2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

තුනටියෙන් පහළ ඉවසන්න බැරි කැක්කුම

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3881

අද වෙද්දී තුනටිය වේදනාව සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි. එකක් තුනටිය වේදනාව ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ආයුර්වේදයේ සඳහන් වන “ගෘබ්‍රසි” රෝග තත්ත්වයයි. රෝගීයාගේ ගමන් රටාව අනුව ආයුර්වේදයේ මේ තත්ත්වය මේ නමින් හැඳින්වේ. සංස්කෘතික භාෂාවෙන් “ගෘබ්‍ර” යනුවෙන් හඳුන්වන්නේ ගිජුලිහිණියාටය. එනම් “ගිජුලිහිණියකුගේ ගමන් විලාසය” ලෙසින් මෙම නමින් හැඳින්වේ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙය Sciatica ලෙසින් හැඳින්වේ.

රෝග ලක්ෂණ

• මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ රෝගියාගේ පහළ කටී ප්‍රදේශයේ (තට්ටම් ප්‍රදේශයේ) සිට පාදයේ පහළට පිටුපසින් දිවෙන ඉතා තදබල වේදනාව.

• මෙම වේදනාව ඇතැම්විට යම්කිසි දෙයකින් අනිනු විට ඇතිවන වේදනාවට සමාන වේ.

• ඇතැම් රෝගීන්ට ඉවසාගත නොහැකි වේදනාවක් දැනීම.

• ඇවිදීම, නැවීම ආදී ක්‍රියාකාරකම්වලදී ඇතිවන වේදනාව.

• මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන වේදනාව වන අතර එම වේදනාව රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

• ස්නායු ගමන් කරනු ලබන මාර්ගය ඔස්සේ මෙම වේදනාව පැතිරීම දැකිය හැක.

• ඇතැම් රෝගීන්ට මඳ වශයෙන් උණ ඇතිවීමටද පුළුවන.

රෝගය ඇතිවීමට හේතු

• කශේරුකාවේ අන්තර් කශේරැකා මඬල (කශේරුකා දෙකක් අතර ඇති කොටස) පිටතට නෙරා යාම නිසා මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවිය හැක. මෙය පිටතට නෙරා යාම හේතුවෙන් ස්නායු තෙරපීමක් ඇතිවිය හැක. මෙමඟින් ස්නායු ගමන් කරනා මාර්ගයේ යම් පීඩනයක් ඇතිවිය හැක.

• වයස් ගතවීමත් සමඟ වැඩිහිටියන්ගේ ගෘබ්‍රසි රෝග තත්ත්වය ඇතිවිය හැක. මෙමගින් අන්තර් කශේරැකා මඬල දිරායාමට ලක්වීමෙන් මේ තත්ත්වය ඇතිවිය හැක.

• නිවැරදි නොවන ඉරියව්වෙන් වැඩිවේලාවක් යම් වැඩක නිරතවීම, වාඩිවී සිටීම.

• නිවැරදි නොවන ඉරියව්වෙන් බරුති දෙයක් එසවීම.

• වෙනත් රෝගයක ඇතිවන පිළිකාමය තත්ත්වයක් නිසාවෙන්ද මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.

• ස්නායු ගමන් ගන්නා මාර්ගයේ ඇති මාංශපේශිවලට යම් හානියක් සිදුවීමෙන්ද මෙම ස්ථානය පටුවීමක් සිදුව මෙම රෝග තත්ත්වය ඇතිවිය හැක.

රෝගියා සැලකිලිමත් විය යුතු ආකාරය

• මෙම රෝගය වැළඳීමට පළමුව රෝග පාලනය කිරීම ඉතා වැදගත් වේ. එය ආයුර්වේදයේදී “රෝගීවීමට පෙර නිරෝගී පුද්ගලයා නිරෝගී බව ආරක්ෂා කළ යුතුවේ...” යනුවෙන් සඳහන් කර ඇත.

• නිවැරදි ඉරියව්වෙන් එදිනෙදා වැඩකටයුතු කිරීම ඉතා වැදගත් වේ. බර ඉසිලීම, ඇවිදීම, අසුනක වාඩිවී සිටීම, නිදා ගැනීම වැනි ඉරියව්වලදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

• විවේකය ඉතා වැදගත් වේ. විශේෂයෙන් එක දිගට එකම ඉරියව්වෙන් වැඩක නිරත වීම තුළින් මේ තත්ත්වය ඇතිවිය හැක.

