2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

සෙනසුරු මාරුව 26දා -අරගල විලත් අනතුරු

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 298

ග්‍රහ මණ්ඩලයේ රාශියක් තුළ දීර්ඝ කාලයක් ගමන් කරන්නා වූ ග්‍රහයන් අතරින් සුවිශේෂ වූ සෙනසුරු ග්‍රහයා මෙතෙක් තමාට සතුරු රාශි භවන වූ වාෂ්චික රාශියෙන් මිදී තමාට මිත්‍ර රාශි භවනක් වූ ගුරුට අයත් ධනු රාශියට 2017 ඔක්තෝබර් මස 26 ගුරු දින සවස 3 පසු වී විනාඩි 31ට පැමිණේ. 2018 වර්ෂයේ අප්‍රේල් 18 වැනි බුධ දින උදේ 7 පසු වී විනාඩි 18ට වක්‍ර ගමනින් ද, 2018 සැප්තැම්බර් 6 වැනි දින සවස 4 පසු වී විනාඩි 40ට වක්‍ර ගමනින් මිදී සුපුරුදු ගමනින් ගමන් කරන සෙනසුරු නැවත වරක් 2019 අප්‍රේල් 30 වක්‍ර හා සැප්තැම්බර් 18 වැනි දින සුපුරුදු ගමනින් ද ගමන් කරයි. 2020 ජනවාරි 25 වැනි දින උදේ 11 පසු වී විනාඩි 20 දක්වාම ගුරුට අයත් වූ ධනු රාශියෙහි කේතුට අයත් මූල නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් පුවසල නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රසල නැකතේ ප්‍රථම පාදයෙන් ද ගමන් කරයි.

අප රටට කරන බලපෑම්

ජනතා සුබසිද්ධිය වෙනුවෙන් රජය විසින් යම් යම් ක්‍රියාමාර්ග ගත්තද, ජනයා ආර්ථික අපහසුතාවලින් පීඩාවට පත්වන අතර රටේ සිදුවන යම් යම් අයහපත් සිදුවීම් විඳ දරාගත නොහැකි වීම නිසා මහජන කැළඹිලි, වැඩ වර්ජන, උද්ඝෝෂණ, ගැටුම් ඇතිවනු ඇත. අධ්‍යාපන කටයුතු ආශ්‍රිතව මෙන්ම කලා ක්ෂේත්‍රය පිළිබඳ නව නීති පනත් සම්මත වේ. උසස් අධ්‍යාපනික ආයතනවල හා විශ්වවිද්‍යාල ද, පාසල්වල ද සිසුන් අරගලකාරීව ක්‍රියා කිරීම නිසා රජයට සිසු මර්දනයට තදබල පියවර ගැනීමට සිදු වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අරගලකාරීත්වය තවත් වැඩි වීමෙන් රජය ඉතා අපහසුතාවයට පත් වේ. වෙළෙඳ ව්‍යාපාර, කර්මාන්ත කඩාවැටෙන අතර රාජ්‍ය ආයතන ද මුල්‍ය අර්බුදයට පත්වනු ඇත. මෙය රාජ්‍ය නායකයකුට, ප්‍රධාන මන්ත්‍රීවරයකුට මෙන්ම මහජන නියෝජිතයන්ට ද ඉතා අශුභ ඵල ගෙන දෙන වකවානුවකි. රාජ්‍ය නායකයකුට, අමාත්‍යවරයකුට හෝ ප්‍රසිද්ධ මහජන මන්ත්‍රීවරයකුට මාරක අපල ඇතිවනු ඇත. රාජ්‍ය පාලනයට අයහපත් බලපෑම් ඇතිවන අතර රජයේ මන්ත්‍රීවරුන් තම පක්ෂය හැරයාම නිසා රජයට බහුතර බලය නොමැති වී යාමේ අවදානමක් මතු වේ.

