රාජ්‍ය ආයතන 15ක කෙරුවාව හෙළිවෙයි!
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හතරවැනි වාර්තාව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් පසුගිය 19 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ පිළිබඳ පාර්ලිමේන්තු සාකච්ඡාවාර ඉදිරි දිනවල පැවැත්වෙනු ඇත. මෙම වාර්තාවට අඩංගු වන්නේ 2016.09.01 දින සිට පෙබරවාරි 28 දක්වා වූ කාලසීමාව තුළ කමිටුවේ විමර්ශනයට ලක්වූ රාජ්‍ය ආයතන 15ක් පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශයි.
එම ආයතන වන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, සමූපකාර තොග වෙළඳ සංස්ථාව සහ ලංකා ස.තො.ස, මධ්‍යම පරිසර අධිකාරිය, මහජන බැංකුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, ජාතික ලොතරැයි මණ්ඩලය, , ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ වැලි සමාගම, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය, සීමාසහිත හිඟුරාන සීනි සමාගම. ලංකා ධීවර සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතනයි. 2016.09.06 දින සිට 2017 වසරේ පෙබරවාරි 22 දින දක්වා කාලයේ මෙම විමර්ශන සිදුකර ඇතිබව වාර්තාවේ දැක්වේ. මෙහිදී විගණකාධිපති වාර්තා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සලකා බලා අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව
ජාතික ගමනාගමන කොමිෂන් සභාව පිළිබඳ විමර්ශන අනුව මුලින්ම දක්වා ඇත්තේ 2012 සිට 2015 වසර දක්වා සකස්කර ඇති ප්‍රතිපාදන සැලසුම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරනු නොලැබීමයි. එසේම 2015 වසරේ අවස්ථා තුනකදී දුර ගමන් බස් සඳහා පමණක් පුවරු සහ ස්ටිකර් සැපයීම සඳහා රුපියල් 1,705,343 ක් වැයකර තිබුණු අතර ඒවා විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකර සිදුකර ඇති බව ද පෙන්වා දෙයි.
ජී.පී.එස් තාක්ෂණය පදනම් කරගෙන අන්තර් පළාත් බස් රථ නියාමනයට ගොඩනැගිල්ලක් නවීකරණය කිරීමට රුපියල් මිලියන 20ක් සහ තාක්ෂණ ජාලය වැඩි දියුණු කිරීමට මිලියන 17 වශයෙන් මිලියන 37 වැයකර තිබුණත් මෙතෙක් පාලන මැදිරිය පාවිච්චි කර නැත. තවද රුපියල් මිලියන 79ක් වැයකර සවිකර ඇති ජී.පී.එස් උපකරණ 1307ක් තිබුණද නඩත්තු කටයුතු ක්‍රමානුකූලව සිදුනොවීම නිසා ඒවා ක්‍රියාත්මක නොවන බවද වාර්තාවේ සඳහන්ය.
කාරක සභා වාර්තාවෙන් පෙන්වා දී ඇති තවත් ප්‍රධානතම අවිධිමත් ක්‍රියාවක් වන්නේ නිසි අනුමැතියකින් තොරව උත්සවයක් සඳහා රුපියල් 8,009,310ක් සහ රූපවාහිනී වාර්තා වැඩසටහනක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 1,891,000ක් වියදම් කර තිබීමයි.
2013 වසරේදී රුපියල් මිලියන 62ක් වැයකර කොළඹ බැස්ටියන් මාවත සහ තවත් ස්ථාන 6ක සවිකර ඇති විද්‍යුත් ප්‍රදර්ශන පුවරු 7ක් අක්‍රීයව ඇති බව වාර්තා කර ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයකුට රුපියල් මිලියන 8ක් මෝටර් රථයක් සඳහා වැය කිරීමට භාණ්ඩාගාර අනුමැතිය ලැබී තිබුණද රුපියල් මිලියන 9.2ක රථයක් මිලදී ගෙන තිබෙන බව වාර්තා කරයි. වැඩිපුර වූ මුදලට අනුමැතිය දීමට මහා භාණ්ඩාගාරය ප්‍රතික්ෂේප කර තිබේ.
