2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

අප්පච්චිගේ දිනපොතේ තිබුණු නිදහස් උත්සවේ...

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 152

ගමේ ඇත්තන්ගේ රසකථා - 18

පසුගිය සතියෙන් >>>

ඔබගේ පවුලේ විස්තර කොහොමද?

මම විවාහ වු‍ණේ 1959 අවුරුද්දේ. අපි දෙන්නා යාළුවෙලා ඉඳලා තමයි බැන්දේ. එයත් අපේ ස්ටාෆ් එකේ වැඩ කරපු කෙනෙක්. එයාගේ ගම කුරුණෑගල. ප්‍රේම සම්බන්ධයක් වුණාට දෙපැත්තෙම මව්පියන්ට කියලා, ඒ අයගේ කැමැත්ත මත තමයි විවාහ වුණේ. අපට පුතාලා තුන් දෙනෙක් හා දුවක් ඉන්නවා. ඒ අය අද හොඳ තැන්වල ඉන්නවා.

අපේ හතුමුතු පරම්පරාවම ජීවත් වුණේ මහගල්කඩවල. ඒ නිසා මමත් සැමියාට කීවා ගමේ පදිංචි වෙන්න ඕන කියලා. එයා ඒකට කැමති වුණා. අපේ අප්පච්චි ඉපදිලා තියෙන්නේ 1896 අවුරුද්දේ. අප්පච්චි මියගියේ 2000 අවුරුද්දේ. උන්දෑ ඉස්කෝලේ ගිහින් තියෙන්නේ හතරේ පන්තියට විතරයි. ඒත් අත් අකුරු හරිම ලස්සනයි. අප්පච්චිගේ සිරිතක් තිබුණා, දිනපොත් ලියන එක. 1948 අවුරුද්දේ ලියාපු දිනපොතක් තාමත් අපේ ගෙදර තියෙනවා.

ඒ දින පොතේ නිදහස් උත්සවය මෙහේ සමරපු විදිහ ගැන අප්පච්චි ලියලා තියෙනවායි කියමින් සිය පුතෙකු ලවා දිනපොතේ 1948 පෙබරවාරි හතර වැනිදාට වෙන් වූ පිටුව කියැවීය.

“මෙදින බුදුරුවකන්ද විහාරයට පැමිණ නිදහස් රාජ්‍ය උත්සවයට කළ යුතු වැඩ අවසන් කොට පන්සිල් සමාදන් වී බුද්ධ පූජා කොට මල් හා පහන් පුදා ඉක්බිති දෙවිගුරු දෙමව්පියන්ට පින්දීම හා නව රාජ්‍යයට ප්‍රධාන ධූරයට පත් වූ සේනානායක අමාත්‍යතුමා ප්‍රධාන නිදහසට උත්සාහ වීර්ය දැරුවා වූ ප්‍රධාන ප්‍රභූ අනෙකුත් ඇමැතිතුමන්ට දීර්ඝායු ලැබේවා කියා ප්‍රාර්ථනා කර විහාරයෙන් නික්ම තුනට පමණ ගමට ආවා.”

ඒ දින පොතේම පෙබරවාරි දහවැනි දිනට තබා ඇත්තේ මේ සටහනයි.

“මෙදින ජාතික සිංහ කොඩිය එසවීමට උත්සවයක් මහගල්කඩවල ග්‍රාම සංවර්ධන සමිති ගොඩනැගිල්ලේ දී තිබුණි. සෙල්ලම් ක්‍රීඩා දර්ශනය උදෙසා ද සිටියෙමි. සිට්ටම්මාට ඇක්සයිස් පොත් තුනයි. ගල්කූරු දෙකයි. උක්කු අම්මාට ඇක්සයිස් පොත් දෙකයි. ගල්කූරු එකයි. ඩිංගිරි අම්මාට සබන් කෑලි එකයි. ළමයි තුන් දෙනාටම තෑගි ලැබුණි.”

අප්පච්චි ඔය ලියලා තියෙන්නේ අපේ පුංචි කාලේ ගමේ තිබ්බ උත්සවයක අක්කයි, මායි, නංගියි තරගවලට ඉඳලා ලබාපු තෑගි ගැන. අප්පච්චි ඔය විදිහට එදිනෙදා සිදුවන හැම දෙයක්ම දින පොතේ ලියලා තියෙනවායි උක්කු අම්මා මාතාව කීවාය.

වන්නියේ හද්දා පිටිසර ගම්මානවල ජීවත් වූ අසරණ ගැමියන් ගිලන් වූ විටත්, ගැබ්බර වූ ගැමි ගැහැනියක බිළිඳකු බිහිකරන විටත්, ඒ රාජකාරිය මගේ නොවේ, මට බෑ ආදිය නොකියා තනතුරේ රාජකාරිය පසෙකලා දන්නා වෙද හෙදකම් සියල්ල සිදුකොට ඔවුන්ට අපමණ සරණ සේවයක් සිදුකොට ඒ සියල්ල ආවර්ජනය කරමින් අද ජීවිතයේ සැඳෑ සමයේ පසුවන ඒ.එම්.එච්. උක්කු අම්මා මාතාවට චිරං ජයතු කියා මං ඇගෙන් සමුගතිමි.