වයසට යන්නට කවුද කැමැති. ලෝකයේ රට රාජ්‍යවල විද්‍යාඥයන් හිරුසඳු අල්ලන්නට තැත් කළත් මේ අයගේ අවධානයත් නිරන්තරයෙන්ම යොමු වී ඇත්තේ වයසට යාම කල් දමා ගන්නේ කෙසේද යන්න ගැනයි. දැන් වයසට යාම කල් දැමීම පමණක් නොවෙයි, ඉදිරියට ගිය වයස ආපසු අද්දවා ගන්නටත් හැකි බව අලුත්ම පර්යේෂණයකින් සනාථ වී හමාරයි. කොටින්ම කිව්වොත් දැන් තියෙන වයසට වඩා වසර 30ක් අඩුකරගන්නට හැකි බවයි මේ පර්යේෂණය මගින් ඉඟිකර තිබෙන්නේ.
වයස්ගතවීම වැළැක්විය නොහැකි සරල රේඛීයව සිදුවන කාර්යයක් ලෙසයි මෙතෙක් ඔබ අප දැන සිටියේ. නමුත්, මෙතෙක් සිදුවූ පර්යේෂණ ගණනාවක් ගුරුකොට ගනිමින් පැවැත්වූ අලුත් පර්යේෂණයක් අනුව අවශ්‍ය පිළියම් යෙදුවොත් වයසට යන වේගය පමාකරගත හැකිවාක් මෙන්ම ගිය වයසෙන් තුනෙන් එකක් නැවත එකතුකර ගත හැකි බව සනාථ වී හමාරයි. ඒ කියන්නේ සීයලාත් තරහන් කරන්නට හැකියාව ඇතිබවයි.
අපේ ශරීරය වැඩෙන්නට මූලික වූ කළලයේ සෛල ගොනු අතර කඳ සෛල (Stem Cells) හැඳින්වෙන සෛල විශේෂයක් තිබෙනවා. මේ කියන්නේ කිසිම විදියකට අවයවයක් තන්නට භාවිත නොවුණු වෙනස්කමකට ලක් නොවුණු මූලික තරුණ සෛල කොටසක් ගැනයි. මේ කියන සෛලවලට අවශ්‍ය ඕනෑම සෛල ගොනුවක් පඨකයක් බවට පත්වන්නට හැකියාව ස්වභාවිකවම තියෙනවා.
කාලාන්තරයක් තිස්සේ ලෝකයේ විවිධ රටවල විද්‍යාඥයින් මේ කියන මූලික සෛල උපයෝගී කර ගනිමින් මිනිස් සිරැරට අවශ්‍ය විවිධ පඨක වර්ග නිර්මාණය සිදුකළා. එසේම ඒවා බද්ධ කිරීම මගින් සාර්ථක ප්‍රතිඵලත් ලබාගත්තා. පරිණත බවට පත්වෙලා අවයවයක් තනන්නට උපකාරී වුණු සෛලවලට මේ හැකියාව නැති බවයි කලින් හිතා හිටියේ. උදාහරණයක් හැටියට අපේ හම ගත්තොත් හමේ සෛලයකට නැවත වෙනත් අවයවයකට අවශ්‍ය සෛලයක් නිර්මාණය කරන්නට බෑ. නමුත් ජපානයේ යමනකා කියන විද්‍යාඥයා ප්‍රමුඛ පිරිසක් සාමාන්‍ය පරිණත සෛලයක් නැවත මූලික කඳ සෛලයක් බවට පත් කරන්නටත් එයින් අපට අවශ්‍ය ඕනෑම අවයවයක ඕනෑම සෛලයක් හදාගන්නට හැකි බවත් පර්යේෂණාත්මකව පෙන්වා දුන්නා. ඔහු එසේ පෙන්වා දුන්නායින් පසුව චර්මය, වකුගඩු, අක්මා, පමණක් නොව මූලික මිනිස් මොළයක පවා මේ කියන උප්පරවැට්ටිය යොදා සාමාන්‍ය පරිණත සෛල මූලික සෛල බවට හරවා හදාගන්නට විද්‍යාඥයින් සමත්වුණා. මේ කියන පරීක්ෂණයේ සාර්ථකත්වය යටතේ අලුතෙන් හිතන්නට අනෙකුත් විද්‍යාඥයින් පෙළඹුණා. මේ විදියට අලුතෙන් හිතූ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් කැලිෆෝනියාවේ ලාපොලා හි පිහිටා ඇති සොල්ක් ජාන පර්යේෂණායතනයේ සිටිනවා. එහි මහාචාර්ය ජුවාන් කාලෝස් බෙල්මොන්ටේ ඇතුළු පර්යේෂණ පිරිස වයසට යාම වළක්වන්නට මේ ක්‍රමය හඳුන්වා දෙන්නට හැකිදැයි සොයාබැලුවා. ඔවුන්ට එයින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව දෙසැම්බර් 15දා නිකුත් වූ විශිෂ්ට වෛද්‍ය පර්යේෂණ ඵලවන විද්‍යාත්මක ජර්නලයක් වන Cell වෙත ඔවුන් ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවක් මගින් සනාථ කර තිබෙනවා.
