ. හවුල් කටයුතු වලින් ඵල ලබන අතර අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ.

ධනු - රැකියා ලැබේ
ඔබට ද මුල් දින 4 තුළ ඉතා යහපත් ඵල ගෙන දෙන අතර රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු වූ අයට ඉතා යහපත්ය. නව රැකියා බලාපොරොත්තු වූ අයට ගැලපෙන රැකියාවක් ලබාගත හැකි වේ.

මකර - කටයුතු සාර්ථකයි
ඉතා යහපත් වන අතර ඔබගේ කටයුතු රැසක් සාර්ථක කරගත හැකි වකවානුවක් වේ. පුණ්‍ය කටයුතු සඳහා වැඩි වශයෙන් කාලය ගත කිරීමට හැකි වේ. ඔබට උසස් වීමක් හෝ යම්කිසි නායකත්වයක් අත්වන වකවානුවක් වේ.

කුම්භ - ආර්ථික අපහසුතා
අයහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධාවන් ඇති වේ. ආර්ථික අපහසුතා තදින් දැනෙන කාලයකි. නොගැලපෙන අය තමා සමඟ හිතවත්කම් ඇතිකර ගැනීමක් වන බැවින් කල්පනාකාරී වන්න.

මීන - පවුලේ මතභේද
මුල් දින 4 ශුභ ඵල අත්වන අතර ඉන්පසු කාලය තුළ ඔබගේ කාලත්‍රයාට අයහපත් වන අතර හවුල් කටයුතු වලින් ද ඵල නොලැබේ. පවුල් දිවියේ ද මතභේද ප්‍රශ්න ඇතිවන වකවානුවක් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල