2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

හදිසි මරණ කේන්දරේ තියෙනවාද?

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 813

මේ දිනවල හදිසි මරණ වර්ධනය වී ඇති බව දිවයින පුරා අසන්නට දකින්නට ලැබෙන සිද්ධි අනුව පෙනී යයි. හදිසි අනතුරු විපත් ආදිය නිසා පුද්ගලයන් අනපේක්ෂිත අයුරින් මියයන අවස්ථා එමටය. එසේම සමහර දරුවන් කුඩා කාලයේදී ඇතිවන අනතුරුවලින්ද, උප්පත්තියේදී ඉන්ද්‍රියන් පිහිටීමේ විකෘති නිසාද උපත ලබා සුළු කාලයකදී මියයන බව පෙනෙන්නට තිබේ. කෙනෙකු මෙලෙස ජීවිතයේ අතරමග හදිසියේ මියයාම කේන්ද්‍රයෙන් සොයාගත හැකිද යන්න පිළිබඳ සහ එවැනි මරණ වළක්වා ගැනීමට ප්‍රතිකර්ම තිබේද යන්න ගැන සුප්‍රකට ජ්‍යොතිෂවේදීන්ගේ අදහස් මෙසේ සංක්ෂිප්ත ලෙස දක්වමු.

 

කල් දමන්න පුළුවන් මරණත් තියෙනවා

ජ්‍යොතිෂය අනුව කෙනෙකුගේ ආත්ම හතක් ගැන බැලිය හැකියි. මේ ආත්මයේ සිට පෙර ආත්ම තුනක් ගැන සහ ඉදිරි අනාගත ආත්ම තුනක් පිළිබඳව කරුණු කීමට පුළුවන්. කෙනෙකු සිදුකරන කුශලාකුශල කර්ම ඊළඟ භවය නිර්මාණය වීමේදී බලපානවා. එය බොහෝ ආගම්වලින් කියැවෙන සත්‍යයක්. පෙර ආත්මවල ප්‍රාණඝාත ආදී අකුශල කර්ම කළ අයට ඊළඟ ආත්මයේදී එහි ප්‍රතිඵල ලැබෙනවා. උපන් විගස හෝ නැතිනම් ටික කාලයක් ජීවත් වූ පසුව හෝ එසේත් නැතිනම් ජීවිතයේ අවසාන භාගයේ හෝ ප්‍රතිඵල ලැබෙනවා. යම් විදියකින් එසේ ක්‍රියාත්මක නොවුණහොත් ඊළඟ භවයට ඉතිරි වෙනවා.

හඳහනේ සඳහන් වන්නේ තමා කළ කුශලාකුශල කර්මයන්ගේ ඵල ගැනයි. බාලාරිෂ්ට යෝග ඇතිවිට බාල කාලයේ මිය යනවා. ඇතැම් විට උපන් හැටියේ මිය යන අයද සිටිනවා. නැතිනම් මධ්‍යම ආයුෂවලදී මිය යා හැකියි. නැතිනම් තවත් ප්‍රමාද වේවි. මේ සියල්ල ගැන කේන්ද්‍රයෙන් පැවසීමට පුළුවන්. එසේ පලදීමට ඇති පවුවල බලය අඩුකිරීමටද හැකිවෙනවා. උප්පත්ති මරණ ප්‍රමාද කිරීමට හෝ නොසිදුවීමටද පියවර ගත හැකියි.

උදාහරණයක් වශයෙන් පැවසුවහොත් දීඝායු කුමාරයා යක්ෂණියක් කා දමන බවට දැනගත් පසු බුදුන් වහන්සේ දුන් උපදෙස් පරිදි රාත්‍රියේ රජ මැදුර මැද දරුවා තබා එම ස්ථානය වටකොට පිරිත් නූල් ඇද රහතුන් වහන්සේලා ලවා පිරිත් කියැවූවා. එහිදී යක්ෂණියට පිරිත් නූල පැන එන්නට නොහැකි වීම නිසා ඔහු ආරක්ෂා වුණා.

