2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

රට වටේ කරක් ගහන හාෙර ගිනිඅවි

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

ගිනිඅවි අවසර ඇතුව භාවිත කළත් අනවසරයෙන් භාවිත කළත් ප්‍රතිඵලය එකමය. එහෙත් අනවසර ගිනිඅවි යනු නිසැකවම අපරාධ සඳහා යොදවා ගනු ලබන ආයුධය. පාතාලයේ මේ ගිනිඅවිවලට ඉහළ මිලක් නියම වෙයි. කුලියට දීමද සිදුවෙයි.

අනවසර ගිනි අවි සමඟ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම්, අනවසර ගිනි අවි සොයාගැනීම් මෙන්ම අනවසර ගිනි අවි නිපදවන කම්හල් පොලිසිය මගින් වැටලූ අවස්ථා බොහෝමයක් අපට පසුගිය කාලය පුරාවටම අසන්නට ලැබිණි.
දිවයින පුරා විවිධ වර්ගවලට අයත් අනවසර ගිනි අවි දෙදහසකට වැඩි ප්‍රමාණයක් ඇති බවට අනුමානය කරන බව ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා ප්‍රකාශ කළේය. එමෙන්ම පහුගිය කාලය පුරාවටම රටපුරා විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් ගිනි අවි 700ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට විනාශ කර තිබේ.

අනවසර ගිනි අවි භාවිත කරමින් සිදුකරන අපරාධ පිළිබඳ පුවතක් වාර්තා නොවන දවස් ඇත්තේ කලාතුරකිනි. රූපවාහිනියේ ප්‍රවෘත්ති තුළ මෙන්ම මෙරට ජාතික පුවත්පත් තුළද අනවසර ගිනි අවි සම්බන්ධව කුමක් හෝ පුවතක් දැකගත හැකිය. ඒ තරමටම අද රට තුළ බහුලව නීති විරෝධී ලෙස ගිනි අවි භාවිත කරන පිරිස වැඩි වී තිබේ.

රටපුරා ක්‍රියාත්මක වන පාතාල කල්ලි සාමාජිකයන් සියලු දෙනා භාවිත කරන්නේ නීති විරෝධී ගිනි අවිය. පහුගිය සතියේ නවීන පන්නයේ කාරයක තිබී ගම්පහ ප්‍රදේශයෙන්  T 56 ගිනි අවි තුනක් සොයාගනු ලැබිණ. පුද්ගල ඝාතනයක් සඳහා පැමිණි බවට සැකකරන මෙම පිරිස ගිනි අවි රථය තුළ තබා පැනගොස්  තිබුණේ කුරුමාණම වැරදී ගොස් ඒ පිළිබඳව පොලීසියට කල්තබාම ඉව වැටීම නිසා විය හැකිය.
දිවයින පුරා පවතින අනවසර ගිනි අවි සහ පාතාලය අතර සබඳතාව මෙරට ජනතාවට රහසක් නොවේ. එල්.ටී.ටී.ඊ.යෙන් පන්නාගත් නීති විරෝධී ගිනි අවි අවසානයේ රැඳෙන්නේ ගමේ ගණංකාරයන්ගේ අතේ නොව, රටටම වණයක් බවට පත්වී තිබෙන පාතාලයන් අතේ බව ඕනෑම කෙනෙකුට වටහාගත හැකිය.

පසුගිය 2016 වසරේ දිවයින පුරා සිදුකළ නීති විරෝධී ගිනි අවි වැටලීම්වලින් අනවසර ගිනි අවි 453ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි. මෙම ගිනි අවි අතරට ටී 56 ගිනි අවි 25ක්, ස්වයංක්‍රීය පිස්තෝල 80ක්, රිපීටර් ගිනිඅවි 4ක්, බෝර 12 තුවක්කු 60ක්, බඳින තුවක්කු 284ක් ඇතුළත්ය.

මෙම වැටලීම්වලදී අත්බෝම්බ 280ක් මෙන්ම විවිධ වර්ගයේ උණ්ඩ 2893ක්ද අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස නීති විරෝධී ගිනි අවි ළඟ තබාගත් පුද්ගලයන් 434 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.
පසුගිය යුදමය කාලය තුළ අප රටට නීති විරෝධී ගිනි අවි ගෙන්වනු ලැබූයේ මුහුදු මාර්ගයෙන් බව ප්‍රකට කරුණකි. ඒ පිටුපස සිටියේ එල්.ටී.ටී.ඊ.ය ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම්ය. උතුරේ යුද්ධය පැවති කාලසීමාව තුළ තිබූ මෙම ගිනි අවි තවමත් රට තුළ විටින් විට එළියට බසී. මෙරට පමණක් නොව පිටරටද අවි ආයුධ වෙළෙඳාම හොඳ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ මේ පාතාල කල්ලි හේතුවෙනි.

විවිධ වර්ගයේ ගිනි අවි නිපදවන කම්හල් පිළිබඳ සෝදිසිය වඩාත් පුළුල් කිරීමට මේ වනවිට ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇත. පාතාලයේ මෙන්ම විවිධ තරාතිරම්වල උදවියට ගිනි අවි නිපදවා අලෙවිකරණ පුද්ගල කණ්ඩායම්ද සිටී.
මෙරට සිදුවන සංවිධානාත්මක අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරන අතර නීති විරෝධී ගිනි අවි එයට බාධා වන අවස්ථාද තිබේ. පාතාලයන් පොලීසියට වෙඩි තැබීමට පවා එම අවි යොදවා ගන්නා බැවිනි.
ලොව පුරා නීති විරෝධී ගිනි අවි සම්බන්ධව පළවන Arms Control Today සඟරාවේ මෙසේ සඳහන් විය. ජාතික ආණ්ඩු මගින් නීති විරෝධී අවි වෙළෙඳාම තහනම් කරන නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. තමන් විසින් සිදුකරනු ලබන නිත්‍යනුකූල ගිනි අවි ගැනද දැනට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය. යනුවෙනි.

මෙලෙස නීති විරෝධී ගිනි අවි සහ ගිනි අවි නිෂ්පාදනය කෙරෙන යම් ස්ථානයක් වෙතොත් ඒ පිළිබඳ දැනුම් දීමට පොලිසිය දුරකථන අංක දෙකක්ද හඳුන්වා දී ඇත. එම අංක වන්නේ 011 2451354, 011 2451397 ය.
කාලයකට කලින් චණ්ඩින් අතරුඳි කඩු, කිණිසි, ඩප්පි, බයිසිකල් චේන්, යකඩ පොලු දැන් නොමැත. ඒ වෙනුවට මිනිස් ජීවිත බිලිගන්නා ගල්කටස්, රිවෝල්වර, T 56 බෝර 12 තුවක්කු, මේ වනවිට මෙරට පාතාලයට මුල්බැස ගෙන ඇත. වටිනා මිනිස් ජීවිත මෙන්ම, බොහෝ අපරාධවලට යොදාගන්නා මෙම නීති විරෝධී ගිනි අවි මුළු රටෙන්ම තුරන්කර දැමීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත.

► හසිත් අංජන

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00