මෙම කාලයේ පවත්වන මැතිවරණවලින් තනි පක්ෂයකට බහුතර බලයක් ලබාගත නොහැකි වුවත්, කැපීපෙනෙන ලෙස නව දේශපාලන බලවේගයක් බලයට පත්වීමක් සිදුවනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ මාරුකිරීම හා මහජන විරෝධතා නිසා රාජ්‍ය පාලනය ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවීමෙන් පාලනයේ වෙනස් වීමක් ද සිදුවනු ඇත.
රටේ ජනතාව පීඩනයට පත්වෙමින් ස්වභාවික ව්‍යසන ද වැඩිවනු ඇත. කෘෂිභෝග විනාශයට පත් වේ. විශාල ජල ගැලීම් ද, වරින් වර වියළි නියං තත්ත්වයන් ද, සුළි කුණාටු ද, නායයාම් ද, ගංඟා මුහුදු ආශ්‍රිත ජල ගැලීම් ද නිසා පොදු සහ ජනතා දේපළ වැඩි වශයෙන් විනාශයට පත් වෙයි.

විදේශ තත්ත්වය
ආගමික කටයුතු ආශ්‍රිතව අර්බුදකාරී තත්ත්වයක් ඇතිවන අතර ප්‍රධාන ආගමික නායකයකු ත්‍රස්ත ප්‍රහාරයකින් ඝාතනය කිරීමක් වාර්තා වේ. ගුවන්, නාවුක යාත්‍රා හා දුම්රිය ගමන්වලට බාධා ගෙන දේ. මගීන් 200කට ආසන්න පිරිසක් මරණයට පත් කරමින් යාත්‍රාවක් අනතුරට භාජනය වේ. මගීන් 100කට අධික පිරිසක් රැගත් ගුවන් යානයක් කඩාවැටීමක්, ගිනිගැනීමක් සිදු වේ.
සෙනසුරු ඔබට කරන බලපෑම්

මේෂ - තරග ජය

වාසනාවන්ත කාලයක් ඔබට ආරම්භ වනු ඇත. බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.
අධ්‍යාපනය - පැවතියාවූ උදාසීන ගති ඉවත් වී උද්යෝගයකින් තම ඉගෙනීම් කටයුතුවලට යොමුවන කාලයක් වෙයි. තරග ජයග්‍රහණ ද ලැබේ. විදේශ අධ්‍යාපනයක යෙදීමට බලාපොරොත්තු වූයේ නම් එය ඉටු වේ.
රැකියාව -සේවා ස්ථානයේ පැවති සතුරු කරදර දුරු වී යනු ඇත. අලුත් හිතවත්කම් ඇතිවීම නිසා රැකියාව දියුණු වී එහි පරිසරය තමාට ප්‍රිය ස්ථානයක් බවටත් පත් වේ.
ගෘහ ජීවිතය - ආර්ථික වාසි ලැබීම හේතුවෙන් පවුල් දිවියේ යහපත් වෙනසක් සිදු වේ. තම ඉඩකඩම්, ගේ දොරවල අලුත්වැඩියාවක් හෝ ඉදිකිරීමක් සිදු වේ.
සෞඛ්‍ය - අත්වල හෝ රුධිර ධාවනය ආශ්‍රිත පීඩාවක් මතුවනු ඇත.


රජයේ බහුතර බලය අඩුවේ 

වෘෂභ - සතුරු උපද්‍රව

ඔබගේ මර්මස්ථානය මගින් සෙනසුරු ගෝචර වන බැවින් ඔබට යහපත් ඵල අත් නොවනු ඇත. විශේෂයෙන් ඔබගේ ලග්නයට අයහපත් ලෙස සෙනසුරු උපතේ දී තැන්පත්ව සිටියේ නම් අයහපත් ඵල වැඩිවනු ඇත.
අධ්‍යාපනය - උනන්දුව අඩු වී සෙල්ලමට යොමුවන වකවානුවක් වන අතර තරග විභාගවලින් ද බලාපොරොත්තු වන්නා වූ ආකාරයට ප්‍රතිඵලයක් ලබාගත නොහැකි වේ.
රැකියාව - ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත අයට විවිධ බාධා ඇති වේ. විශේෂයෙන් සතුරැ උපද්‍රව ගැන අවධානයෙන් සිටීම වැදගත්ය. රැකියා ස්ථානයේ සේවකයන් සමඟ සිත් අමනාප වීම් ඇති වී රැකියාව එපාවීමකට හේතු වේ.
ගෘහ ජීවිතය - පවුල් දිවියේ සමගියට වරින් වර බාධා වේ. හිතවතුන් නිසා යම් යම් කරදරවලට මුහුණ දීමට සිදුවනු ඇත. තැන්පත් ධනය වියදම් වී යන්නාවූත් වකවානුවක් වන අතර ඉතිරිකර ගැනීමට නොහැකි වී ණය වීමට සිදු වේ.
සෞඛ්‍ය - උස් තැන්වලින් වැටීම් නිසා අස්ථි බිඳීම් සිදුවිය හැක.