එදා බුදු ඇසින් දුටුවා වගේ අද ජ්‍යොතිෂ ඇසින්ද බැලීමට පුළුවන්. එලෙස බලා නිසි ප්‍රතිකර්ම යොදා වළක්වා ගත හැකියි. එසේම වළක්වා ගත නොහැකි මරණද තිබෙනවා. උප්පත්තියෙන්ම අඩුපාඩු ඇතිව ඉපදීම. ඖෂධ නොමැතිවීම, රෝගය සොයාගත නොහැකි වීම මෙන්ම ඇතැම්විට රෝගියා ආරෝග්‍ය ශාලාවට ගෙනයන අතරමගදීද මියයනවා. අතරමග බාධක ඇතිවී නිසි වේලාවට ප්‍රතිකාර කරගන්නට නොහැකි වීමෙන් මියයනවා.
මිථුන ලග්නයේ ශනි, කුජ හා සිකුරු ග්‍රහයන් ලග්නයේ ඇතිවිට ගුරැ 3, කේතු 5, චන්ද්‍ර බුද රාහු 11 ඇතිව කුම්භ නවාංශකය වූ විට බාලාරිෂ්ට යෝග ඇති බව සලකනවා. තවද කේන්ද්‍රයක 1,4,7 හා 10 ස්ථාන අතරින් ලග්නයේ පමණක් ග්‍රහයන් තැන්පත් වී තිබීමද බාලාරිෂ්ට යෝගය වෙනවා. මෙහිදී වැඩිපුරම සිදුවන්නේ හිසට පීඩාවී මිය යාමයි. තවද 2,6,8 හා 12 ස්ථානවලින් 12 වැන්නේ පාපී රවි තැන්පත්ව සිටී නම් එයද බාලාරිෂ්ට යෝගයකි. පෙර කී ස්ථාන හතර කේන්ද්‍රයක මාරක ස්ථාන වෙනවා.

ලග්නයේ ග්‍රහයන් පිහිටීම අනුව දෙර්කාන වර්ග 9කි. මේ පිහිටීම අනුව අයහපත් ප්‍රතිඵල පීඩා ගෙන දෙනවා. 1, දෙර්කානයෙන් හිස, 2න් ගෙල, 3 යටිබඩ ආදී වශයෙන් පීඩා ගෙනදෙයි. මෙය මියයන තත්ත්වයටද වර්ධනය වෙනවා ඇති.
2017 අගෝස්තු 18දා ලංකා කේන්ද්‍රයේ රාහු ග්‍රහයා කටකයට පැමිණියා. මෙම තත්ත්වය මුළු ලොවටම අපලයි. උප්පත්ති කේන්ද්‍රයේ මාරක ඇති අය විශේෂයෙන් පරිස්සම් විය යුතුය.

ජ්‍යොතිෂවේදී සුරා ශ්‍රී ගුණවර්ධන

 

 

බඩේ ඉන්න දරුවගෙ අපලෙත් පේනවා!

කේන්ද්‍රයෙන් ඕනෑම කෙනෙකුට සිදුවන සැම දෙයක්ම කියන්න පුළුවන්. මියයාම පමණක් නොවෙයි. හදිසි අනතුරු, ලෙඩරෝග,දේපල අහිමිවිම්,නඩුහබ ආදී විපත්  මෙන්ම සිදුවන යහපත් දේවල්ද කියන්න පුළුවන්. එහෙත් එලෙස නිවැරදිව තොරතුරු පවසන්න නම් කේන්ද්‍රය මනා සුපරික්ෂාකාරිව බැලිය යුතුයි. ඒ සඳහා දැඩි වෙහෙසක් කැපවිමක් තිබිය යුතු අතර යහපත් හික්මිමක්ද තිබිය යුතුය. සෑහෙන කාලයක්ද ගතවෙනවා. එලෙස තුලාත්මකව නොබලා උඩින් පල්ලෙන් කේන්ද්‍රයක් බලා අනාවැකි පැවසීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එහෙම අවස්ථාවල කේන්ද්‍රය බොරු යයිද, නැතිනම් බැලු ජ්‍යොතිෂ වේදියා බොරු කාරයෙක් යැයිද අවතක්සෙරුවට ලක් කරනවා.

කේන්ද්‍රයක ග්‍රහ බලය ක්‍රියාත්මක වීමට යෝග දිශා, අතුරු දිශා බලපානවා. එහෙම නැතුව හොඳ ග්‍රහයන් පිහිටියාට ඒවායින් වැඩක් වෙන්නේ නැහැ.රජකුමාරයාට රජකම හිමිවුණත් එය නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සෑම පිහිටීමක්ම ලැබෙන්න හෝ නොලැබෙන්න පුළුවන්.

