2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

රුපියල වැටෙන විට වෙන්න පුළුවන් දේ

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 450

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරය හමුවේ මේ වනවිට රුපියල් 155 දක්වා පහත වැටී ඇත. මෙයට මාස කිහිපයකට පෙර 150 ආසන්නයේ තිබූ රුපියල මේ වනවිට තවත් බාල්දු වී තිබේ. ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පසුගිය සමයේ පැවසුවේ මෙම වර්ෂය අග වනවිට 160 දක්වා පහත වැටෙනු ඇත යනුවෙනි. මේ වනවිට රුපියල දුර්වලවීම අනුව සලකා බැලීමේදී මෙම අනාවැකිය සත්‍යවීමට බොහෝදුරට ඉඩ තිබේ.

මෙලෙස රුපියල අවප්‍රමාණවීම නිසා ජීවන වියදම ඉහළයාම හේතුවෙන් උද්ධමනයද ඉහළ නගිමින් පවතී. උද්ධමනය සියයට 4-6 අතර ප්‍රමාණයේ රඳවා ගැනීමේ ආණ්ඩුවේ සිහිනය බොඳවෙමින් මේ වනවිට උද්ධමනය සියයට 8 දක්වා ඉහළ නැග ඇත. මෙම තත්ත්වය මත රටේ ජනතාවගේ ජීවත්වීමේ අරගලය උත්සන්න වෙමින් පවතින අතර ඔවුහු දිනෙන් දින පහළ ජීවන මට්ටමකට ඇද වැටෙමින් සිටිති.

රුපියල අවප්‍රමාණ වීම පාලනය කිරීමට පසුගිය සමයේ භාණ්ඩාගාර සංචිත වෙළෙඳපොළට නිකුත් කිරීම සිදුවූ අතර එය ගැටලුවට පිළියමක් වූයේ නැත. මෙහිදී සිදුවූයේ විදේශ සංචිත නිස්කාරණයේ දිය වී යාම මිස රුපියල ශක්තිමත් වීම නොවේ. රුපියල දුර්වලවීම තාවකාලික ලෙස යම් ප්‍රමාණයකින් අඩු වුවද යළිත් යථා තත්ත්වයට පත්වීමේදී මුලින් තිබූ වාසිය මුළුමනින්ම අහෝසි වූ බවක් දක්නට ලැබිණ.

ආයෝජන හිඳිලා: උද්ධමනය නැගලා

මේ නිසා ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රුපියල ශක්තිමත් කිරීම සඳහා විදේශ විනිමය වර්ධනය කරගෙන එය සාර්ථක ලෙස කළමනාකරණය කළයුතු බවය. ආනයන සීමාවක් පැනවීම සහ අපනයන වර්ධනය කිරීම තුළින් මෙන්ම විදේශ ආයෝජන වැඩිකරගෙන විදේශ ඉපැයීම් ඉහළ නැංවීම මගින් රටට විදේශ විනිමය ඇද ගැනීමට ස්ථාවර ක්‍රියාමාර්ග ගතයුතු බවද පෙන්වා දෙයි.

එහෙත් අවාසනාවකට මෙන් මෙතෙක් පැවැති කිසිදු රජයක් විනිමය උපයෝගී කරගෙන රුපියල අවප්‍රමාණ වීම වැළැක්වීමට ස්ථීර පියවරක් ගෙන නොමැති බව කිව යුතුය. ඒ නිසා රටේ බඩු මිල ඉහළ පහළ යාම තීරණය කිරීමේ බලය අමෙරිකානු ඩොලරය හිමිකරගෙන ඇත. අනිකුත් භාණ්ඩවල මෙන් ඉල්ලුම සැපයුම මත රුපියලේ අගය තීරණය වන්නේ නම් මෙම ගැටලුවට ස්ථාවර විසඳුමක් හිමිකරගත හැකිය. එසේ නොවෙනා තාක්කල් තාවකාලික පැලැස්තර තුළින් රුපියල ස්ථාවර කිරීමට යාම අසාර්ථක පියවරක් බව කිවයුතුව තිබේ.

