2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

අඹගෙඩි 3කට වයසක අම්මා කූඩුවට දැමූ පොලීසියක්

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 211

පැමිණිල්ල තීන්දුව දෙකම විත්තියට එරෙහිව පැමිණිල්ලේ වාසියට පමණක් ක්‍රියාත්මක වේ නම් නීතියෙන් පලක් නැත. ඒ පිළිබඳ විශ්වාසයක් හෝ සිතුවිල්ලක් නැගෙන්නේ නැතිනම් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යැයි කියති. අනෙකකුගේ අඹ ගසකින් ගෙඩි තුනක් කඩාගත් වරදට කැකිල්ලේ තීන්දුවක් දුන් සිදුවීමක් වාර්තාවූයේ අනුරාධපුරය පොලීසියෙනි.

එහි අතීත පුවත සිදුව ඇත්තේ පසුගිය 9 වැනිදාය. ඒ. ලලිතා මහත්මිය පදිංචිව සිටියේ සාලියපුර ප්‍රදේශයේය. අසනීප රැසකින් පෙළෙමින් සිටින ඇය 64 හැවිරිදිය. වැඩි වේලාවක් නිවසේ තනිවම කල්ගෙවූ ඇයට ආහාර අනුභවය සඳහා පිරියක් නොවූයෙන් සිහියට නැගුණේ අඹ ඇඹුලක් පිස ගත්තා නම් හොඳ බවකි. සැණෙකින් මතකයට නැගී තිබුණේ ගෙදරට එන පාරේ අසල්වැසි නිවෙස ඉදිරිපිට අඹ ගසේ සෑහෙන ගෙඩි ප්‍රමාණයක් හටගෙන තිබූ බවය. සිතූ පමණින් කෙක්ක සහිත ලීයක් රැගෙන ගිය ඈ අඹ ගෙඩි තුනක් කඩා බිම දැමුවාය. ඒ ශබ්දය ඇසුණු සැණින් නිවෙසේ ඇතිකරන බල්ලා බුරාගෙන පනින්නට වූ අතර ඊට බිය වූ කාන්තාව සිය නිවෙස දෙසට පිය මැන්නාය.

සිද්ධිය දුටු ගෙහිමි යුවළ පොල්ලක්ද රැගෙන ලලිතා පසුපස පන්නාගෙන ආවේ කෑමොර දෙමිනි. බියෙන් තැතිගෙන දිවගිය ලලිතා පසුපස ගෙමිදුල දක්වාම පන්නා ගිය යුවළ ඇයට තර්ජනය කළහ.

ඊටපසු මොහොතකින් පිටත්ව ගිය දෙන්නා අනුරාධපුරය පොලීසිය වෙත ගොස් තමන් සතු අඹ ගසෙන් ගෙඩි සොරාගත් බව කියමින් පැමිණිල්ලක් සටහන් කළෝය. දිනය එසේ නිමාවෙද්දී අඹ ගෙඩියක් කඩන්නට ගොස් වූ අලකලංචිය පිළිබඳ සොවින් ලලිතා මහත්මිය කල් ගෙව්වාය.

උදාවූයේ 10 වැනිදාටය. ලලිතා මහත්මියගේ නිවෙසට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. ඔවුන් ලලිතා මහත්මියට කීවේ මෙවැන්නකි.

“තමුන් ඊයේ උදේනි පෙරේරා මහත්තයාගේ ගෙදර අඹ ගහකින් ගෙඩි කැඩුවද? හොරෙන් අඹ ගෙඩි 19ක් කඩලා කියලා පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒක විභාග කරන්න හෙට උදේ 11ට පොලීසියට එන්න“ එදින පෙරවරුවේ පොලීසියේ මහත්වරු පණිවුඩය කියා පිටව ගිය අතර ලලිතා මහත්මිය කීවේ මෙවැන්නකි.