බඩේ ඉන්න ළමයින්ට කේන්ද්‍ර බලන්න පුළුවන්දැයි සමහරු විමසනවා. එහෙත් එහෙම බලන්න පුළුවන්. දරුවා කුසතුළ පිළිසිඳුණු කළල අවස්ථාවේ සිට නිවැරදිව අනාවැකි කීමට හැකියි. 
රාහු සෙනසුරු හා අඟහරු යන ග්‍රහයන් තමා ජිවිතයකට කරදර ගෙනෙන්නේ. රවි සඳු දෙදෙනාගේ බලපැම්ද එයට යෙදෙනවා. රවි හා සඳු යනු ගින්දර සහ ජලයයි. මෙම ග්‍රහයන්ට සෙසු ග්‍රහයන්ගේ දෘෂ්ටිද   ලැබිය යුතුයි. සතුරු ග්‍රහ බලපෑම් ඇතිවූ විට නරක ප්‍රතිඵල වැඩිවෙනවා. හොඳ ග්‍රහ දෘෂ්ටි  ඇතිවිට විෂම ප්‍රතිඵල උදාසීන කරනවා. බ්‍රහස්පති ග්‍රහයා නිසා මාරක වුවද ‍ඹේරෙන්න පුළුවන්. උප්පත්තියෙන් මැරෙන යෝගයක් තිබුණද බ්‍රහස්පති බලයෙන් දිර්ඝ ආයුෂ ලැබිය හැකියි. කෙනෙකුගේ හිසේ සිට පාදාන්තය දක්වා ලග්න 12ටම බෙදා තියෙනවා. ඒ ඒ ග්‍රහයන්ගේ බලපැම අනුව තමා සියල්ලම සිද්ධ වෙන්නේ.

යමෙකුගේ උපන් වේලාව අරගෙන කේන්ද්‍රය හදනවිට ජ්‍යොතිෂවේදියාට මොහුට මාරක තිබේද කෙටි කලකින් මියයයිද? නැතිනම් තරුණකාලයේ මියයයිද කියලා කියන්න පුළුවන්. එසේම එසේ මියයන හේතුද, ජලය ගිනි, ආයුධ, ආදියෙන්ද කියලා පැවසිය හැකියි.එහෙත් එවැනි ප්‍රබල මාරක තිබුණත් ජ්‍යොතිෂවේදීන් ඒවා ඒ අවස්ථාවේ පවසන්නේ නැහැ. එයට හේතුව මානුෂික කරුණුයි. අපල තිබෙන බව පමණක් පවසන අතර එයට ප්‍රතිකර්මද කියනවා. එහෙත් ඒවා සියයට සියයක්ම ප්‍රතිඵලදායීද යන්න ගැටලුවක්. වර්ෂාවකින් බේරෙන්න කුඩයක් ඉහළා ගෙන ගියත් සම්පුර්ණයෙන් නොතෙමි ඉන්න බැරුවා වගෙයි. එසේ වුවත් නිවැරදි වත්පිළිවෙත්වලින් යම් සහනයක් ලබා ගත හැකියි. එහෙත් ඒවා නිවැරදිව කරනවාද යන්න ගැටළුවක්. මාතංගේශ්වරි යන අපලවලට පළදින යන්ත්‍රය ජීවන් කරන්නට දිර්ඝ කාලයක් බොහෝ දෙයින් වැළකි සිටිය යුතුයි. එහෙත් එය නිවැරදිව කරන්නේ නැහැ.
බෝධි පූජා වුණත් හරියට කරනවා නම් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එහෙත් අද බොහෝ දෙනා කරන හැටියට නම් ප්‍රතිඵල අල්පයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ඩී.ඩබ්.පී. ලියනගේ  

 

 

මරණය කේන්දරෙන් කියන්න බැහැ

හදිසි මරණයක් පිළිබඳ කෙනෙකුගේ කේන්ද්‍රයෙන් නිච්චියටම කියන්න බැහැ. එහෙම කේන්ද්‍රයෙන් කල් ඇතිව පවසන්න පුළුවන් නම් එය හදිසි මරණයක් වෙන්නේ නැහැ. එහෙම දන්නවා නම් එය වළක්වා ගන්න පුළුවන්. ඒ වුණාට හදිසියේ මැරෙන්නේ කිසිවකුටවත් හිතාගන්න බැරි විදියටයි. එසේම එවැනි මරණයක් වළක්වා ගන්න ක්‍රමයකුත් නැහැ.