මිථුන - අධ්‍යාපනයට හොඳයි

ඔබගේ කාලත්‍රභාවය තුළ තැන්පත් වන සෙනසුරු ඔබට මිශ්‍ර ඵල ගෙන දෙනු ඇත.
අධ්‍යාපනය - ඔබට යහපත් ඵල අත්වන අතර නව දැනුමක් බුද්ධියට එක්කරගත හැකි වේ. විද්‍යා අංශයෙන් අධ්‍යාපන කටයුතු කරන අයට ඉතා ශුභ ඵල ද ජයග්‍රහණ ද අත්කරගත හැකි වේ.
රැකියාව - රැකියාව සුපුරුදු ලෙස කරගෙන යාමට හැකිවන අතර තමන් ගැන අනිකුත් සේවකයන් ඇගයීමට ලක් කරන වකවානුවකි. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට යහපත් වනමුත් අලුතෙන් නව ව්‍යාපාර ඇරඹීමට පෙර අවදානම් ගැන සොයා බලන්න.
ගෘහ ජීවිතය - ඔබගේ කාලත්‍රයාට හදිසි ශරීර පීඩා ගෙන දෙන වකවානුවක් වනු ඇත. පවුල් දිවියේ ද සමගියට බාධාවීම් ඇතිවනමුත් අවිවාහක අයට මංගල යෝජනා ගෙන දේ. විදේශ ගමන් අපේක්ෂා කළ අයට විදේශගත වීමේ භාග්‍ය උදාවනු ඇත.
සෞඛ්‍ය - හදිසි තුවාල පීඩා ද ඌෂ්ණ රෝග ද ඇති වේ.

කටක - බාධා මඟහැරේ

ඔබට එතරම් ශුභ ඵල අත් නොවුවද පැවති බාධා රැසක් මඟහැරී යන වකවානුවක් වේ.
අධ්‍යාපනය - පැවතියාවූ උදාසීන ගති මඟහැරී ඉගෙනීමට සිත් යොමු කරයි.
රැකියාව - ජලය ආශ්‍රිතව රැකියාවන්හි නිරත අය පරිස්සම් වීම වැදගත් වන අතර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අයට බාධා මැඩගෙන දියුණුවක් ළඟාකරගත හැකි වේ.
ගෘහ ජීවිතය - ආර්ථික වර්ධනයක් හිමිවන අතර සතෙකුගෙන් හදිසි ශරීර පීඩාවක් ඇතිවිය හැකිය. තම කාලත්‍රයාට රෝගයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදු වේ.
සෞඛ්‍ය - උදරය ආශ්‍රිත පීඩා ද ඇස්වල ආබාධ ද මතු වේ.

 

ආර්ථික ගැටලු ඉහළට 


සිංහ - නව රැකියා අවස්ථා

ඔබට යහපත් වනු ඇත.
අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතුවලදී යම් යම් අතපසුවීම් හේතුවෙන් ගුරුවරුන්ගෙන් දෝෂාරෝපණ එල්ල වේ. නමුත් තරඟ ජයගනු ඇත.
රැකියාව - ව්‍යාපාරිකයන්ට යහපත් වන අතර නව රැකියාවක් බලාපොරොත්තු වූ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිය.
ගෘහ ජීවිතය - විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන අතර අවිවාහක අයට විවාහයට යහපත්ය. යම් යම් හේතු මත තම තැන්පත් ධනය වියදම් කිරීමට සිදු වේ.
සෞඛ්‍ය - හුස්ම ගැනීමේ අපහසුතා, පපුවේ පීඩා ආදිය ඇති විය හැක.