“ළඟ ගෙදරක පාරට නැමිලා තිබුණු අඹ අත්තකින් ගෙඩි 3ක් කඩාගත්තා ඇඹුලක් උයන්න. ඒ වෙලාවේ ගෙදර බල්ලන් බුරද්දී නෝනයි මහත්තයි එළියට ආවා. දෙන්නා පොල්ලක් අරගෙන මට ගහන්න පැන්නුවා. අපේ ගෙදරටම ඒ අය ආවා. පස්සෙ පොලීසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා මම අඹ ගෙඩි 19ක් කැඩුවා කියලා. මම පුදුම වුණා. කැඩුවෙ ගෙඩි 3යි. ගෙඩි 16ක් වැඩියෙන් කඩලා කියලයි පැමිණිලි කරලා තිබුණේ. වත්ත වටේ කටු කම්බි පොටවල් 7ක් ගහලා. ගෙදර සැර බල්ලන් දෙන්නෙක් ඉන්නවා. අසනීපෙන් ඉන්නා මම කොහොමද වත්තට පැනලා හොරකම් කරන්නේ.”
පැමිණිල්ල විභාග කිරීමට අවශ්‍ය වූයෙන් ලලිතා මහත්මිය 11 වැනිදා පෙරවරුවේ පොලීසිය වෙත ගියාය. පැමිණිලි පාර්ශ්වයේ කාන්තාවද එහි පැමිණ සිටියාය. ලලිතා මහත්මිය පොලීසිය හමුවේ කියා තිබුණේ “මම අඹ ගෙඩි 3ක් කඩාගත්තා. වැරුද්ද පිළිගන්නවා. ඒ නිසා මේක සමථයකට පත්කර දෙන්න.” යනුවෙනි. එහිදී පැමිණිලි පාර්ශ්වයේ කාන්තාව සමථයකට පත්වීමට අකමැත්ත පළ කළාය.

“අපේ වත්ත මායිමට වෙන්න ඔහේලාගේ වත්තෙ තියෙන ලුණු මිදෙල්ල ගහයි කොහොඹ ගහයි අපේ ගස්වලට හානියක් නොවෙන්න සතියක් ඇතුළත කපලා දාන්න ඕනෑ. ඒක පොරොන්දු වෙනවා නම් අඹ ගෙඩිවල පැමිණිල්ල ඉවත්කර ගන්නම්” යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබිණි.

අසරණව සිටි ලලිතා මහත්මිය එක පයින් ඊට කැමැති විය. එවිට පොලිසියෙන් කොළයක් ලබා දුන්නේ අදාළ කාරණය ලිඛිතව ඉදිරිපත් කර අත්සන් තබන ලෙස කියමිනි. එහෙත් අවසානයේ පැමිණිලි පාර්ශ්වයේ කාන්තාව ඊටද විරුද්ධව යමින් සිය අදහස වෙනස් කළාය. මේ අනුව ගැටලුව සමථයකට පත් නොවීම නිසා පොලීසියට සිදුව ඇත්තේ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන්නටය.

ලලිතා මහත්මිය මේ බව දැනගත්තේ මොහොතක් ගතවූ පසුවය. එහිදී පොලීසියේ ස්ථානාධිපතිවරයා හමුවන්නට ඇය අවස්ථාවක් ඉල්ලුවද ඊට ඉඩක් නොලැබූ බවද කියන්නීය. ඒ අනුව මේ කාන්තාවට සිදුව ඇත්තේ පිරිමි සිරකරුවන් රඳවා සිටින කූඩුව අසල බංකුවක් මත පැය ගණනාවක් වාඩි වී සිටීමටය. දවස රෑ බෝ වෙද්දී කාන්තාව අසලින් වූ සිරමැදිරියකට යොමුකර පිටතින් අගුලු දමන්නට පොලිස් නිලධාරියෙක් කටයුතු කළේය.