2014 වසරේ දෙවාරයකදී රුපියල් 2,669,500 වටිනා පාසල් බෑග් බෙදාහැර ඇති අතර ඉන් රුපියල් 1,327,500ක් සඳහා ගෙවීමට අනුමැතිය ලැබී නැත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
පෞද්ගලික හෝටලයක් සඳහා ලංකා බැංකුවෙන් නිකුත් කළ රුපියල් මිලියන 100ක ණය මුදලට අදාල පොලී ප්‍රමාණයෙන් කොටසක් වූ රුපියල් 7,382,305ක් සංචාරක අධිකාරිය 2014.05.08 දින ගෙවා ඇති අතර පනත අනුව මේ සඳහා විෂයභාර ඇමැතිවරයාගේ අනුමැතිය ලබාගෙන නොමැති බව ද වාර්තා කර ඇත.
සංචාරක නිවාඩු නිකේතනයේ කාමර 30ක් අලුත්වැඩියා කිරීම වෙනුවෙන් ගෙවා ඇති රුපියල් 29,195,802කින් 11,089,228ක් නොකළ වැඩ සඳහා සහ වැඩිපුර ගෙවා ඇති බව අනාවරණය කර ගෙන තිබේ. මෙහිදී රුපියල් මිලියන 5ක පමණ අලාභයක් සිදුව ඇති බව සනාථවී ඇති අතර එය කොන්ත්‍රාත්කරුගෙන් හෝ වගකිවයුතු නිලධාරීන්ගෙන් හෝ අයකරගෙන නැති බව වාර්තාවේ දැක්වේ.
පාරවල් ඉදිකිරීමට කළුගල් කියුබ් 1648ක්, කුඩා ගල් කියුබ් 368ක් සහ පස් කියුබ් 40ක් භෞතිකව භාරගෙන අදාළ ඉදිකිරීම් සඳහා යෙදවූ බවට සාක්ෂි නොමැතිව කොන්ත්‍රාත්කරුට ජැටිය ඉදිකිරීම සඳහා පිළිගත් ක්‍රමවේදයකින් තොරව ඩෝසර් යන්ත්‍ර සඳහා රුපියල් 3,226,950 ගෙවා තිබූ බව ද වාර්තා වේ.
කාමර 4000ක් සහිත නිකේතන ඉදිකිරීම සඳහා යටිතල පහසුකම් ඇතිකිරීම සඳහා රුපියල් මිලියන 5521ක පිරිවැයක් දරමින් 2008දී ආරම්භ කළ කල්පිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය වසර 5කින් නිමකළ යුතු නමුත් එයට 2014.12.31 දින රුපියල් 88,797,590ක් වැයකර තිබුණද මෙතෙක් එක කාමරයක්වත් ඉදිකර නොමැති බව වාර්තා කරයි.
බලංගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක කණ්ඩායම්වලට ආහාර පාන නොමිලේ සැපයීම සඳහා හා කාර්ය මණ්ඩල වියදම් වෙනුවෙන් රුපියල් 4,768,982ක් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ප්‍රතිපාදනවලින් වැය කිරීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇතැයි වාර්තාකර ඇති අතර පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස කියයි.
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම
චීනයේ China Exim බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 190ක ණය මුදලක් ලබාගෙන ඉදිකර ඇති මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2013 වසරේ සිට 2016 වසර දක්වා ලබා ඇති සමස්ත පාඩුව රුපියල් නවසිය හතළිස් අට කෝටි හය ලක්ෂ හැට එක්දහස් නවසිය හැත්තෑවක් (9,480,661,970) බව වාර්තා කර ඇත. 2015 වසරේ වූ තුන්සිය නව කෝටි අනූ දෙලක්ෂ තිස් දහස් පන්සිය අසූවක් (3,099,230,580) වූ අලාභය 2016 වසරේ එකසිය පනස් හතර කෝටි හැටනව ලක්ෂ තිස් එක්දහස් තුන්සිය විසි අටක් (1,546,931,328) දක්වා අඩුවී ඇති බව ද අනාවරණය වේ. ආයෝජනය කිරීම සඳහා ආයතන 7ක් කැමැත්ත පළකොට ඇති බවද කමිටුව අනාවරණය කර ගෙන ඇත.