මෙම රුපියල අවප්‍රමාණවීමේ ගැටලුවේ යථාර්ථය හා එය වළක්වා ගැනීමේ ස්ථිරසාර ක්‍රියාමාර්ගයක වැදගත්කම පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්ත අතුකෝරාළ මෙසේ කරුණු දක්වයි.

විනිමය අනුපාත තුළින් නිරෑපණය වන්නේ එක් රටක මුදලේ අගය වෙනත් රටක මුදලේ අගය මත ප්‍රකාශ කිරීමකි. මෙහි මූල්‍යමය වටිනාකම තීරණය වන්නේ ආනයන, අපනයන සහ ප්‍රාග්ධන ගණනයන් මතය. දේශීය මුදලේ වටිනාකම අඩුවීම යනු මෙරටට ආනයනය කරන භාණ්ඩ සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවීමයි. මෙයින් ප්‍රමාණවත් ලෙස අපේ භාණ්ඩ අපනයනය නොකරන්නේ නම්, අපේ රටට විදේශ ආයෝජන ගලා නොඑන්නේ නම් රටේ මුදල දිගින් දිගටම අවප්‍රමාණවීම හෙවත් දුර්වලවීම සිදුවෙයි.

මෙම තත්ත්වය පසුගිය වසර 2-3 කාලය තුළ වඩාත්ම වේගවත් වූ බව පෙනෙන්නට තිබේ. 2014 වසරේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 132ට තිබූ රුපියලේ අගය මේ වනවිට 155ට ආසන්නව තිබේ. මෙම කාලය තුළ විදේශ ආයෝජන අඩුවූ අතර විදේශ මුදල් අපේ රටට ගලාඒමද පහළ වැටුණි. කොටස් වෙළෙඳ පොළ ආයෝජන අඩුවූ අතර අපේ අපනයනවල වටිනාකමද දිගින් දිගටම පහළ ගිය බව දක්නට ලැබුණි. මෙම තත්ත්වය තවත් අයහපත් වූයේ අපේ ආනයන අඩුවීම වෙනුවට තව තවත් වැඩිවීම හේතුවෙන් කිසිදු විචක්ෂණ භාවයකින් තොරව ආනයන ඉහළ නැංවීම නිසා රටේ මුදල් විශාල වශයෙන් විදේශවලට ගලා ගියේය. ආණ්ඩුව මේ ගැන කිසිදු තැකීමක් නැත. ආසන්නතම උදාහරණය වූයේ පසුගිය සතියේ පැවැති වගා සංග්‍රාම උත්සවයේදී කෘෂිකර්මයට අවශ්‍ය භාණ්ඩ සියල්ලම පිටරටින් ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීමය. තවද රටේ ඕනෑම භාණ්ඩයක මිල ඉහළ ගිය ඇසිල්ලේම ආණ්ඩුව කරනුයේ කිසිදු කරුණු සොයාබැලීමකින් තොරව එය ආනයනය කිරීමට කටයුතු කිරීමය. අද හාල් මිල ඉහළ යාමේ විකල්පය ලෙසද ආණ්ඩුව තෝරාගෙන ඇත්තේ කිසිදු සීමාවකින් තොරව සහල් ආනයනය කිරීමයි.

දිගින් දිගටම මුදලේ අගය පිරිහීම නිසා රට ආර්ථිකමය වශයෙන් මහා අස්ථාවර භාවයක් කරා ගමන් කරමින් පවතී. මෙම තත්ත්වයට හේතු කිහිපයකි.

1. මුදලේ අගය යනු රටේ ස්ථාවරත්වය පෙන්වන නිර්ණායකයකි. සාර්ව ආර්ථික ස්ථායිතාවක් පෙන්වීම සිදුවේ. අද වනවිට අපේ රටේ සාර්ව ආර්ථික අස්ථාවරභාවයක් පෙන්වන නිසා විදේශ ආයෝජකයන් පැමිණීම දුර්වල වී තිබේ. ආර්ථික ස්ථාවරභාවයක් නොමැති රටක ආයෝජනය කිරීමට ආයෝජකයන් මැලිවීම මෙයට හේතුවයි.