කන්‍යා - සතුරන් මර්දනය වේ

ඔබට යහපත් ඵල වර්ධනය වනු ඇත.
අධ්‍යාපනය - ඉතා උසස් ලෙස තරඟ ජයග්‍රහණ ලබාගත හැකිය.
රැකියාව - තම සේවා ස්ථානයේ සේවකයන් අතර සුහදතාව වර්ධනය වන අතර සතුරු බලවේග මර්දනය කරගත හැකි වකවානුවකි. විදේශ රැකියා බලාපොරොත්තු වූ අයට එය ඉෂ්ඨ වනු ඇත.
ගෘහ ජීවිතය - නිවසට වඩා වැඩි වශයෙන් වෙනත් තැන්වල රැඳීමට සිදුවනු ඇත. උරුම හිමිකම් ලබාගැනීමට යහපත් වකවානුවක් වේ. සිතේ ප්‍රශ්න මතු වේ.
සෞඛ්‍ය - හිස හා කොන්ද ආශ්‍රිත පීඩා මතු වේ.

තුලා - කරදර ඉවතට

ඔබට ඉතා යහපත් ඵල අත්වනු ඇත. ඔබගේ පැවති කරදර බාධකවලින් නිදහස් වනු ඇත.
අධ්‍යාපනය - උනන්දුවකින් උද්යෝගයකින් යුක්තව පාඩම් වැඩවල යෙදෙන අතර තරඟ ජයග්‍රහණ ද ලබාගනු ඇත.
රැකියාව - ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාභ ගෙන දේ. නව ව්‍යාපාර ආරම්භ කිරීමට ද යහපත්ය. නවතා දමා තිබූ හවුල් ව්‍යාපාර නවතාවයකින් ඇරඹීමට හැකි වේ. රැකියා ප්‍රශ්න මඟහැරී සේවා ස්ථානය ප්‍රියමනාප තැනක් වනු ඇත.
ගෘහ ජීවිතය - පවුල් දිවියේ ගැටලු මඟහැරී සමගිය වර්ධනය වේ. විනෝද ගමන් යාමට හැකිවන අතර ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල ලැබේ.
සෞඛ්‍ය - මුත්‍රා පීඩා ද ඇස්වල රෝග ද මතු වේ.

වෘශ්චික - රැකියාව එපා වේ

ඔබට අයහපත් වකවානුවක් වේ. ඔබගේ පැවති කරදර සුළු වශයෙන් නිරාකරණය කරගත හැකි වුවද යහපත් ඵලයක් නොලබනු ඇත.
අධ්‍යාපනය - ඔබගේ උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබාගත නොහැකි වන අතර නිතර උදාසීන ගති ඇතිවනු ඇත.
රැකියාව - හවුල් හා ව්‍යාපාරික කටයුතුවලින් ද ලාභ ප්‍රයෝජන අත්නොවේ. තමන්ගේ ව්‍යාපාර අත්හැර දැමීමට ද සිදුවිය හැක. රැකියා ස්ථානයේ ද අනිකුත් සේවකයන් සමඟ ගැටුම් ඇති වී රැකියාව ද එපාවනු ඇත.
ගෘහ ජීවිතය - ආර්ථික අපහසුතා හේතුවෙන් පවුලේ ප්‍රශ්න ද මතගැටුම් ද ඇතිවනු ඇත. අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතු වේ. නිවාස අලුත්වැඩියාවකට යහපත් වනු ඇත.
සෞඛ්‍ය - හදිසි ශරීර පීඩා, වැටීම් ඇතිවනු ඇත.

 

නායකයකුට මාරකයි  


ධනු - සිතට සහනයක්

පැවතියාවූ කරදර ප්‍රශ්නවලින් මඳක් අඩු වී සිතට සහනයක් ගෙන දෙන වකවානුවක් වේ.
අධ්‍යාපනය - පැවති උදාසීන ගති මඟහැරී උනන්දුවකින් යුක්තව අධ්‍යාපනයට යොමුවන අතර තරඟ ජය ද ලැබේ.
රැකියාව - සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මඟහැරී යන අතර නව රැකියා බලාපොරොත්තු වූ අයට ද යහපත් රැකියාවක් ලබාගත හැකි වේ. ව්‍යාපාරික කටයුතුවලට ද යහපත්ය.
ගෘහ ජීවිතය - ඔබට හදිසි ධන ලාභයක් ඇතිවනු ඇත. නමුත් අනවශ්‍ය දෙයකට මුදලක් වියදම් කිරීම තුළින් මුදල් පාඩුවක් සිදු වේ. දුර ගමන් යෙදෙන අතර පවුල් දිවියේ ද සමගිය වර්ධනය වනු ඇත.
සෞඛ්‍ය - ඇස් ආශ්‍රිත ආබාධ මතුවනු ඇත.