• ශරීරයේ බර පාලනය කර ගැනීම ඉතා වැදගත් වේ. අධි ස්ථුලතාවය ඇති බොහෝ දෙනෙකු තුළ මෙම රෝග තත්ත්වය බහුල වශයෙන් දැකිය හැකිවේ.

• සමබර ආහාර වේලක් ගැනීම ඉතා වැදගත් වේ.

• බර පාලනය කර ගැනීම සඳහාද ව්‍යායාම් කිරීම ඉතාමත් සුදුසු වේ. මේ සඳහා ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම් කිරීම ඉතා වැදගත් වේ.

කරනු ලබන ප්‍රතිකාර

• මේ රෝගය සඳහා කරනු ලබන ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

• මේ සඳහා හිතුමතේට අත්බෙහෙත් කරන්න එපා. වෙනත් කෙනෙකු වෙනුවෙන් වෛද්‍යවරයකු ලබාදුන් ඖෂධ හෝ ප්‍රතිකාර හිතුමතේට වෛද්‍ය උපදෙස්වලින් තොරව තව කෙනෙකු සඳහා භාවිතයට සුදුසු නොවේ.

• රෝගියාගෙන් රෝගියාට රෝග ලක්ෂණ මෙන්ම රෝගය පැතිර යාමේ ක්‍රමවේදයද වෙනස් වේ.

• ඇතැම් රෝගීන්ට මෙම රෝගය සඳහා කිසිදු ප්‍රතිකාරයක් නොකොට දින දෙක තුනකින් සුව විය හැක. එය රෝගයට ඇතිවන හේතුව අනුව තීරණය වේ. නමුත් බොහෝවිට මෙම රෝගය සඳහා ප්‍රතිකාර අවශ්‍යම වේ.

• ප්‍රතිකාර මෙන්ම ව්‍යායාමද ඉතා යෝග්‍ය වේ. මේ සඳහා විශේෂිත වූ ව්‍යායාම් ඇති අතර ඇතැම් ව්‍යායාම් මෙම රෝගියා සඳහා යෝග්‍ය නොවේ. එය පිළිගත් වෛද්‍යවරයකුගේ අනුදැනුම සහ උපදෙස් අනුව කළ යුතුවේ.

• ආයුර්වේදයෙහි මේ සඳහා ප්‍රතිකාර පද්ධතියන් ක්‍රියාත්මක කෙරේ. රෝගියාගේ දෝෂ අනුව ඒ ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් තීරණය කෙරේ. බාහිරව සහ අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රම අනුව මේ සඳහා ප්‍රතිකාර කෙරේ.

• මේ සඳහා යෝග ව්‍යායාමද ඉතා යෝග්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වේ. මේ සඳහාම විශේෂිත වූ යෝග ව්‍යායාම් ඇත.

• හිතුමතේට මේ සඳහා ආයුර්වේද තෙල් ආලේප නොකළ යුතුය. ඇතැම් තෙල්වර්ග සෑම වේදනාවකටම ගුණදායක නොවේ. මේ නිසා හිතුමතේට තෙල් නොගෑ යුතුය. ඒ සඳහා ක්‍රමවේදයක් ඇත. එක් එක් රෝගය අනුව තෙල් වර්ගයද වෙනස් වේ. තෙල් වර්ගවල ගුණ එකිනෙකට වෙනස් වේ. මේ නිසා මෙවැනි රෝග තත්ත්වයක් ඔබට ඇත්නම් වහාම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසෙන්න.

කටී ප්‍රදේශයේ සිට දෙපා ඔස්සේ ගමන් කරනු ලබන මෙම වේදනාවේ ගැටලු ස්ථානය වන්නේ තුනටිය ආශ්‍රිත කටී ප්‍රදේශයේයි. මේ සඳහා වැඩිපුරම අවධානය යොමුකළ යුත්තේ ඒ ආශ්‍රිතවයටයි. මීට අමතරව සී.ටී. ස්කෑන් වැනි ස්කෑන් ක්‍රම මගින්ද මෙම රෝගී තත්ත්වය වෛද්‍යවරයාට හඳුනාගත හැක. ඔබත් මෙම රෝග තත්ත්වයෙන් පීඩා විඳියි නම් වහාම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.
      

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00