වර්තමාන ලෝකයේ මිනිසුන්ගේ ආයුෂ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ නිසාම ඔවුන් අතර වයසට යාම නිසාම වැළඳෙන හෘදයාබාධ, පිළිකා සහ ස්නායු රෝග බහුලයි. යම් හෙයකින් වයස්ගත වීම පමා කරගතහොත් හෝ නැවත තරුණ සෛල සහිත සිරුරකින් යුතුව ජීවිතයට මුහුණ දෙන්නට හැකි නම් මේ කියන ලෙඩ රෝගවලිනුත් වළකින්නට හැකියි.
වයස්ගත අයකුගේ සෛල නැවත සැකැසීමට ලක්කර ඒවා කඳ සෛල බවට පත්කළොත් අදාළ සෛල මගින් නැවත අලුත් පඨක නිපැදෙන නිසා වයසට යාම පමාවන බවත් තිරිහන් බව ලැබෙන බවත් ඔවුන්ට සිය පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා.
මේ වයස්ගතවීම කල් දමන්නට අවශ්‍ය ක්‍රමවේදය සොයන පර්යේෂණය සඳහා ඔවුන් භාවිතා කළේ වයසින් කුඩා වුවත් මහල්ලෙකුගේ පෙනුම ලබාදෙන Progeria නමැති ජානමය රෝගයට ලක්වූ මීයන් සමූහයක්. මේ කියන රෝගය සහ එහි රෝග ලක්ෂණ මිනිසුන්ටත් පොදුයි. මේ නිසා මීයන්ගේ සම ආශ්‍රිතව ඔවුන් සෛල නැවත සකසා මූලික සෛල බවට පත්කිරීමේ පර්ෙය්ෂණයක නිරත වූවා. ප්‍රතිඵලය සාර්ථක වූ අතර මීයන්ගේ සම නැවත තිරිහන් බවට පත්ව තිබුණා.
මේ ප්‍රතිඵලය මගින් තවත් උනන්දුව ලැබූ පර්යේෂක පිරිස සජීවී මීයන් පිරිසකටත් මේ ප්‍රතිකර්මය සිදුකර වෙනෙස සොයාබැලුවා. එයින් ලැබී තිබුණේද විෂ්මිත ප්‍රතිඵලයක්. මෙතෙක් වයස්ගත පෙනුමෙන් සිටි සජීවී සතුන් තුළද තිරිහන් ලකුණු පහළ වී තිබූ අතර, ඔවුන්ගේ හෘදය සහ රුධිර නාළ පද්ධති ඇතුළු අනෙකුත් අවයවයන්ගේ ක්‍රියාකාරී බවටත් තරුණ ජවයක් ලැබී තිබුණා. ඒ සියල්ලටත් වඩා ඔවුන්ගේ ජීවිත කාලය සියයට 30ක ප්‍රතිශතයකින් වැඩිවී ඇති බවත් සොයාගන්නට හැකිවුණා.
මහාචාර්ය කාලෝස් ඇතුළු පිරිස පෙන්වා දෙන්නේ සුදුසු රසායණික ප්‍රතිකාරකයක් සොයා එය යොදාගැනීම මගින් ඉදිරියේදී මිනිසුන්ටත් තිරිහන් බව ලැබිය හැකි බවයි. වෙනත් විදියකට, මේ කියන්නේ තවත් වසර දහයක පමණ කාලයකදී බේත් පෙත්තක් ගිලීම මගින් සීයලාටත් මුණුපුරාලාගේ වයසට එන්න හැකියාව ලැබෙන බවයි.
♦ සුගත් පී. කුලතුංගආරච්චි