මකර - තැන්පත් ධනය වැය වේ

ඔබගේ ලග්නයෙන් දොළොස්වැන්නේ සෙනසුරු ගෝචර වීම එතරම් යහපත් නැත.
අධ්‍යාපනය - පැවති උනන්දුව නැති වී යන අතර තරගවලින් ද සිතන තරම් ඵලයක් නොලැබෙනු ඇත.
රැකියාව - තමන් කරන රැකියාව ආරක්ෂා කරගෙන සිටීම වැදගත් වන අතර සේවා ස්ථානයේ යම් යම් ප්‍රශ්න නිසා රැකියාව එපාවෙන තත්ත්වයට පත්වනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත අය ද තම ව්‍යාපාරයේ ආරක්ෂාව ගැන සැලකිල්ල යොමු කළ යුතු වේ.
ගෘහ ජීවිතය - තම තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වන වකවානුවක් බැවින් වියදම් පාලනය කරගත යුතු වේ. තම පවුල් දිවියේ ද සමගිය පළුඳු වීමට ඉඩ ඇත. ඉවසීමෙන් කේන්ති ගති පාලනය කරගත යුතු වේ.
සෞඛ්‍ය - හදිසි වැටීම්, අතපය තුවාල වීම් වනු ඇත.

කුම්භ - මැණික් ලැබේ

ඔබට යහපත් ඵල ඇතිවනු ඇත.
අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතුවලට උනන්දුව ඇතිවන අතර විදේශගත අධ්‍යාපනයක් ලැබීමට ද සිතා සිටින්නේ නම් එය ඉටු වේ.
රැකියාව - පතල් ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභ ඵල අත්වන අතර වටිනා මැණික් ලැබෙනු ඇත. සේවා ස්ථානයේ ගැටලු පැනනොනගින අතර ඖෂධ පිළිබඳ කටයුතු කරන අයට ද ශුභ වේ.
ගෘහ ජීවිතය - ඔබ සමාජ සේවයට යොමුවීම සිදු වේ. අලුත් හිත මිතුරන් දැන හැඳින ගැනීමට අවකාශ ලැබෙන අතර ඔවුන්ගේ සහාය ද ඔබට ලැබෙනු ඇත. කෙටි ගමන් අධිකව යෙදෙන වකවානුවක් ද වේ.
සෞඛ්‍ය - ළය ආශ්‍රිත පීඩා ද අත්වල පීඩා ද ඇති වේ.

මීන - පවුලේ සමගිය

ඔබට යහපත් ඵල අත්වනු ඇත.
අධ්‍යාපනය - යහපත් ලෙස ඉගෙනීම් කටයුතු කළ හැකි වන අතර තරඟ ජයග්‍රහණ ලබාගත හැකි වේ.
රැකියාව - නව රැකියාවක් අපේක්ෂාවෙන් සිටි අයට ගැලපෙන ආකාරයේ රැකියාවක් ලැබෙනු ඇත. උසස් වීම් බලාපොරොත්තුවෙන් සිටියා නම් එය ඉටු වේ. පතල් ආශ්‍රිත කටයුතු කරන අයට ද ශුභ ඵල අත්වනු ඇත.
ගෘහ ජීවිතය - පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර නව දේපල මිල දී ගැනීමට ද යහපත්ය. විදේශ ගමන් බලාපොරොත්තු වූ අයට ද තම බලාපොරොත්තු ඉටු වේ.
සෞඛ්‍ය - දණහිස්වල මෙන්ම හිස ආශ්‍රිත පීඩා මතු වේ.
ඔබ කුමන ලග්නයෙන් උත්පත්තිය ලැබුවත් ඔබ උපන්නේ කැති නැකතේ 2, 3, 4, වැනි පාදයෙන් හෝ රෙහෙන නැක‍තේ හෝ මුවසිරස නැකතේ 1, 2 පාදවලින් නම් ශුභ ඵල අත් වුවත් අයහපත් බලපෑම් වැඩි වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂනායතනය
ඔලබොඩුව, ගෝනපල