2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

කැලේ කඳවුරු බැඳගත් හාමුදුරුවරුන්ට හමුවූ අපේ මුතුන්මිත්තෝ!

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 406

වවුනියාව නගරයේ සිට කිලෝමීටර් 25 ක් දුරින් පිහිටි සෙට්ටිකුලමට පැමිණ තවත් කි.මී. 16 ක් ගමන් කළ විට අප ළඟා වන්නේ කොන්ග්‍රායම්කුලම් ගම්මානයටයි. නිතර නියඟයෙන් බැටකන මෙම ප්‍රදේශය පුරාණයේ බෞද්ධ පූජනීය ස්ථාන පැතිර පැවති සැදැහැවත් බොදුනුවන් විසූ පෙදෙසක් බව හෙළිදරව් කරන සාධක වටපිටාවෙන් හමු වේ. නමුත් මේ පුරාවිද්‍යා උරුමය පිළිබඳ විධිමත් ගවේෂණයක් සහ සංරක්ෂණයක් තවමත් සිදු වී නැත. මේ නිසා කොන්ග්‍රායම්කුලම් පමණක් නොව, වවුනියාව දිස්ත්‍රික්කයේම පුරාවස්තු නිදන් හොරුන්ගේ අතවරයට ලක්ව තිබුණි. ඒ ගැන සොයා බැලීමට කැප වූ කෙනකු ද සිටියේ නැත.

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ භික්ෂුන් වහන්සේ කණ්ඩායමක් පසුගියදා මෙම වනගත ප්‍රදේශයේ කඳවුරු බැඳගත්තේ බොහෝ දෙනාගේ දෑසින් සැඟව වැනසී යමින් පවතින උරුමයක් පිළිබඳව ජාතියට හෙළිදරව් කිරීමටය.

“අපට අවශ්‍ය වුණා මල්වතු ඔය දකුණු ඉවුරේ පිහිටි වියළි කලාපයේ එදා සිටි මානව ක්‍රියාකාරකම් ගැන අදහසක් ලබාගැනීමට. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ස්ථාන නාමාවලියට කොන්ග්‍රායකුලම් ස්ථානයත් එකතු වේවි කියන සිතුවිල්ල අපට තිබුණා. මෙම ස්ථානයේ මෙයට පෙර කිසිම පුරාවිද්‍යා අංශයකින් කැණීම් කරලා තිබුණේ නැහැ.”

එලෙස අදහස් පළ කළේ භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ති හිමියෝ වෙති. අනුරාධපුර කැකිරාවේ රිටිගල කන්දේ බටහිර බෑවුමෙන් ආරම්භ වන මල්වතු ඔය වවුනියා හා මන්නාරම් දිස්ත්‍රික්ක හරහා ගලා ගොස් මන්නාරමෙන් මුහුදට වැටේ. එහි දිග කි.මී. 162 කි. ජල පෝෂක ප්‍රදේශය ව.කි.මී. 3246 කි. වවුනියාව පිහිටියේ මල්වතු ඔය පහළ ද්‍රෝනියේය.

ඓතිහාසික යුගයේ දී මෙන්ම පූර්ව ඓතිහාසික යුගයේ දී ද මල්වතු ඔය ද්‍රෝනියේ ජනාවාස පැවති බවට සාධක හෙළිදරව් වේ. එම සාධක තහවුරු කර ගැනීමට මෙම කැණීම් ද උපකාරී වෙයි. ගල් පර්වත බහුල මෙහි කටාරම් කෙටූ ලෙන් රාශියක් ද හමු වේ. ඒ ලෙන් සමහරක පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි පිහිටා තිබේ. අක්කර 500 ක පමණ විශාල භූමි ප්‍රදේශයක් අනුරාධපුර මුල් යුගයේ බෞද්ධ පූජනීය ස්ථානයක් බවට පත්ව තිබූ බව නටබුන් විසිරී ඇති ආකාරය අනුව පැහැදිලි වේ. දැන් ඒ නටබුන් තිබෙන්නේ වනගතවය. අනුරාධපුර රාජධානියේ පරිහානියත් සමඟ මේ අවට ජනාවාස ද පරිහානියට පරිහානියට පත් වී පූජනීය ස්ථාන ද වනයට යටවන්නට ඇත. මෙහි ක්‍රි.පූ. යුගයට අයත් එක් ලෙන් ලිපියක සඳහන් වන්නේ (බත ගිරිතිසහ ලෙනෙ) යනුවෙනි. එහි අර්ථය (ආයුෂ්මත් ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන) යන්නයි. සැදැහැවතකු විසින් එම ලෙන කටාරම් කොටවා ගිරිතිස්ස තෙරුන් වහන්සේට පූජා කරන්නට ඇත.
තවත් සෙල්ලිපි 6 ක් ද මෙම ස්ථානයෙන් ලැබී තිබේ. ගල් කණු කොටස්, ප්‍රතිමා කොටස්, පැරණි ගොඩනැගිලි අවශේෂ, ගඩොල්, දාගැබ් අවශේෂ ආදිය මෙහි පැතිර ඇත.