2. මෙරට පවතින බොහෝ කර්මාන්ත විදේශ අමුද්‍රව්‍ය මත පදනම් වූ ඒවායි. මුදලේ අගය පිරිහීම නිසා මේ කර්මාන්ත නිෂ්පාදනවල මිල ඉහළ යයි. විදේශීය භාණ්ඩවල මිල ඉහළ යනු ඇත. මේ නිසා රට තුළ උද්ධමනය ඇතිවේ. මෙය ආර්ථික විද්‍යාවේදී හඳුන්වන්නේ “ව්‍යුහාත්මක උද්ධමනයක්” ලෙසය. මෙම උද්ධමනය නිසා ආර්ථිකය යළි යළිත් අස්ථාවර වේ.

3. විදේශ විනිමය පිරිහීම හේතුවෙන් සිදුවන ලොකුම අවාසිය වන්නේ අප ගෙවන්නට ඇති විදේශ ණය වාරික සහ පොලීවල වටිනාකම ඉහළ යාමයි. වෙනත් කරුණු සමග සංසදනය කර බලන විට මෙය අපට සිදුව ඇති විශාලතම අවාසියකි. මෙම විශාල ණය තොගය ගෙවීමට අපේ ආදායමද නොසෑහී තිබෙන අවස්ථාවක එම ණය ප්‍රමාණය රුපියල පිරිහීම නිසා ඉහළයාම අපට සිදුව ඇති දැවැන්ත හානියකි. රට ආර්ථික අස්ථාවරත්වයට පත්වීම තව තවත් වේගවත් වේ.
මෙම කරුණු වලින් රටේ සාර්ව ආර්ථික අස්ථාවරත්වය පෙන්නුම් කරයි. මෙහිදී සිදුවන අතුරු ප්‍රතිඵලය වන්නේ රටේ ආර්ථිකය නිසි ලෙස සැලසුම් කිරීමට, අවශ්‍ය තීරණ ගැනීමට ක්‍රමයක් නොමැතිවීමය. අනාගතය අවිනිශ්චිත නිසා නිසි පරිදි නිවැරදි තීරණ ගැනීමට අපොහොසත් වේ. දේශීය ආයෝජකයන්ද මුදල් ආයෝජනය කිරීමට වඩා වෙනත් රටකට මාරු කිරීමට හෝ මුදල් අවිධිමත් ලෙස සඟවා ගෙන සිටීමට පෙළඹෙනු ඇත. මුදල් රට තුළට නොපැමිණීම ආර්ථික සංවර්ධනයට බාධාවකි. එසේම ඇතැම්විට අවිනිශ්චිත ආයෝජනවලට නොපෙළඹී වෙනත් කෙටික්‍රමවලින් ආදායම් ලැබීමට උත්සාහ කරයි. මූල්‍ය සමාගම්වල වැඩි පොලියට ස්වකීය මුදල් තැන්පත්කර ආදායමක් ලබාගැනීමට උත්සුකවීම උදාහරණයකි.

මේ වනවිට ආර්ථිකයේ කෘෂිකර්ම, කාර්මික සහ සේවා අංශවල පසුබැසීමක් ඇතිවී තිබේ. මෙම තත්ත්වය දිගටම වර්ධනය වනු මිස කවදා විසඳේදැයි කිව නොහැකිය. රටේ ආර්ථික බිඳ වැටීම පාලනය කිරීමට රජය මේ දිනවල සිදුකරමින් පවතින කෙටිකාලීන ප්‍රයත්නයක් වන්නේ හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ, රජයේ ඉඩම්, ගොඩනැගිලි, රාජ්‍ය ව්‍යවසාය ආදිය විකුණා මුදල් ලබාගැනීමයි. මේවා තාවකාලික පැලැස්තර විසඳුම් මිස ස්ථීර විසඳුම් නොවේ. රුපියල අවප්‍රමාණ වීමේ තවත් අයහපත් ප්‍රතිඵලයක් වන්නේ රාජ්‍ය අයවැය තුළ සංඛ්‍යා ලේඛන හා නිර්මාපක වැරදි බවට පත්වීමයි. රටේ උද්ධමනය ඉහළ ගියවිට අයවැය ලේඛනයේ සඳහන් අයවැය වෙනස් වෙයි. අයවැය ඇස්තමේන්තු ඉහළ යන අතර ඒවා හුදු ඉලක්කම් රුසක් බවට පත්වේ. මේ තත්ත්වය අදද උද්ගතව ඇති අතර ඉදිරියේදී තවත් උග්‍රවනවා ඇත.

