2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

සූර්යයා නීච භවනට එයි භූමි විපත් බහුල වේ

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වූ රවි තමාට නීච රාශි භවන වූ තුලා රාශියට 2017 ඔක්තෝබර් මස 17 වැනි කුජ දින දවල් 12.36 ට පිවිසේ. අඟහරුට අයත් සිත නැකතේ තුන්වැනි හතරවැනි පාදවලත් රාහුට අයත් සියාවස නැකතේ හා ගුරුට අයත් විසා නැකතේ සම්පූර්ණවත් ගමනින් 2017 නොවැම්බර් මස 16 වැනි ගුරු දින දක්වාම ඉදිරියට යනු ඇත.

මෙම තත්ත්වය පිළිබඳ අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේ දී යහපත් වූ නීති පනත් සම්මත වනමුත් එයින් මහජනතාවට ශුභ ඵල ගෙන නොදේ. එහෙත් උසස් පුද්ගලයන්ට එම පනත් වලින් යහපතක් ලැබෙනු ඇත. යම්කිසි සේවා ස්ථානයක වැඩ කරන සේවක පිරිසක් එක්වර අසනීප වීමක් හේතුවෙන් රෝහල්ගත කිරීමක් වාර්තා වේ. ගුවන් තොටුපළ ආශ්‍රිතව අයහපත් සිදුවීම් වාර්තා වනු ඇත. රජයේ ප්‍රධාන සේවකයකුට මාරකයක් ඇතිවන බව පෙනේ. විදේශීය රටවල අයහපත් කාලගුණික තත්ත්වයන් මත භූමියට විපත් ගෙන දෙන වකවානුවක් වේ.

මේෂ - උෂ්ණ ගති
ඔබට සැඟවුණු සතුරු පීඩා මතුවන අතර පවුල් දිවියේ සමගියට බාධාවීම් ද ඇතිවනු ඇත. හවුල් කටයුතු වලින් ඵල අත් නොවනු ඇත. සිතේ සහනය නොලැබෙන කාල වකවානුවක් වේ. ශරීරයේ උෂ්ණාධික රෝග ඇතිවනු ඇත.

වෘෂභ - නෑදෑ ප්‍රශ්න
ගමන් වලින් හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. නෑදෑයන්ගෙන් යම් යම් ප්‍රශ්න ඔබට එල්ල වේ. ඔබට එරෙහි සතුරු බලවේග හඳුනාගෙන ඒ සඳහා සාර්ථකව මුහුණ දීමට හැකිවන කාලයක් වන අතර ඇස් ආශ්‍රිත පීඩා ඇතිවිය හැක.

මිථුන - දේශපාලනයට හොඳයි
ඔබගේ කටයුතුවල ප්‍රමාද වීම් ඇති විය හැක. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. මෙම වකවානුව තුළ දරුවන් ලැබීමට සිටින අය ප්‍රවේසම් විය යුතුය.

කටක - අවිවේකී ගති
තම මතයට අනුව කටයුතු කරන වකවානුවක් වනු ඇත. සිතට යම් යම් ගැටලු ඇතිවීම හේතුවෙන් නිතරම අවිවේකී ගතියෙන් යුක්ත වනු ඇත. තමා අන් අයගේ කටයුතුවලට මැදි නොවී සිටීම යහපත් වනු ඇත.

සිංහ - නිර්මාණයට බාධා
ඔබගේ පවුලේ සාමාජිකයන් අතර විවිධ ප්‍රශ්න මතුවිය හැක. නිර්මාණ කටයුතුවල නිරත වී සිටින අයට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට ද බාධා ඇතිවන වකවානුවක් වේ.

කන්‍යා - ආර්ථික ගැටලු
උත්සාහය තරමට ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට නොහැකි වන වකවානුවක් වේ. ආර්ථික අපහසුතා ගෙන දෙන වකවානුවක් ද වේ. අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීම කළ යුතු වේ. ඇස් ආශ්‍රිත ආබාධ මතු වේ.

තුලා - උත්සාහය සාර්ථකයි
ඔබගේ කටයුතු උත්සාහය මත සාර්ථක කරගත හැකි වකවානුවක් වේ. තම හිතූමතයට කටයුතු කිරීමට යාම හේතුවෙන් තම හිතවතුන් තමා හා අමනාපකම් ඇතිකර ගන්නා කාලයක් වේ. ශරීරයේ උෂ්ණ ගතිය වැඩිවනු ඇත. 

වෘෂ්චික - රැකියා වෙනසක්
ඔබට එතරම් යහපත් නොවන වකවානුවක් වනු ඇත. රැකියා ස්ථානයේ හදිසි වෙනසක් හෝ ඒ ආශ්‍රිත ප්‍රශ්නයක් මතුවනු ඇත. ගමන් වලින් ද හදිසි ශරීර පීඩා ඇතිවිය හැක. තමාගේ උත්සාහයේ තරමට ප්‍රතිඵලයක් අත්කර ගත නොහැකි වේ.

ධනු - විදේශ ගමන්
ඔබට අයහපත් නොවේ. දේශපාලනික හා සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්කර ගත හැකි කාලයකි. හිතමිතුරන්ගෙන් උදව් උපකාර අත්වනු ඇත. විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉටු වේ.

මකර - සිතේ ප්‍රශ්නයක්
ඔබට මිශ්‍ර ඵල උදාවන අතර සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මඟහරවා ගත හැකිවනු ඇත. දුර ගමන්, විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ කටයුතු සාර්ථක වනු ඇත. යම්කිසි සිතේ ප්‍රශ්නයකින් යුක්තව මෙම වකවානුව ගත කරනු ඇත.

කුම්භ - සිත් බිඳීයාම්
යම් යම් කටයුතු අතපසුවීමක් සිදුවන අතර ඒ හේතුවෙන් ගැටලු පැන නගී. කෙටි ගමන් අධිකව යෙදෙනු ඇත. පවුලේ සාමාජිකයන් අතර සිත් බිඳීයාම් සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

මීන - ආර්ථිකය අයහපත්
ඔබට යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට බාධා ඇතිවන අතර ශරීරයට ද පීඩා ඇතිවීම් වනු ඇත. ආර්ථික අපහසුතා ඇතිවනු ඇත. ඔබට එරෙහි සතුරු උපද්‍රව වැඩිවන වකවානුවක් ද වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව
ගෝනපල