වර්ග කි.මී. 1861 ක් විශාල වවුනියාව දිස්ත්‍රික්කයේ මේ වන විට පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක 35 ක් පවතින අතර ඒ අතරින් ප්‍රාග් ඓතිහාසික ස්ථාන ඇත්තේ අල්ප වශයෙනි. ඒ අතර පිහිටි වැදගත් මහා ශිලා සුසාන භූමියක් වූ අග්බෝපුර මාමඩුව පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීමක් ගැන මාස තුනකට පෙර ජනමාධ්‍ය වලින් වාර්තා කර තිබුණි.

කොන්ග්‍රායකුලම් ලෙන්වල මතුපිට නිරීක්ෂණය කළ පුරාවිද්‍යා ගවේශක භික්ෂු කණ්ඩායම එක් ලෙනක කැණීමක් ආරම්භ කළහ. මධ්‍ය ශිලා (මෙසොලිතික) යුගයට අයත් බවට අනුමාන කළ හැකි සාධක ගණනාවක් එහි දී හමු විය.
“ඓතිහාසික යුගයේ දී බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් වුණත් ඊට වසර දහස් ගණනකට පෙර කාලයේ පටන්ම මෙහි මානවයන් ජීවත්ව ඉඳ තිබෙනවා. අපි අනුමාන කරනවා මෙම ස්තරානුකූල කැණීමෙන් ලත් සාධක අවුරුදු 12000කට පමණ අතීතයකට අයත් බව. එහි විද්‍යාත්මක කාල නිර්ණය සඳහා ඇමරිකාවේ බීටා ඇනලිමික් ආයතනයට යවා තිබෙනවා. දෙසැම්බර් පමණ වන විට එම වාර්තාව ලැබේවි” විමලඛන්ති හිමියෝ අපට පැවසූහ.

වවුනියාවේ පුරාවස්තු ගැන පවසන විට බොහෝ දෙනාගේ මතකයට එන්නේ මඩුකන්ද විහාරයත්, තෝනිගල සෙල්ලිපියත් පමණි. අනාගතයේ දී කොන්ග්‍රායකුලම් ද එවැනි මතක හිටින නටබුන් ස්ථානයක් වීමට පුළුවන. කැණීම ගැන තවදුරටත් විස්තර කළ විමලඛන්ති හිමියෝ මෙසේ ද පැවසූහ.

“මේක උතුරු පළාතේ කළ වැදගත් පුරාවිද්‍යා කැණීමක් බව කියන්න පුළුවන්. ගල්වලින් කළ ක්ෂුද්‍ර මෙවලම්, සත්ව අස්ථිවලින් කළ ආයුධ අපට ලැබුණා. කහඳ සහ තිරුවානා ගල්වලින් මේ ආයුධ තනා තිබෙනවා. මානව අස්ථි කොටස් දෙකකුත් අපට හමු වුණා. මේ වන විට කැණීමෙන් ලැබුණු ද්‍රව්‍ය විශ්ලේෂණය කරනවා. ශිලා ලේඛන කියවනවා. එක් ශිලා ලේඛනයක භාතිකාභය රජු දාගැබට කළ පරිත්‍යාගයක් ගැන සඳහන් වෙනවා.

නමුත් අපට හමු වූ බුද්ධ ප්‍රතිමා බොහෝ දුරට විනාශ වෙලා. නිදන් හොරුන්ගේ අතවරය දරුණු විදිහට මේ ස්ථානයටත් බලපා තිබෙනවා.”

දකුණේ ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරන බොහෝ දෙනකුට උතුරේ විනාශ වන පුරාවිද්‍යා උරුමය ගැන වගේවගක් නැත. දැන් නිදහසේ චාරිකා කළ හැකි වාතාවරණයක් පවතින නිසා මෙවැනි ස්ථාන දැකබලාගෙන ඒවා ආරක්ෂා කිරීමට බලධාරීන් උනන්දු කිරීම කාගේත් වගකීමකි.

I කුසුම්සිරි
පසුබිම් පුවත් සහ සේයාරූ
වන්නි රොමේෂ් මධුශංක / 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00