ආණ්ඩුවේ විෂන් 25-25 වැඩසටහන තුළින් ඒකපුද්ගල ආදායම ඩොලර් 5000 දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව පැවසුවද ඒ සියල්ල යථාර්ථයක් බවට පත්කළ හැකිද යන්න සැකයට තුඩුදෙන කාරණයකි. වර්තමාන රජය තුළ නිශ්චිත ආර්ථික සැලසුමක් නොමැත. ආණ්ඩුව උත්සාහ කරන්නේ සමාජයේ වෙනසක් ඇතිකර අනතුරුව ආර්ථිකය වෙනස් කිරීමට බව පෙනෙන්න ඇත. මේ වනවිට ඡන්ද ක්‍රමය වෙනස් කිරීම, ව්‍යවස්ථාව වෙනස් කිරීම ආදියට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. මා දකින්නේ මුලින්ම මේවා වෙනස් කිරීමට අපහසු බවයි. මුලින්ම කළ යුත්තේ රටේ ආර්ථිකය වෙනස් කිරීමයි. සමාජමය වෙනස් කිරීම් සිදුකළ යුත්තේ එයට පසුව බව මගේ වැටහීමයි. ආර්ථිකය වෙනස් කළ විට නිරායාසයෙන්ම සමාජය වෙනස් වෙයි. යුරෝපය මෙයට හොඳ උදාහරණයකි. ඒ රටවල සමාජමය විපර්යාස සිදුවූයේ ආර්ථික පුනරුදයෙන් පසුවය. එහෙත් අපේ ආණ්ඩුව ආර්ථිකය එසේම තබාගෙන සමාජමය ව්‍යුහය වෙනස් කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙයි.

රටේ ආර්ථිකය දියුණුවීමට නම් විනිමය අනුපාතිකය මුදල් ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩදිය යුතුයි. භාණ්ඩ වගේම පාලිත විනිමය අනුපාතිකයක් ඇතිකර ඇත්තේ විදේශ සංචිත දියකර හරිමින් රුපියලේ අගය පාලනය කිරීම අසාර්ථක උත්සාහයකි. එය ක්‍රියාත්මක කළ හැක්කේ නිශ්චිත කාලයකට පමණකි. සංචිත අඩුවූ විට මුදලේ අගය කඩාවැටීම යළි ආරම්භ වෙයි.

මුලින් වෙනස් කළයුත්තේ ආර්ථිකයයි

දේශීය මුදලේ අගය දුර්වලවීම නිසා සිදුවන තවත් හානියක් වන්නේ වෙන රටවල අය රටට මුදල් එවීම නැවැත්වීමය. එසේ නොවේ නම් එවීම ප්‍රමාද කිරීමය. එයට හේතුව අනාගතයේදී මුදලේ අගය තවදුරටත් පහළ වැටුණොත් එය තමන්ට වාසිදායක යැයි කල්පනා කිරීමයි. අද මේ තත්ත්වයට අපට මුහුණ දීමට සිදුව ඇත. මේ අනුව පෙනී යන්නේ රුපියල අවප්‍රමාණවීමේ විෂම චක්‍රයට අද වනවිට අපට නතුවීමට සිදුව ඇති බවය.

මෙම තත්ත්වය අවම කිරීමට ස්ථාවර විසඳුමකට එළඹිය යුතු අතර එය ප්‍රමාද කිරීමෙන් තව තවත් රටේ ආර්ථිකය බිඳ වැටෙන බව වගකිව යුත්තන් තේරැම් ගත යුතුය. ආර්ථිකය ගොඩනැගීමට දේශපාලනීකරණය නොවූ විසඳුමකට යාම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමු.

♦ යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00