කේන්ද්‍රවල බලාරිෂ්ට යෝග පිහිටි විට අඩු ආයුෂෙන් මියයන බව කියනවා. ඒත් මෙවැනි බලාරිෂ්ට යෝග තිබුණ හැම කෙනෙක්ම එහෙම මැරෙන්නේ නැහැ. නොමැරී සිටින අය ඕනෑ තරම් ඉන්නවා. ඉපදී දින 7 න් මාස 7 න් අවුරුදු 7 න් මැරෙනවයි කීවාට එහෙම නොමැරී දීර්ඝ කාලයක් ජීවත් වන අය මා ඒ පිළිබඳ කළ විමර්ශනවලදී හමු වී තියෙනවා. ඒ නිසා එහෙම මාරකයක් තියෙනවා යැයි ඒ පුද්ගලයා කලකිරවීමට පත් කිරීම වැරැදියි.

යමෙකු කෙටි කාලයකින් මියයන්නට කේන්ද්‍රයේ මාරක ග්‍රහයන් තිබිය යුතුයි. රාහු, රවි, කේතු, අඟහරු ආදී ග්‍රහයන් කෙනෙකුට හිරිහැර කරන බාධා කරන ග්‍රහයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ ග්‍රහයන් මාරක යෝගවල යෙදුණහොත් මරණය සිදුවිය හැකි බව කියනවා. එහෙත් මෙවැනි මාරක ග්‍රහයන් ඇති සැම දෙනාම මියයන්නේ නැහැ. කෙනෙකුට ශුභ ලෙස පිහිටා ඇති ග්‍රහයන් යටපත් කරගෙන මෙම මාරක යෝග ප්‍රබලව ඉදිරියට පැමිණිය යුතුයි. කේන්ද්‍රයක මාරක ස්ථානය 8 කොටුවයි. මෙහි අපල ගෙන දෙන ග්‍රහයෙක් පිහිටි විට ඔහුගේ බලය මර්දනය කරන ග්‍රහ බැල්ම නැති විටදී ශාරීරික හානි සිදුවිය හැකියි. එහෙත් මෙම පිහිටීම්වලින් වුවත් හරියටම ජීවිතයේ අතරමඟ මියයනවා කියලා කියන්න බැහැ. ඇතැම් ජ්‍යොතිෂවේදීන් ව්‍යාපාරාත්මක හේතු මත ඔහුට මාරක යැයි කීවාට එය හරියට සිදුවෙනවා යැයි ඒ ජ්‍යොතිෂවේදියාට කියන්න බැහැ. එයට හේතුව ජ්‍යොතිෂ්‍ හෝඩුවාවක් පමණක් වීමයි.

උදාහරණ වශයෙන් කිවහොත් යමෙකුගේ කේන්ද්‍රයේ ගිහිගෙය කලකිරෙන යෝග තිබුණට ඒ හැම කෙනෙක්ම මහණ වෙන්නේ නැහැ. එහෙම මහණ වුණත් ඒ මහණකම දිගටම රඳා පවතින්නේ නැහැ.
බුද්ධාගමේ මරණය සිදුවෙන ආකාර හතරක් දැක්වෙනවා. ඒ අතරින් උපච්ඡේදක මරණය තමා හදිසි මරණ යැයි කියන්නේ. එවැනි මරණ අකුසල කර්ම නිසාම සිදුවෙනවා යැයි කියන්න බැහැ. දුප්පත් පවුලක ඉපදුන දරුවෙක් කෙටි කලකින් මැරිලා ගිහිල්ලා එයට වඩා පොහොසත් තැනක උපදින්න පුළුවන්. ඉතින් එය අකුසල කර්මයක ප්‍රතිඵලයක් නොවෙයි. එයාට එයින් යහපතක් තමා වුණේ. අකුසල කර්ම නිසා මරණය සිදුවූවා යැයි කියන්නේ ජීවත් වෙලා ඉන්න අයයි. ඒ අයගේ දෘෂ්ටි කෝණයෙන් තමා එසේ පවසන්නේ.

අනිත් අතට හදිසි මරණ කිසිම ලෙසකින් වළක්වන්න බැහැ. එය හදිසි මරණයක් බව දන්නේ මියගිය පසුවයි. කිසිදු පුද පූජාවකින් එය නැති කරන්න බැහැ. එහෙම පලදීම අවම කරන්න පුළුවන් ලෙඩරෝග හා වෙනත් හේතු නිසා සිදුවන මරණ පමණයි. ජත්‍ර මානවකයා හොරුන්ගෙන් පහර කා මියයාම වළක්වාලන්න බුදුන් වහන්සේට පවා බැරි වුණා. උන්වහන්සේ කළේ යෝවද තංපව... ආදී නරසීහ ගාථා උගන්වා ඔහු මියගිය පසු දෙව්ලොව යැවීම පමණයි.

මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි

 

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00