සී/ස ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආයතනික මූල සැලසුම්කරණ පද්ධතියට අදාළ ව්‍යාපෘතිය මාස 8ක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික සමාගමකට රුපියල් විසිහතර කෝටි අසූහය ලක්ෂයක (248,600,000) මුදලකට කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබූ අතර කොන්ත්‍රාත්කරුට රුපියල් දෙකෝටි හැත්තෑහතර ලක්ෂ හැට හතරදාස් හයසිය තිස් දෙකක මුදලක් (27,464,632) කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබේ. කොන්ත්‍රාත් කාලය මේ වනවිට විසි වරක් දීර්ඝ කර ඇති අතර, කොන්ත්‍රාත්තුව ප්‍රධානය කර වසර හතරකට වැඩි කාලයක් ගතවුව ද නියම අයුරින් කර්මාන්තය කිරීමට කොන්ත්‍රාත්කරු අපොහොසත්වී ඇති බව ද වාර්තාවේ දැක්වේ. ආයතනයේ වැඩ දැනට නවත්වා ඇති අතර ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. තවත් මාස 3ක් කාලය දීර්ඝ කරන ලෙස අමාත්‍ය මණ්ඩල සංදේශයකින් ඉල්ලා ඇත.
මෙමගින් විශාල පාඩුවක් සිදුව ඇති නිසා කාලය දීර්ඝ නොකරන ලෙස අමාත්‍ය ලේකම් වෙත කමිටුව නිර්දේශ කර තිබේ.
කතරගම නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා 2002 වසරේදී ඉඩමක් මිලදී ගැනීමට පෞද්ගලික පාර්ශවයකට රුපියල් මිලියන 07ක් ගෙවා තිබේ. පසුව එම ඉඩම රජයට අයිති බව අනිවරණය වී ඇති නමුත් ගෙවූ රුපියල් මිලියන 07 ආපසු ලබා ගැනීමට අපොහොසත්වී තිබේ. මේ පිළිබඳ ගම්පහ අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර, ඒ අතරතුර විත්තිකරු මියගොස් තිබෙන බව ද අනාවරණය කරගෙන තිබේ.
සමූපකාර තොග වෙළඳ සංස්ථාව සහ ලංකා ස.තො.ස
2015 මූල්‍ය ප්‍රකාශනවල සඳහාන් රුපියල් අසූහත් කෝටි නව ලක්ෂ හැට තුන්දහස් අනුහතක් (870,963,097) වූ ණය ගැතියන්ගෙන් රුපියල් විසිපන් කෝටි හැත්තෑහය ලක්ෂ හැටහත් දහස් දෙසිය දාහතක් (257,667,217) හෙවත් සියයට 30ක් වූ මුදල ලංකා ස.තො.ස ආයතනයෙන් ලැබිය යුතු මුදල් වේ. එසේ වුවද ලංකා ස.තො.ස සමාගමේ 2013 මූල්‍ය ප්‍රකාශන අනුව සමූපකාර තොග වෙළඳ සංස්ථාවට ගෙවිය යුතු කිසිදු මුදලක් සඳහන් නැති බව කෝප් කමිටුව කියයි.
එසේම විගණනයේදී අනාවරණය වී ඇත්තේ මේ පිළබඳ හුවමාරු ලිපි ලේඛන සොයා ගත නොහැකි වූ නිසා හරියාකාරව ගණන් බැලීමට නොහැකි වූ බවය.
ලංකා ස.තො.ස සමාගම විසින් 2014 සැප්තැම්බර් සිට 2015 පෙබරවාරි දක්වා අවස්ථා කිහිපයකදී සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් පන්දහස් නවසිය හතක් (257,907) ආනයනය කර ඇති බව අනාවරණය වී ඇති අතර මෙහිදී සිදුව ඇති විමර්ශන උපයෝගී කරගෙන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
2014 දී කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000 මිලට ගෙන සිදුකර ඇති රුපියල් මිලියන 39 අලාභය පිළිබඳ විගණනයක් සිදුකර එම මුදල ගෙවන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් දැනුම්වත් කර ඇත.
I යසවර්ධන රුද්‍රිගූ