2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

ගම්වලට කඩා පනින පණු හමුදාවක්

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 200

පණු විශේෂයක් හේතුවෙන් කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ජනයා පීඩාවට පත්වී සිටින බව වාර්තා විය. ඒ පිළිබඳ සොයා බැලීමට ප්‍රදේශ කිහිපයක සංචාරයේ නිරතවූ අපට දැක ගත හැකිවූයේ විශාල තේක්ක වගාවන්වල ඇති සියලුම ගස්වල කොළ සියල්ලම පණුවන් කා දමා තිබූ අයුරුයි. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළුව මහා පරිමාණයෙන් අක්කර සිය ගණන් කරන තේක්ක වගාකරුවන් විශාල වශයෙන් තේක්ක වගා කර තිබීමෙන් පණු ගැටලුව උග්‍ර ප්‍රශ්නයක් බවට පත්වී ඇති ආකාරය දැක ගත හැකිවිය. ගස්වල කොළ සියල්ල කෑමෙන් පසුව ගම්මානවලට බඩගා එන පණුවන් නිවෙස්වල බිත්තිවලද බඩගාමින් සිටින අයුරු ගම් වැසියෝ අපට පෙන්වූහ.

ප්‍රධාන මාර්ගය දෙපස ඇතුළුව අතුරු මාර්ග දෙපසද සෑම තැනකම තේක්ක ගස් තිබීම හේතුවෙන් එම මාර්ග භාවිත කිරීමේදී ගස්වල එල්ලී සිටින පණුවන් ශරීරයේ දැවටී කැසුම් තුවාල සිදුවී දැඩි අපහසුතාවයන්ට මුහුණ දුන් අයද අපට හමුවිය.

සති කිහිපයක් ගිය පසු තේක්ක ගස්වලින් බෝවී සිටී පණුවන් ක්‍රමක්‍රමයෙන් වඳවී ගියද හඳුනා නොගත් පණුවන් කිහිප වර්ගයක් මොරියාකුලම ගම්මානය ආක්‍රමණය කර ඇති බවත් ගම්වැසියන් නිවෙස් අතහැර විකල්ප ස්ථාන කරා ගොස් ඇති බවත් මොරියාකුලම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් පැවසුවේ අප විහාරස්ථානය වෙත කැඳවාගෙන යන අතරතුරදීය.

එහි ගිය අප මවිතයට පත්වූයේ පණුවන් බිත්තිවල ඇතුළත සහ පිටත එල්ලී සිටින අයුරු නෙත ගැටීමෙනි. පන්සල් භූමියේ පමණක් නොව අවට ඉඩම්වල ඇති ගස්වල කොළ වෙනුවට කොළපාටින් දිස්වූයේ පණුවන්ය.

කොහොඹ, බුරුත, තේක්ක, දෙහි වැනි ගස්වල මෙම පණු විශේෂය බහුලව වර්ධනය වී ඇත. පණුවන් නිවෙස්වල බිත්තිවල සහ වහළවල එල්ලී සිට පොළොව සහ නිවාසවල ඇති භාණ්ඩ වලටද වැටී එහා මෙහා බඩගා යෑම නිසා දෛනික කටයුතුවලට බාධා එල්ලවී තිබේ. තේක්ක පණුවන් මෙන් නොව මෙම පණුවන් ගෑවීමෙන් හානියක් නොවුණද දැඩි අප්‍රසන්නභාවය හේතුවෙන් බොහෝ පිරිසක් තාවකාලිකව නිවාස අතහැර ගොස් ඇත.

මීට පෙර නොදුටු මෙම පණු විශේෂය සති එක හමාරක පමණ කාලයකින් පසු සමනලයන් බවට පත්වී පියඹා යන බව ගම්වැසියෝ කියති.

කිසිම බලධාරියකු දැනුම්වත් කිරීමට ගම්වැසියන් කටයුතු කර නොතිබූ අතර අප මේ පිළිබඳව කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ ලේකම් චන්ද්‍රරත්න හේරත් මහතාව දැනුවත් කිරීමට පියවර ගත් පසුව ප්‍රදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ගමට පැමිණ පරීක්ෂා කළහ. එහිදී තහවුරු වූයේ ප්‍රශ්න ගත පණුවන් සමනලයන් බවට පත්වී පිටව යන බවයි. පණුවන් විශාල වශයෙන් ගම්මානය පුරා ගහකොළවල සිටීම හේතුවෙන් ක්ෂණික විසඳුමක් ලෙස පණුවන් බෝවන ගස්වල අතු කපා දමන ලෙස ජනතාව දැනුම්වත් කරනු ලැබීය.

විශාල පරාසයක විහිදී පැතිරී සිටින පණුවන් එකවර විනාශ කිරීමට රසායනික ද්‍රව්‍යයක් ඉසීම ප්‍රායෝගික ගැටලුවක් බවට පත් වූයේ පරිසරයේ ජීවත් වන අනිකුත් සතුන් කෘමින් මෙන්ම සමනල කෝෂ විනාශවීමත්  සිදුවන හෙයිනි.
තබ්බෝව අභය භූමිය ආසන්නයේ පිහිටි ගම්වල පවතින උග්‍ර පණු ගැටලුව පිළිබඳ වයඔ වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා මෙසේ කීය.

සමනල පණුවන් විශාල වශයෙන් බෝවීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

පරිසරයේ සමතුලිතතාවයත් එක්ක සමනලයින්ගෙ බිත්තරවලින් පණුවන් බෝවීමේ වර්ධනයක් සිද්ධ වෙනවා.

සමනලුන් බෝවීම විශාල වශයෙන් වනාන්තර ආශ්‍රිතව නේද සිද්ධ වෙන්නෙ?

පරිසර සාධක යහපත් නම් වනාන්තරයද ගමද කියලා නැහැ ඒක සිද්ධ වෙනවා. වනාන්තර ගත්තම කුරුල්ලෝ වගේ පණුවන් ආහාරයට ගන්න විලෝපිකයො ඉන්නවා ගම්වල එහෙම අඩුයි. විලෝපිකයො අඩු වුණාම තමයි පණුවන් බෝවීමේ වර්ධනය වැඩි වෙන්නෙ.

වැඩිපුරම පණුවන් බෝ වෙලා තිබෙන්නේ බුරුත ගස්වල කැලේ බුරැත ගස් නැතුවට ගමේ තිබෙනවා. ඒ නිසා මේ ගම්වල පණු වර්ධනය වැඩිවෙලාද? 

සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. අලි ගමට එන්නෙත් උන්ට කන්න දේවල් ගමේ තිබෙන නිසානෙ. එහෙම හිතන එකේ වරදක් නැහැ.

ගමට වදයක් වී ඇති පණු ගැටලුව පිළිබඳ කළ සොයාබැලීමේදී ඒ තුළින් බිහිවන සමනලයන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකිවිය. සමනලයන් බෝවීම විශාල වශයෙන් සිදුවන්නේ වනාන්තර ආශ්‍රිතවය. සමනලුන් බිහිවීමට සුදුසු පරිසර පද්ධතියක් වනාන්තර ආශ්‍රිව තිබුණද ගම්මාන ආශ්‍රිතව එය අඩු තත්ත්වයක පවතී.

ගම්මාන ආශ්‍රිත කැලෑ එළිපෙහෙළිකර හේන් කිරීම, ගිනි තැබීම, කෘෂි රසායනික යෙදීම වැනි ක්‍රියාවන් හේතුවෙන් සමනලයන් බිහිවීමට අවශ්‍ය බිත්තර මුල් අවස්ථාවේදීම විනාශ වෙයි. ආත්‍රපෝඩා වංශයේ ලෙපිඩොප්ටෙරා ගෝත්‍රයට අයත් සමනල විශේෂ 245 කට වඩා අප රටේ පරිසර පද්ධතිය අලංකාර කරති. ඒ අතරින් සමනල විශේෂ 23ක් පමණ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වීම විශේෂත්වයකි.

කතාව හා සේයාරූ
♦ රෝවන් පෙරේරා