“පැය ගණනක් බංකුවේ හිටපු මම රෑ වෙද්දි කූඩුවකට දාලා අගුලු දැම්මා. එතන මම තනිවමයි හිටියේ. මට කන්න බොන්න නෑ. උගුර කට වේලිලා කලන්තෙ වගේ දැනුණා. මට එළියට යන්න අවසරයක් දුන්නේම නෑ. අඩුම තරමෙ මුත්‍රා කරන්නවත් විදිහක් නෑ. මේ අතරේ ගෙවල් කිට්ටුව පොලීසියේ වැඩකරන මහත්තයෙක් ඉන්නවා දැකලා කතා කරලා කීවා. ඔහු මට වැසිකිළි යන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ සඳහා වෙන පොලිස් නෝනා කෙනෙක් ලබාදුන්නා. පස්සෙ රෑ එළිවෙනකම් මම කූඩුවේ හිටියා.”

අසරණ වූ ලලිතා මහත්මිය එසේ පැවසුවාය. පසුදින පෙරවරුව වනවිටත් අඹ ගෙඩි 3ක් කැඩීම නිසා ලලිතා මහත්මිය පොලිස් කූඩුවේ රඳවා ඇති බව ගමපුරා ප්‍රචාරය වී තිබුණි. ඒ අනුව අසල්වැසියන් පිරිසක් පොලීසියට පැමිණ තිබුණේ ලලිතාගේ සුවදුක් විමසීමටය. ඇය හමුවී කරුණු විමසා අධිකරණයට ඉදිරිපත් කළ ලලිතා මහත්මිය වෙනුවෙන් පෙරකදෝරු ගාස්තුව ගෙවන්නට අසල්වැසි පිරිස කටයුතු කළාය. අවසානයේ ලලිතා මහත්මිය අඹ ගෙඩි 3ක් කැඩීමේ වරදට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස ලැබුවාය. ඒ පිළිබඳව ලලිතා මහත්මිය මෙසේ පැවසුවාය.

“උසාවි නෑවිත් මේක පොලීසියේදී විසඳා ගන්න තිබුණා. සල්ලි තියෙන අයට එක නීතියකුයි සල්ලි නැති අයට තව නීතියකුයි තමා තියෙන්නේ. කොතැනක හරි වැරැද්දක් ඇති. නමුත් මම ගරැ අධිකරණයට ආචාර කරනවා ලබාදුන්නු තීන්දුවට.”

ලලිතා මහත්මිය හෘද රෝගී තත්ත්වයකින් පෙළෙන්නීය. එක් ඇසකට කාචයක් යොදා ඇති බවත් අනෙක් ඇසේ පෙනීම අඩු බවත් කීවාය. දරුවන් නොමැති පවුලේ සැමියා වත්තක මුරකරු වශයෙන් සේවය කරන බවද ඇය පැවසුවාය.
සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුරය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා මෙසේ අදහස් දැක්වීය.

“ඇත්තටම මේ අඹ ගෙඩි කීපයක් සම්බන්ධ ගැටලුව ඉතාම මානුෂික කාරණයක්. පැමිණිල්ල විමර්ශනයට දෙපාර්ශ්වය කැඳවලා තිබුණා. නමුත් පොලීසිය මට්ටමෙන් සමථයකට පත්වීමට පැමිණිලි පාර්ශ්වය කැමති වෙලා නෑ. පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න අකමැති වෙලා තියෙනවා. ඒ දෙපාර්ශ්වය අතර කලින් ආරවුලක් සිදුවෙලා තිබෙන බවත් වාර්තා වුණා. පැමිණිල්ල සමථයක් නොවෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. කාරණය අධිකරණයට යොමුකළේ ඒ හේතුවෙන්.”

සොබාදහමෙන් මිනිස් පරිභෝජනයට ලබාදෙන දෑ අපමණය. ඇතැම් මිනිසුන් අවලාද නගමින් ගැටුම් ඇතිකර ගනිමින් නඩු මගට යොමුවන්නේ ගහක කොළයක් ගෙඩියක් වෙනුවෙනි. නීතිය සොයන්නට පෙර මිනිසුන්ගේ මානුෂීය හැඟීම්, ආකල්ප වර්ධනය කරගත යුතුය. එය ගැටලු රැසක් නිරාකරණයට නිසැකව හේතුවනු ඇත.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර